Monday, March 30, 2015

73.ගෙඹි ඔපරේෂන් ...

ඉස්සර උසස් පෙළට, සත්ව විද්‍යාව සහ ශාක විද්‍යාව කියලා කොටස් දෙකක් ඉගෙන ගන්න තිබ්බත් අපේ කාලේ වෙනකොට මේ දෙකම එකට එකතුවලා ජීව විද්‍යාව කියලා තනි විශයක් බවට පත් වෙලා තමයි තිබුනේ.  ඉතින් ඒ නිසා සත්ව විද්‍යාවයි ශාක විද්‍යාවයි ගැඹුරින් ඉගෙන ගැනීමේ අවස්ථාව අපිට තිබුනේ නෑ. 

ඒත් අපේ පාසලේ ජීව විද්‍යාව උගන්නන්න එක පන්තියකට ගුරුවරු දෙන්න ගානේ හිටිය නිසා සත්ව විද්‍යාව කොටස් කලින් සත්ව විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ශාක විද්‍යාව කොටස් කලින් ශාක විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ඉගෙන ගන්න අපිට හැකියාව ලැබුනා. නිසා සිලබස් එකේ තියෙන දේවල් වලට වඩා අමතර දේවල් ටිකක් ඉගෙන ගන්නත් අපිට පුළුවන් වුනා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම මේ කියන්න යන ගෙඹි ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. 

ඔන්න ඉතින් ඒ වෙනකොට අපි ශරීරයේ පද්ධති ගැන ඉගෙන ගන්න පටන් අරගෙන තිබුනේ. ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, අහාර ජීරණ පද්ධතිය වගේ පිලිවෙලට පද්ධති එකින් එක අපිට ඉගෙන ගන්න තිබුනා. එහෙම පද්ධති ගැන ඉගෙන ගනිද්දී සත්තුන්ගේ මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න වෙනවා. 

" ළමයි,  ඉස්සර නම් අපි ක්ලාස් එකේ කැරපොත්තෙකුයි ගෙම්බෙකුයි කපලා බලනවා. ඒත් දැන් ඒ තරම් ඕනේ නැති නිසා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.  "

" අනේ
මිස්.. අපිත් ක්ලාස් එකේ කැරපොත්තෙකුයි, ගෙම්බෙකුයි කපලා බලමුකෝ.... "


හිතා ගන්න පුළුවන්නේ අපේ කට්ටියගේ හැටි. මිස්ට බෑ කියන්න බැරි තරමට ම කට්ටිය ගෙන හරිම කරදරයක් තිබුනේ ක්ලාස් එකේ සත්තු කපලා බලන්න. ඔය අතරේ අපේ පන්තියේ හිටිය අවිහිංසා වාදී අය නම් කිව්වේ අපිට නම් ඔය පව් වැඩ කරන්න ඕනේ නෑ කියලා. 

" හරි හරි .. සත්තු දෙන්නෙක් හෙට අරගෙන එන්නකෝ. උදේ පීරියඩ්ස් දෙකක් තියෙන නිසා කෙලින්ම ලැබ් එකටම ඇවිත් ඉන්න. මම ඕන කරන දේවල් ටික ලැස්ති කරලා තියන්න කියන්නම්.  " 
  
සත්තු කපන්න ඕනේ කිව්වට කෝ ඉතින් සත්තු ? කවුරුහරි ගේන්න එපැයි කපලා බලන්න. සත්තු කපන්න ආසාව තිබ්බට සතෙක්ව ගේන්න කෙනෙක් නෑ... සතෙක්ව හොයා ගන්න පුළුවන් අයට ගේන්න විදිහක් නෑ. ගේන්න විදිහක් තියෙන අයට සතෙක්ව හොයා ගන්න විදිහක් නෑ. හි..හි..

ඒ දවස් වල තුශානිලගේ ගෙදර ලිඳ ගාව රජ දහන කරගෙන  හිටියා ටිකක් ලොකු ලස්සන ගෙම්බෙක්. තුශානිට එක පාරටම ඌව මතක් වුනත් ඌව මැරෙනවා කියලා දැන දැන ගේන්නේ කොහොමද ? ඒ නිසා ඒ මතක් වෙච්ච එක ටක් ගාල අමතක කරලා හිටියා කවුරුහරි සතෙක්ව ගෙන්න කැමති වෙනකන්.. 




කැරපොත්තෝ ගෙන්න ඕන තරම් කට්ටිය හිටියත් ගෙබ්බෙක් ගේන්න කවුරුවත් කැමති වුනේ නෑ. ඒ නිසා ඉතින් අන්තිමට හිත හදාගෙන අර අමතක කරපු එක ආපහු මතක් කරගෙන "හා එහෙනම් මම ගේන්නම්කෝ... " කියලා වැඩේ බාර ගත්තා.

හා කියලා වැඩේ බාර ගත්තට මොකද ගෙදරින් නම් කීයටවත් කැමති වෙන්නේ නෑ මරණ්න ගෙබ්බෙක් අරගෙන යනවට. කොහොම හරි කැමති කරව ගත්තත් ගෙම්බව අල්ල ගන්නේ කොහොමද ? ඉස්කෝලෙට ඌ ගේන්නේ කොහොමද ? ඔන්න එක එක ප්‍රශ්ණ මගේ ටිකිරි මොලේට එන්න ගත්තා. මොනවා කරන්නද ගේනවා කියලා බාරගත්ත නිසා කොහොමහරි ගෙනියන්නත් එපැයි.

" අම්මේ ... අපේ බයෝ මිස් කව්වා ඉස්සර සුලොජි වලට සත්තුත් කපලා ඉගෙන ගන්නව කියලා " 

"ඔව් ඉතින් උන් ගැන ඉගෙන ගන්නකොට කපලා බලලා ඉගෙන ගන්නවා ඇති. " 

" මේ... අපිටත් කිව්වා සත්තු ගෙනාවොත් ඕනේ කම් කපලා පෙන්නන්න පුළුවන් කියලා. " 

" ඉතින් දැන් ඔයා හා කියලා සතෙක්ව ගේන්න බාරගත්තද ? "  

අපේ අම්මට ටෙලිපති වලින් මම කියන්න යන එක පෙනිලද කොහෙද කෙලින්ම මගෙන් ඇහුවා. ඇයි ඉතින් ඉස්කොලේ මොනාහරි ගේන්න දෙයක් කිව්වොත් හුඟක් වෙලාවට මමනේ බාර ගන්නේ. හි.. හි..

" හොස්ටල් එකේ ඉන්න අයට ගේන්න බෑනේ අම්මේ.. ඈත ඉඳලා බස් වල එන අයටත් ගේන්න බෑනේ.... ඉතින් මම ගේන්නම් කිව්වා. " 

" දැන් මොකෙක්වද ගේනවා කියලා කිව්වේ ? "

" ලොකු සතෙක්ව නෙමෙයි අම්මේ.  මේ..... තරු කැරපොත්තෙක් ගේනවා කිව්වා.. අපේ අර ලිඳ ගාව ඉන්නවා නේද ගෙම්බෙක්. ඉතින් මම කිව්වා මම ඌව ගේන්නම් කියලා.  "

" තාත්තා නම් කීයටවත් කැමති වෙන එකක් නෑ ඔය සත්තු මරණ වැඩේට. මම දන්නෑ තාත්තා ආවහම අහලා බලලා ඕන දෙයක් කරන්න. " 

" ඉතින් අම්මේ අපි ඌව හිතලා මරන්නේ නෑනේ . ප්‍රැක්ටිකල් එකටනේ කරන්නේ. එතකොට පව් සිද්ධවෙන්නේ නැතිවෙයි. අනේ ... අම්මත් කියන්නකෝ තාත්තා අවහම.  " 

ඊට පස්සේ ඉතින් තාත්තා ආවහමත් ප්‍රැක්ටිකල් එකේ වටිනාකම තාත්තට පහදලා දීලා බොහොම අමාරුවෙන් වැඩේට ඇපෘවල් එක ගත්තා. ඔක්කොම හරි වුනත් ගෙම්බව අල්ල ගන්න එක තමයි ඊලඟ ප්‍රශ්ණේ. 

" මේ ... හලෝ...  චූටි වැඩක් කරලා දෙනවද ?  "

" ම්.... ටෝන් එකේ හැටියට නම් ටිකක් බරපතල වැඩක් වගේ. කමක් නෑ. කියන්නකෝ බලන්න. " 

" ඔන්න බෑ කියන්න බෑ....  අර...  ලිඳ ලඟ ඉන්න ගෙම්බාව අල්ලලා මේ පෙට්ටියට දාලා දෙන්නකෝ. අපිට ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකකට.  " 

" ඊයා ... මට බෑ.  " 

" අනේ මල්ලී.. මම හෙට ගේනවා කියලා ආවේ. නැත්තම් ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මට කොහොමහරි මේ වැඩේ කරලා දෙන්නකෝ......  " 

ඊට පස්සේ ඉතින් විසි පාරක් විතර කියලා කියලා කොහොම හරි අර ගෙම්බාවා පොඩි පෙට්ටියකට දාලා ඌට හුස්ම ගන්න පුළුවන් වෙන්න පෙට්ටියේ සිදුරු ටිකකුත් හදලා රෑ ලෑස්ති කරලා තිබ්බා උදේට ඉස්කෝලේ අරගෙන යන්න.
 
යාන්තම් නින්ද යන්න ඇහැ පියවුනා විතරයි මෙන්න ඇහෙනවා අර පෙට්ටියේ ඉන්න ගෙම්බා කෑගහනවා මහ හයියෙන්. ඌ පෙට්ටිය ඇතුලේ දඟලන විදිහ හරියට අර හොල්මන් කතන්දර වල තියෙන භූත බලවේග එලියට එන්න හදනකොට තියෙන්නේ අන්න ඒ වගේ. සද්දෙත් එක්ක පෙට්ටිය දිගටම හෙලවෙන්න පටන් අරගෙන එක පාරටම ටික වෙලාවක් නැවතිලා තිබිලා ආයෙමත් හෙලවෙනවා. කට්ට කරුවලේ තනියම ඉන්නකොට එහෙම ඇහුනහම චුට්ටක් වත් බය හිතෙන්නේ නෑනේ නේද ?  හි..හි...

ඒත් එක්කම තුශානිට මතක් වුනා අර ගෙඹි කුමාරයගේ කතාවත්.. .ඔව් ඔව්... අර හාද්දක් නිසා ගෙම්බෙක්  කුමාරයෙක් වෙච්ච කතාව තමයි. හි..හි... මෙයත් නපුරු මන්තරකාරියකගේ ශාපෙකට ගෙම්බෙක් වුනු කෙනෙක්වත්ද ? ඊයා... ගෙම්බෙක්ට හාදුවක් දෙන්න කොහොම හිත හදා ගත්තද මන්දා... හපොයි තුශානිට එක එක ඒවා හිතෙන්න ගත්තා.



පිස්සුද ඒවා බොරු කතා.... කතා නෙවෙයි, මූ හදිස්සියේවත් උදේ වෙනකොට මැරිලා හිටියෝත් ඔක්කොම පව් ටික මටනේ. කොකටත් කමක් නෑ. නැගිටලා ගිහින් බලනවා කියලා හිතලා හිමීට ඇඳෙන් බිමට බැහැලා පෙට්ටිය ගාවට ගියා. 

පුංචි පෙට්ටියක්නේ... ඉතින් පෙට්ටිය ඇතුලේ හිර වෙලා නිසා ඌ කෑ ගහ ගහ හොඳටම දඟලනවා. පෙට්ටිය ඇතුලේ ගෙම්බා කෑ ගහ ගහ දඟලන විදිහ දැක්කහම තුශානිගේ හිත එකපාරට නැවතුනා වගේ වුනා. කොච්චර හිත හදාගෙන ගිහින් නිදා ගන්න හැදුවක් ඒක කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. කොච්චර දර දඬු හිතක් තියෙන කෙනෙක්ට වුනත් අනිවාර්යයෙන්ම ඒ විදිහට හිතෙන එක හොඳටම ෂුවර් ඒ සද්දෙයි දඟලන විදිහයි දැක්කහම.

අන්තිමට තුශානිම තීරණය කලා ගෙම්බව ආපහු ලිඳ ගාවට ගිහින් දාන්න. ඔව් .. ඒ වෙලේම.

ඊට පස්සේ අම්මවයි තාත්තවයිත් ඇහැරවලා, පෙට්ටිය ලිඳ ගාවට අරගෙන ගිහින් ඌව නිදහස් කලා. අම්මයි තාත්තයිත් ඒකට මුකුත් නොකියන්න ඇත්තේ එහෙම කරනන් එපා කියලා කියන්න තරම් හිතක් එයාලටත් නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.  

පෙට්ටිය ඇරපු ගමන් ගෙබ්බත් එළියට පැනලා අපහු හැරිලා අපේ දිහා බලලා එයාගේ සුපුරුදු තැනට ගියා හරියට අපි එයාව නිදහස් කරලාට ස්තූති කියනවා වගේ. ඒ වෙලේ හිතට දැනුන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්. " පව් පුතේ.. බලන්න ඌ කොච්ච සතුටෙන් පෙට්ටියෙන් පැනලා ගියාද කියලා" අම්ම මගේ ඔළුව අතගාල කිව්වහම මටත් හිතුනා මම කලේ කොච්චර ලොකු වැරැද්දක්ද කියලා.

මල්ලි නම් උදේ හිනා වුනා අපරාදේ මම ඌව අල්ලලා දුන්නේ කියලා. 

ඉස්කෝලේට යනකොට යාළුවොත් බලාගෙන හිටියා ප්‍රැක්ටිකල් එක කරන්න. කැරපොත්තෙක් ගෙනත් තිබුන නිසා කැරපොත්තව නම් එදා කපලා බලන්න පුළුවන වුනා. ඒත් ෆෝමලින් සුවඳට කැරපොත්තා දඟලපු හැටි දැක්ක අපිට හිතුනේ වෙන සත්තු කපලා බලන්න නම් ඕනේ නෑ කියලා. ඒ නිසා ඊට පස්සේ කිසිම සතෙක් කපලා බලන්න ඕනේ කියලා කවුරුත් බයෝ මිස්ට කරදර කලේ නෑ. 

අපේ අතින් කොයි තරම් සත්තු මැරිලා තිබුනත් දැන දැන සතෙක්ව මරණ එක කොයිතරම් අමාරුද කියන එක අපි හැමෝටම හරියටම තේරුම් ගියේ එදා තමයි.



Sunday, March 22, 2015

72. වාරය එන තුරා...


දෑත දෙපයේ වාරු ගිලිහී
සැදෑ සමයේ කෙලවරේ හිඳ
ගිලන් වු ගත හිතින් තදකර
කෙනෙකු වේ පෙර මං බලා ...

 ගතේ සවි දිය කරන් මුදලට
සවිය නැහැ ජීවිකාවට අද
පොරෝගෙන හිස සිටන් පතුලට
තවත් සහනය සොයනා අයෙක්...

දඟකාර සුරතල් සිනාවන්
හොරෙක් අරෙගෙන ගිහින් වත්දෝ
පුංචි පැටියෙක් ඇඬූ කඳුලින්
තුරුලේ නැලවෙයි වේදනාවෙන්...

ඇඟේ සායම් තවරලා දෝ
රක්ත වර්ණෙන් ගතම තෙත් වී
මිරිකෙමින් වේදනාවෙන් බෝ
තව කෙනෙක් කොනකට වෙලා ...


ඉසිඹුවක් නැති වුවත් හැමටම
ඉවසමින් එය විඳ දරා
පෙළට එක එක්කෙනා ලෙසකට
හිඳියි වාරය එන තුරා ... 






ප.ලි. - පහුගිය දවසක තුශානි හදිස්සියේම අසනීප වෙලා බෙහෙත් ගන්න ගිය වෙලේ හිතුනු දේවල් ටිකක් තමයි මේ. :-)

ඊට කලින් දවසක බෙහෙත් ගන්න ගිහින් වෙච්චි ඇබැද්දියක් මේ ... කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මේකත් ගිහින් බලන්නකෝ... 

 පින්තූරය - අන්තර්ජාලයෙන් ...

Tuesday, March 17, 2015

71. මේ මාත් එක්ක ඉන්න අය ....

ට්‍රීං ට්‍රීං ......  ට්‍රීං ට්‍රීං ......

හලෝ තුශී... ඔයා ඔෆිස් එකේද ?   

නෑ අනේ ...මම Zoo එකේ.

හපොයි... ඔයාව අල්ලගෙන ආවද එහෙනම්. හා.. හා.. මම හවසට එන්නම්කො බලන්න  හි..හි... 

ඕන් නෑ...................... මම තියනවා බායි.. 

 ----------------------------------------------------

බෑ... බෑ.. 

මට නම් මේක කරන්න බෑ.... මට මේක කොච්චර කරත් ඉගෙන ගත්තත් බෑ... බෑ...අනේ කරලා දෙන්නකෝ ප්ලී........ස්  

හෆොයි. මට මේ හුස්ම ගන්නවත් බෑ.. මම කොහොමද ඒ ටිකත් කරන්නේ. 

බෑ... අනේ ... අදට විතරක් මේ ටික කරලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ...

හ්ම්... හ්ම්... අදටත් මම කරන්නම්. ඔන්න ආපහු නම් බෑ. 

බෑ බෑ කියන එක නවත්තලා බලාගෙන ඉන්න ඕනේ කොහොමද ඒක කරන්නේ කියලා හරිද.



 ----------------------------------------------------

මේ .. ඔයා හරිද ?

අයියෝ තාම නෑ... 
චුට්ටක් ඉන්න මාත් එනකන්... තව ටිකක් තියෙනවා. මට ඔයාලගේ ස්පීඩ් එකට එන්න බෑනේ.

කෝ ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. මෙහෙම ගියොත් යක්කු ගස් නගින වෙලාවට තමයි ගෙදර යන්න වෙන්නේ.

හරි හරි... මේ ඉතින් මගේ උපරිම වේගේ තමයි. 



----------------------------------------------------

හප්පේ මෙයාට තියෙන කුලප්පුවක්. හෙමින් ගමනක් ඇත්තෙම නෑ.

එහෙම නැතුව මේ සේරම කොහොම කරන්නද..

දුවන්නං වාලේ ඔහොම දුවන එකනම් ඒ තරම් හොඳ නෑ හැබැයි.  

හරි හරී අද කාලේ මෙහෙම නැතුව බෑ.. ලෝකේ යන වේගේට අපිත් යන්න ඕනේ.. 




----------------------------------------------------

පැන පැන යන එක මෙයාට නවත්තන්නම බෑ නේද ? 

හි..හි... දැන් ඒක පුරුද්දට ගිහින්. පැන පැනමයි ‍යන්න හිතෙන්නේ. 

පැන පැන යන එක නවත්තලා දැන් වත් හරියට දෙයක් කරන්න ඉගෙනගන්න.  

බලමුකෝ බලමුකො ට්‍රයි කරලා..



----------------------------------------------------
මේ .... මොනාද ඔය බෙල්ල දික් කර කර  බලන්නේ ? 

ඔයාලට ඉතින් මේවා කොහේ පේනවද ? මම ඉතින් යන්තම් උස වෙලා ඉපදුන හින්දා මේවා ලේසියෙන්ම බලා ගන්න පුළුවන්.
අපි ඉතින් කියන්නේ නෑ ඔය බෙල්ල දිග කමේ වාසි.  
හරි හරි දැන් ඔය කතාව නවත්තලා අහගන්නකෝ මම දැක්ක දේවල්.


----------------------------------------------------

හරිම බඩගිනියි අප්පා...මොනාහරි කෑවා නම් හොඳයි වගේ. 

දැන් නේද දවල්ට කෑම කෑවේ ? 

පිස්සුද... දවල්ට කෑම කාලා දැන් පැයක් විතර වෙනවා. 

ඔහොම කෑම කාලා නම් කෙට්ටු වෙන්න බෑ හැබැයි. 

හරි හරි.... හෙට ඉඳලා වැඩිය කන්නේ නෑ..

ඔය හෙට නම් කවදාවත් එන හෙටක් නෙවෙයි.. හි...හි... 

ම්හ්.. ඔහොම ඉන්නකෝ මම කෙට්ටු වෙලා පෙන්නන්න.
 ----------------------------------------------------
 මම මේ අවසාන වතාවට කියන්නේ. මීට පස්සේ මේ වගේ දෙයක් වෙන්න බෑ. දන්නවනේ මම කවුද කියලා. මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ..

නෑ.. නෑ.. අපහු එහෙම දෙයක් අපේ අතින් වෙන්නේ නෑ. අපිට තව අවස්ථාවක් දෙන්න.

මට නිදහසට කාරණා ඕනේ නෑ. හොඳට මතක තියාගන්න මේ අන්තිම වතාව. වැඩේ කොහොමහරි කෙරෙන්න ඕනේ. 

හොඳයි... අපි ඒ විදිහටම කරන්නම්. .


 ----------------------------------------------------
අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට කණ්ඩායමක් විදිහට එන ඕනම ප්‍රශ්ණේකට මූණ දෙන්න පුළුවන් වෙන්නේ. 

ඔව් .. ඔව් .. ඔයා හරි.

හැමෝගේම අදහස් දෙන්න. ඊට පස්සේ කට්ටිය කතා කරලා හොඳ අදහස් තෝර ගම්මු. ම්... වැඩ ටික බෙදාගෙන තමන්ගේ වැඩේ උපරිමයෙන් කරන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. 

 අපි ලෑස්තියි. අපි මේ දේ  හොඳට කරමු. .  





 හ්ම්.. ඒ ටික දෙනෙක් විතරයි. මේ ඉන්නේ අනිත් කට්ටිය.



අයියෝ... නෑ නෑ... සත්තු වත්තේ කට්ටිය නෙවෙයි... අපේ ඔපීසීයේ කට්ටිය.   

අපහාස කරන්න හිතාගෙන ලිව්ව නෙවෙයි. ඔපීසියේ එක එක අය දැක්කහම තුශානිට ඔය වගේ දේවල් හිතෙනවා. ඉතින් ඇත්තනේ නැද්ද හා ? 

තුශානිවත් අනිත් අයට ඔය වගේ පේනවා ඇති නේද.. හි..හි..
                      
තුශානිට පොඩි කාලේ ඉඳලා තියෙන තාම හොඳ කරගන්න බැරි වෙච්ච දරුණු ලෙඩක් මේ. මොනව කරන්නද... ඒ නිසා ඔන්න ඔහේ පේන දේවල් ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතලා තමයි මේ පොස්ට් එක ලිව්වේ. :-)
 
දැන් කියන්නකෝ බලන්න ඔයාලටත් මෙහෙම දේවල් පේනවද කියලා ?


Wednesday, March 4, 2015

70. මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ...

ඔයාට පුළුවන්ද වාහනයක් පදින්න ?  ඔන්න බෑ කියලා නම් හරියන්නේ නෑ. මේ වාහනේ පදින්න ඉගෙන ගන්නම වෙනවා. 

නෑ... නෑ... මේ වාහනේ පදින්න ලයිසන් ඕනේ වෙන්නේ නෑ.

හ්ම්... ඕනේ කරන්නේ හරියට වාහනේ පැදගෙන යන්න ඉගෙන ගන්න එක විතරයි. 

හරිනේ එහෙනම්. දැන් වැඩේ පටන් ගමු.


මුලින්ම වාහනේ ඉස්සරහට අරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. පටන් ගන්නකොටම හයියෙන් යන්න බෑනේ. ඒ නිසා බොහොම හෙමින් ටික ටික තමයි ඉස්සරහට යන්න ඉගෙන ගන්න ඕනේ. 

මෙහෙම ඉස්සරහට යද්දි මූණ දෙන්න වෙන පළවෙනිම ප්‍රශ්ණේ තමයි පාරේ තත්වය. වාහනේ පැදගෙන යන්න හම්බවෙන පාර හොඳට කාපට් කරපු එකක් වගේම, ගල් බොරලු තියෙන අබලන් වෙච්චි පාරක් වෙන්නත් පුළුවන්. ඉතින් පාරේ තත්වය කොහොම වුනත් ඉදිරියටම යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා හිත ටිකක් ශක්තිමත් කරගෙන ගමන යන්නයි තියෙන්නේ.

කෙළින් පාරවල් ලෝකේ කොහේවත් නෑනේ. ඒ වගේ මේ වාහනේ පැදගෙන යන පාරවලුත් කෙලින් පාරවල් නෙවෙයි. ඒ නිසා වමට හරවන්න, දකුණට හරවන්න, රිවස් කරන්න, U ටර්න් ගහන්නත් ඉගෙන ගන්න වෙනවා.  

ඒ වගේම පාරේ යද්දී එක එක මං සලකුනුත් දකින්න ලැබෙනවා. ඒවාට අවනත වෙමින් නොගියොත් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ඒ නිසා මං සලකුනු හඳුනගෙන ඒවා අනුගමනය කරන්නත් ඉගෙන ගන්න වෙනවා. 

ඔහොම ඉස්සරහට යනකොට තව ඔයාලට කඳු , පල්ලම් හම්බවේවි. එතකොට ඉතින් හපොයි බෑ කියලා නැවතිලා ඉන්නේ නැතුව, ටිකක් කල්පනාවෙන් වැඩි බලයක් යොදලා ඒ කඳු තරණය කරන්නත්, පල්ලම් වලදි බොහොම පරිස්සමින් වටපිටාව ගැන අවබෝධයෙන් පහළට එන්නත් පුරුදු වෙන්න ඕනේ. 

වේගෙන යන්න පුළුවන් තැන් වලදී වේගෙන් යන්නත් හෙමින් යන්න ඕනේ තැන් වලදි හෙමින් යන්නත් ටිකක් නැවතිලා ඉන්න ඕනේ තැන් වලදි ටිකක් නැවතිලා ඉන්නත් ඔන්න අමතක කරන්න නම් එපා.

ඒ වගේම පාරේ යන අනික් වාහන ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙන්න ඕනේ. සමහර විට ඒ වාහන නිසා අපේ ගමනට බාදා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වාහනේ නිසා අනිත් අයගේ ගමනට බාදා එන්නත් පුළුවන්.   මේ නිසා වැදගත් වෙන්නේ තමන් ගැනත් අනුන් ගැනත් හිතලා කාටවත් කරදරයක් නැති විදිහට තමන්ගේ වාහනේ පැදගෙන යන එක. 

ඔය කිව්වේ පොදුවේ අපි හැම කෙනෙක්ටම මුහුණ දෙන්න වෙන කාරණා ටිකක් විතරයි. ඒත් ඉතින් අපි එක එක්කෙනා එක එක විදිහේ  වාහන වල එක එක විදිහේ පාරවල් වල යන නිසා ගමන ගැන තීන්දු තීරණ බොහෝමයක්ම ගන්න වෙන්නේ තමන්ටම තමයි.



එහෙනම් යමු නේද ... 

ඔව්... ඔව්... ඔයා හිතුවා හරියටම හරි .
  
අපේ මේ ජීවිතෙත් මම කිව්ව අර වාහනේ වගේම තමයි.

වාහනේ අරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ....


ජයග්‍රහණ,  පැසසුම් වගේ හොඳ කාපට් පාරවල වල වගේම බාදක කම්කටොළු, පරාජයන් කියන බොරලු පාරවල් වලත් නවතින්නේ නැතුව ඉස්සරහටම...

ජීවිතෙත් කෙලින් පාරක් නෙවෙයි නිසා වමට, දකුණට, වගේම අපස්සටත් හැරෙන්න වෙයි නොනැවතී යන්න නම්. ටිකක් කල්පනා කරලා, යන්න ඕනේ කොයි පැත්තටද කියලා තීරණය ගන්න වෙන්නේ ඉතින් අපිටම තමයි. 

ඒ සමහර පාරවල් වලදි නම්, පාර හරි නෑ, හරි වැරදියි හරි හිතුනොත් අපිට හැරිලා එන්න පුළුවන් වුනත් හැම පාරකදි නම් අපිට හැරිලා එන්න බැරි බව විතරක් අපි අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕනේ. 

පාරේ යද්දී අපිට මං සලකුණු හම්බ වෙනවා වගේ ජීවිත ගමන යද්දිත් අපිට මගදි හම්බවෙන අයගෙන නොයෙක් විදිහේ උපදෙස්, ඉස්සරහ ගැන අනාවැකි, අනතුරු හැඟවීම් වගේ දේවල් ලැබෙනවා. ඉතින් අපි ඒ ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව ඉස්සරහට යනවා කියන්නේ හරියට අපි අනතුරකට අත වනනවා වගේ වැඩක් නිසා අඩුම තමේ සූදානම් ශරිරෙන් වත් යන්න වගබලා ගන්න ඕනේ. 

කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න පුළුවන් නිසා අමාරුයි අමාරුයි කිය කිය කන්ද පාමුලට වෙලා ඉන්නවට වඩා උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් කඳු නගින්නත් කොහොමහරි හිතට ගන්න ඕනේ.

හැබැයි ඉතින් අනිත් අය යන විදිහ කොපි කරලා ඒ විදිහටම යන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නෑ. මොකද අපි එක එක්කෙනාගේ වාහ , වාහ යන පාරවල් වෙනස් නිසා තමන්ගේ ජීවිතේ ගැන, තමන්ගේ ගමන් මග ගැන, තීන්දු තීරණ අරගෙන සාර්ථක ගමනක් යන්න වෙන්නේ තමන්ටම තමයි.

ඒ නිසා මේ දේවල් ටික හිතට අරගෙන කට්ටියම තම තමන්ගේ වාහන වලට නැගලා ඉස්සරහට යන්න උත්සාහ කරමු නේද ? 

Monday, February 23, 2015

මහින්ද අල්ගම මාමත් එක්ක අපි ගුවන් විදුලි නාට්‍ය කරපු හැටි...

පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස අනුපමේය සේවයක් කල මහින්ද අල්ගම මාමා අපිට නොකියාම නො එන ගමනක් ගිහින් පහුගිය 15 වෙනිදාවට වසරක් ගත වුනා. රූපයෙන් ඔහු බොහෝ දෙනෙක් නොහදුනන කෙනෙක් වුනත් ඔහුගේ නිර්මාණයන් රස නොවිඳි කෙනෙකු නැති තරම්. මතකයිනේ මම මිට කලින් ඔහු ගැන ලිව්වා. ඒ පොස්ට් එක කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් ඒක කියවලම එන්නකෝ.      

වර්ෂ පූර්ණ පිංකම් මාලාවේ තවත් එක් අංගයක් විදිහට මහින්ද මාමා නිෂ්පාදනය කල, ඔහුගේ ගුරුහරුකම් යටතේ වැඩසටහන් මෙහෙයවූ ළමා ශිල්පී ශිල්පිණියන්ගේ එකමුතුවෙන් ගෝතම තපෝවනය ආශ්‍රිතව පිහිටි කුමාර කාශ්‍යප ළමා නිවාසයේ දානමය පිංකමකුත් පහුගිය දිනක පැවැත්වුනා. මහින්ද මාමා මුළු ජීවිත කාලයම ළමයින් වෙනුවෙන් කැප කල කෙනෙක් නිසා වසරක් පිරෙන මේ මොහොතේදී ළමයින් වෙනුවෙනුත් යමක් කරන්න ඕනේ කියලා හිතලා තමයි මේ කටයුත්ත සංවිධානය වුනේ. 

ඉතින් තුශානිටත් අවස්ථාවක් ලැබුනා මේ කටයුත්තට සහභාගී වෙන්න. එදා පුංචි ළමයි විදිහට මහින්ද මාමා වටා එකතු වුනු අපි, අද  ලොකු මහත් වෙලා සමාජයේ නොයෙක් තැන්වල ඉඳලා එකට එකතු වුනත් අපි පසුපස හිඳිමින් අපිට මගපෙන්වන්න, ගුරුහරුකම් දෙන්න ඔහු අපි අතර අද නොසිටීම නොපිරිමැසිය හැකි අඩුවක් බව ඒ අවස්ථාවට සම්බන්ද වුනු හැම කෙනෙක්ටම බොහොම තදින් දැනුන කරුණක්.

ඇත්තටම ඒ හෝරා කිහිපය, තුශානිවත් අතීත මතක ගොඩකට අරගෙන යන්න සමත් වුනා. ඒ නිසාම අද තුශානි හිතුවා ඒ අතීත මතකය ඔහු වෙනුවෙන් අවදිකරලා ඔහු වෙතින් අපි උගත් දෑ ගැන පුංචි සටහනක් තියන්න. මේ මහින්ද මාමාත් එක්ක අපි ගුවන් විදුලියේ ළමා නට්‍ය කරපු හැටි. 
තුශානිට මහින්ද මාමා මුලින්ම හමුවුනේ ළමා පිටිය වැඩසටහනකට සහභාගී වුන අවස්ථාවක. මහින්ද මාමා ටිකක් සැර කෙනෙක් කියන මතය ඒ වෙනකොට තුශානිගේ හිතේ තිබුන නිසා ඔහු යටතේ නට්‍යකට සම්බන්ද  වෙන්න වැඩි කැමැත්තක් ඒ කාලේ තුශානිට තිබුනේ නෑ. මොකද තුශානි ඉතින් පොඩ්ඩක් වත් බය නැති එක්කෙනානේ. :). ඒත් දවසක් මහින්ද මාමා වෙනත් වැඩසටහනකදී හම්බ වෙලා "එන්න පුළුවන්ද නාට්‍යයකට" කියලා ඇහුවා තුශානිට අද වගේ මතකයි. මොකද බෑ කියන්න බැරිකමටමයි තුශානි එදා හා කිව්වේ. වරදවා හිතන්න එපා. ඇත්තම කිව්වොත් ඒ තරමට තුශානි මහින්ද මාමත් එක්ක වැඩ කරන එක අහියෝගයක් කියලයි හිතාගෙන හිටියේ. දැන් ඒ ගැන හිතෙනකොට ඒ කොයිතරම් නම් වැරදි වැටහිමක්ද කියලා හිතෙනවා. ඇත්තටම ඔහු යටතේ ගුරුහරුකම් ලබන්න තුශානිත් පිං කරලා තිබීම ගැන අද හිතේ නිහතමානී සතුටක් තියෙනවා. මොකද අපි හැම කෙනෙක්ගේම පදනම ඔහු ශක්තිමත් කල නිසා. 

ඉතින් ඔන්න ඔය විදිහට තුශානි ළමා නාට්‍ය වලට සම්බන්ද වුනා. මහින්ද මාමා කියන්නේ හුඟක් හොඳ මතකයක් තිබුන කෙනෙක්. මොකක්හරි වැඩසටහනක් සඳහා දිනයක්, වෙලාවක් වෙන්කර ගත්තොත් ඒ දවසේ ඒ දේ හරියටම කරන කෙනෙක්. තුශානි ගියේ ගුවන් විදුලිය අවට තිබුනු බාලිකා පාසලකට නිසා පාසල නිමා වෙලා බොහොම ඉක්මනින් ගුවන්විදුලියට ඒමේ හැකියාව තුශානිට තිබුනා. මහින්ද මාමත් එක්ක කොහොමත් කලට වෙලාවට වැඩ තියෙන්න ඕනේ නිසා කිසි දවසක පරක්කුවලා දුවගෙන නො එන්න හැම තිස්සෙම තුශානි වගබලා ගත්තා. ඒ දවස්වල තිබුනු ආරක්ෂක හේතු නිසා ගුවන් විදුලිය ඇතුලට යන්න ලේසියෙන් හැකියාව තිබුනේ නෑ. රිසෙප්ශන් එක ගාව අපිට ඉන්න සිද්ද වුනා මහින්ද මාමා ඇවිත් කට්ටියම ඇතුලට එක්කගෙන යනකන්. ඔන්න ඉතින් එන්න කියපු වෙලාවට මහින්ද මාමා පිටපත් ටිකකුයි, තැටි ටිකකුයි උස්සගෙන එනවා දකින්න පුළුවන්. " කට්ටිය කාලාද ඉන්නේ " ඒ මහින්ද මාමාගේ පලවෙනි ප්‍රශ්නය. "නැති කට්ටිය  ඉක්මනට කාලා එන්න අපි රියසල් එකට ලෑස්ති වෙන්කන්" කියලා මහින්ද මාමා රියසල් කරන තැන කියලා ඉතුරු කට්ටියව එතනට එක්කගෙන යනවා. 

මහින්ද මාමා මුල් පිටපත අතේ තියාගෙන අනිත් පිටපත් ටික අපි අතරේ බෙදලා දීලා එක එක් එක්කෙනාට නාට්‍යයේ චරිතත් බෙදලා දෙනවා. රියසල් එක තමයි අපිට ඕන දෙයක් අහගන්න තියෙන එකම අවස්ථාව. පිටපතේ අපැහැදිලි තැන්, වෙනස් කරගන්න ඕනේ තැන්, හඬ උස් පහත් කරන විදි, හඬ වෙනස් කරන විදි වගේ හැම දෙයක්ම ඒ වෙලාවේදී අහගන්න පුළුවන්. පිටපතේ දෙබස් නාට්‍යයේ විදිහට නාට්‍යාකාරයෙන් හසුරවමින් තමයි පුරුදු පුහුණුවීම් සිද්ධවෙන්නේ. එතකොට මහින්ද මාමා පිටපත දිහා බලාගෙන අපේ  වැරදි අඩුපාඩු හදනවා. කට හඬ හැසිරවිය යුතු සියුම් තැන් පවා ඔහු කියාදෙන ආකාරය නවකයින් වුනු අපිට අපේ අඩුපාඩු හදා ගන්න ලොකු පිටිවහලක් වුනා. සිංහල භාෂාව ගැන වුනත් මහින්ද මාමාට තිබුනේ පුළුල් දැනුමක් නිසා ඕනෑම දෙයක් ඔහුගෙන් අහලා දැන ගැනීමේ හැකියාව අපිට තිබුනා. හරියටම කියනව නම් ඔහු ඇවිදින පුස්තකාලයක් වගේ. ඒ කාලේ තුශානිට වගේම හැම කෙනෙක්ටම තිබුනු ලොකු ප්‍රශ්යක් වුනේ කොහොමද මාමා මේ හැම දෙයක්ම දන්නේ කියන එක. ඒ වගේම අපේ අධ්‍යාපන කටයුතු ගැන වුනත් මාමා නිතරම අහලා ඒවට උදව් කරපු අවස්ථා බොහෝමයි.

ඊලඟට මහින්ද මාමා කට්ටියම පටිගත කිරීම සිද්ද වෙන මැදිරියට / ස්‍ටුඩියෝ එකට එක්කගෙන යනවා. හුඟක් වෙලාවට නාට්‍යය පටිගත කිරීම සිද්ද වෙන්නේ 10 වෙනි මැදිරියේයි. මහින්ද මාමාගේ නාට්‍ය පටිගත කිරීම් මාමාම සිද්ද කරන නිසා මාමා ඉන්නේ පටිගත කිරීම සිද්දවෙන කොටසේ. මැදිරියේ තියෙන විශාල වීදුරුවකින් තමයි මාමාව එතකොට අපිට පේන්නේ. එතන ඉඳලා මාමා අතින් දෙන සිග්නල් එක්ක තමයි අපි ඉතුරු වැඩ ටික කරන්න ඕනේ. 


අහගන්න තියෙන දෙයක් කලින් අහගන්න ඕනේ මෙන්න මේ හේතුව නිසයි. සාමාන්‍යයෙන් පටිගත කරන කොටසින් අපි ඉන්න පැත්තට නාට්‍ය අතරතුරේදී මාමා එනව නම් එන්නේ මාමගේ ඉවසීමේ සීමාව ටිකක් ඉක්මවා ගියහම කියන එක අපි කවුරුත් දන්න නිසා හැමෝම බොහොම උනන්දුවෙන් නාට්‍යට සම්බන්ද වෙන්න නම් අමතක කරන්නේ නෑ. මොකද එකම වැ‍රැද්ද දිගින් දිගටම කරන එක මාමා අකමැති දෙයක් නිසා. අවධානයෙන්, කරන වැඩේ නිවැරදිව කරන්න මාමා හැම තිස්සේම අපිට උපදෙස් දුන්නා. ඒ නිසාම පුහුණුවෙන අවස්ථාවේදී හොඳ අවධානයකින් පුහුණුවීම් කරන්නත්, පටිගත කිරීම සිද්ධ වෙන අවස්ථාවේදීත් වැරදීම් අවම කරගනිමින් හරියටම කරන්නත් හැම කෙනෙක්ම උත්සාහ ගත්තා.



මෙන්න මේ විදිහට මැදිරියේ තියෙන මයික් එක දෙපැත්තේ කට්ටිය වටේට හිටගෙන නාට්‍යයට හඬ මුසු කිරීම සිද්ද කරනවා. ගුවන් විදුලි නාට්‍යකදී සෑහෙන පිරිසක් ඒකට සහභාගී වෙන නිසා අන්‍යෝන්‍ය සහයෝගීතාවය නාට්‍යයේ සාර්ථකත්වයට එක එල්ලේම බලපානු ලබනවා. අනිත් කාරනාව තමයි දෙබස් එකින් එක දම්වැලක් පුරුක් වගේ බැඳි පවතින නිසා දෙබස් හසුරවනකොට තවත් කෙනෙකුගෙන් ලැබෙන සහය ඉතුරු දෙබස් ගලා යාම වලට හොඳ රුකුලක් සපයනවා.  එකමුතුකම, සහයෝගය එක්ක සාර්ථක නිර්මාණයක් පැය එකහමාරක් වගේ කාලයක් ඇතුලත නිම කරගන්න අන්තිමට හැකියාව ලැබෙනවා. 

මේ විදිහට මහින්ද මාමා නිෂ්පාදනය කරපු නාට්‍ය වලට සම්බන්ද වුනු බොහෝදෙනෙක් එදා ළමා නිවාසයට ඔහු වෙනුවෙන් ඇවිත් හිටියා. ඒත් පිටපත් ටිකත්, පටිගත කරන තැටි ටිකත් අරගෙන මහින්ද මාමා එදා නම් අපි අතරට ආවේ නෑ.  මාමා අපිට, අපේ ජීවිත වලට සාර්ථක අඩිතාලමක් දාලා අපිට නොකියම යන්න ගිහින්.

ඒත් ඔබ ඇසුරෙන් අපි ලැබු බොහෝදේ සමග හැමදාමත් ඔබ අපි අතර අමරණීයව ජීවත් වේවි. 

ආදරණීය මහින්ද මාමේ ඔබට නිවන් සුව ලැබේවා ! 

  
ප.ලි - සියළු ඡයාරූප අන්තර්ජාලයෙන්  


Saturday, February 14, 2015

ආදරයට ආදරයෙන් ...




ආදරය දකින්න, ආදරය විඳින්න, කියලා දුන්නේ 
ආදරය ...

ආදරය දෙන්න, ආදරය කරන්න, පුරුදු කලේ 
ආදරය ...

උණුහුමට තුරුල්වෙන්න, ලං වෙලා හාදු දෙන්න, තරවටු කලේ 
ආදරය...

බෑ කියලා හිතෙන දේ කරන්න, අලුත් දේ හිතන්න, ධෛර්යය දුන්නේ ආදරය... 

දුක හිතුනම තරහ වෙන්න, තරහ වෙලා යාළුවෙන්න, හිතත් එක්ක චන්ඩිකම් කලේ ආදරය...

අඬනකොට සනසන්න, මොනවහරි කියලා හිනස්සන්න, වචන දුන්නේ ආදරය...

වැටි වැටී නැගිටින්න, නොවැටී හිටගන්න, ශක්තිය දුන්නේ 
ආදරය...

හුස්මක් වගේ ලඟ ඉඳන්, මල් කැකුලක් තරමට පරිස්සම් කලේ 
ආදරය... 

ජීවිතය තේරුම් ගන්න, ජීවිතය දිනන්න පාර පෙන්නුවේ 
ආදරය ... 

ප.ලි. - ආදරය කියන්නේ එක් දවසකට සමරන්න ඕනේ දෙයක් නෙවෙයි කියලයි තුශානි හිතන්නේ. හැම දවසකම හැම තත්පරයකම ආදරයෙන් ඉන්න පුළුවන් නම් ඒකයි සැබෑ ආදරය.. සැබෑ ආදරයක් වෙනුවෙන් හැම කෙනෙක්ටම සුබ පතන්න අද දවසේ මේක අවස්ථාවක් කරගන්නවා.

ප.ප.ලි. - වැලන්ටයි වෙනුවෙන් තුශානි ලියන පළවෙනි සහ අන්තිම පොස්ට් එක මේක  :)


Wednesday, February 4, 2015

නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී..





හදේ ඉතිරෙන සෝ තැවුල් හැම පිටට එන්නට ඉඩ   නොදී 
නේක දොම්නස් සයුරේ ගිලුනා සුසුම් වෙන්නට ඉඩ  නොදී
හිතින් හැඬුවත් වතින් හිනැහී ඉකි බිඳින්නට ඉඩ       නොදී
නෙතු පියන් වල ඉඩක් හෙව්වා කඳුළු වෙන්නට ඉඩ නොදී

ජීවිතේ රඟමඩකලකි යි අපි නේක ‍රැඟුමන් රඟ             දෙනා
පිරිස් අභියස චරිත අතරේ එකින් එක පැන පැන             යනා
නිම්වලලු නොපෙනෙනා සසරක කර්ම කර පින්නා     ගෙනා
යන මගේ නැවතුමක් කොතැනද හිතට සැනසුම ගෙන  දෙනා

හැඟුම් දැනුමන් නොමැති ලෙසකට සිටිය හැකිවේ නම් ලොවේ
දුකක් නෑ නොලැබුනත් සතුටක් තැවෙන්නට හදවත්   කොනේ
සම සිතින් හැම විඳ දරන්නට ඇහැකි නම් දිවි               මාවතේ
එයයි විසඳුම ගෙවන්නට කල් දුකක් නොමැතිව            ජීවිතේ





Tuesday, January 20, 2015

පෑනේ මිතුරෝ...

පෑනේ මිතුරෝ ගැන එකපාරටම මතක් වුනේ පහුගිය දවසක පොත් රාක්කේ තිබිලා හම්බවුනු ලියූම් ගොන්නක් දැක්කහමයි. ඒ අතරේ තිබ්බ ලස්සන ලස්සන පොස්ට් කාඩ්, මුද්දර, පුංචි සමරු තිලිණ, අතරේ හිරවෙලා තුශානි අවුරුදු කීපයක් ආපස්සට ගියා හරියට කාල තරණ බලයක් ලැබිලා වගේ..


පෑනේ මිතුරෝ කිව්වහම අපේ හිතට එන්නේ ලියුම් ගනුදෙනුවකින් හඳුනගත්ත නොදු‍ටු මිතුරෝ කියන හැඟීම. මේ නොදු‍ටු මිතුරුකම තමන්ගේ රට ඇතුලේ වගේම මුහුදෙන් එහා ඈත රටවල මිතුරු මිතුරියෝ එක්ක වෙන්නත් පුළුවන්. බ්ලොග් අවකාශය තුල වුනත් හුඟක් වෙලාවට අපි එක එක්කෙනා හැබැහින් දැකලා කතාබහ කරලා නැති නිසා ඒ මිතුරුකම වුනත් පෑනේ මිතුරුකමක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

පුංචි කාලේදී නම් තුශානි පෑනේ මිතුරෝ කියලා හිතාගෙන හිටියේ, මුහුදෙන් එහා රටක ජීවත් වෙන, ඉංගීරීසි පන්නෙට හැදුනු, අපිට වඩා වෙනස්ම විදිහකට ජීවත් වෙන කට්ටියක් කියලා. ඒ හිතපු විදිහට පෑනේ මිතුරියක් හොයාගන්න ඕනේ කියන අදහස තුශානි ආවේ  6 පන්තියේ ඉගෙන ගනිද්දී. තුශානිගේ හොඳම යාළුවගෙන් ලැබුනු ලියුමක තිබුනු හෝඩුවාවක් තමයි ඒකට මූල බීජය වුනේ. 5 වසරේ ශිෂ්‍යත්වෙන් පස්සේ තුශානිට කොළඹ ඉස්කෝලේකට යන්න සිද්වුන නිසා එකේ පන්තියේ ඉඳලා ලඟින්ම හිටිය හොඳම යාළුවට නිතර ලියුමක් ලියලා විස්තර අහන්න තුශානි ඒ දවස්වල පුරුදු වෙලා හිටියා. අද වගේ තාක්ෂණය  එදා පුංචි ළමයි විදිහට අපි පාවිච්චි නොකරපු නිසා ලියුම් තමයි තොරතුරු අහන්න තිබුනු එකම මාධ්‍ය වුනේ. 

ඉතින් ඒ විදිහට පෑනේ මිතුරන් හොයලා දෙන ජාත්‍යන්තර ආයතනයක විස්තර තමයි යාළුවගෙන් ලැබුනේ. ඒ විස්තර බලලා තුශානිත් ඒ ආයතනේට ලියුමක් දැම්මා. මාසෙකට විතර පස්සේ මෙන්න ඒ ආයතනයෙන් තුශානිට ලියුමක් ඇවිත් තිබුනා පෑනේ මිතුරියකගේ විස්තරත් එක්ක. සතුට වැඩිකමටම තුශානි එවෙලෙම පෑනේ මිතුරියට ලියුමක් ලියන්න ඕනේ කියලා ලෑස්තිවුනත් කොහොම පටන්ගන්නද, ඉස්සෙල්ලාම මොනව ලියන්නද කියලා හිතාගන්න බැරුව කොළ හත අටක් නාස්ති කරලා අන්තිමේදී යාන්තම් ඉංගිරීසි අකුරු ටිකක් ගැට ගහලා ලියුමක් ලියා ගත්තා. ඒත් ඉතින් මගේ මේ  ඉංගිරීසි ඒ සුදු ළමයට තේරෙයිද දන්නේ  නෑනේ. ඒ නිසා තුශානිගේ සීයාට ලියුම පෙන්නලා අඩුපාඩු ටික හදාගෙන ලියුම තැපැල් කරන්න ගිය හැටි තුශානිට අද වගේ මතකයි.



ඒ ලියුමේ මුලින්ම මම ලිව්වේ මං ගැන. නම, ගම, වයස, ඉස්කෝලේ විනෝදාංශ, ගෙදර විස්තර ලියලා එයාගේ විස්තරත් අහුවා කියලාත් හොඳට මතකයි. මොකද එකම ලියුම දහ පාරක් විතර ලිව්වනේ.. හි..හි..  ඊට පස්සේ ඒ ලියුම රට ලියුම් කවරෙක දාගෙන මල් වට්ටියක් ගෙනියනව වගේ බොහොම පරිස්සමින් අරගෙන සීයාත් එක්ක තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම තැපැල් කලා.

පිට රටකට ලියුමක් ගිහින් ඒකට උත්තරයක් එන්න සෑහෙන කල් යනව කියලා දැන ගෙන හිටියත් ලියුම තැපැල් කරපු දවසට පහුවෙනිදා ඉඳලාම තුශානි ඉස්කෝලේ ඇරිලා ගෙදරට ගොඩවුනේ අම්මගෙන ලියුමක් ආවද කියලා අහගෙනමයි.  එහෙම ඇඟිලි ගැන ගැන දවස් පහුකරලා මාසෙකට විතර පස්සේ මෙන්න තුශානිගේ නමට රට ලියුමක් ඇවිත් තිබුනා. එදා හරියට තුශානිගේ ඉහේ මලක් පිපුනා වගේ. ලියුම කරකව කරකව තුන් හතර සැරයක් බලලා බොහොම පරිස්සමට තමයි ලියුම කඩලා බැලුවේ.

 
මුතු කැට වගේ ඉංගිරීසි අකුරෙන් රෝස පාට කොලේක ලියපු ලියුමක් ඒක ඇතුලේ පොඩියට නවලා පින්තූරයක් එක්ක තිබුන හැටි තුශානිට තාමත් මතකයි.

යුක්රේන රටේ ජීවත් වුන එයාගේ නම ඉරිනා. එයාගේ විස්තර, විනෝදාංශ වගේම රටේ විස්තරත් කෝලේ දෙපැත්තම පිරෙන්න ලියලා, ලංකාව ගැනත් විස්තර ලියලා එවන්න කියලා තමයි ලියුමේ ලියලා තිබුනේ. ම්... කීපාරක් ඒ ලියුම කියෙව්වද කියනව නම් හරියට අර කතාවක් කට පාඩම් කලා වගේ කෝලේ බලන්නේ නැතුව මුළු ලියුමම කතාවක් වගේ කියන්න තුශානිට පුළුවන්කම තිබුනා. හි..හි.. 

ඒ විදිහට පටන් ගත්ත මිතුරුකම අවුරුදු තුනක් විතර බොහොම හොඳින් දෙරටේම තොරතුරු, පෝස්ට් කාඩ්, පුංචි පුංචි සමරු සටහන් හුවමාරු කරගනිමින් අලුත් අත්දැකීමත් තුශානිගේ ජීවිතේට අරගෙන ආවා. ඒ වගේම ඒ මිතුරුකම නිසා තුශානිට හුඟක් දේවල් ඉගෙන ගන්නත් ලැබුනා. යාළුවා ලියලා එවන විස්තර වගේම යාළුවට ලියලා යවන්න අලුත් දේවල් හොයන්නත්, ඒ දේවල් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලියන්නත්, ඉංග්‍රීසි භාෂාවේ අලුත් වචන, උපමා උපමේයන් ඉගෙන ගන්නත්, හැකියාව ලැබුනා. කොටින්ම කියනව නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව වැඩි වුනේ මේ යාළුකම නිසා.


 ඔය අතරේ තමයි ඉරිනාට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට යන්න සිද්ද වුනේ.  නිවාඩුවක් ලැබිලා යුක්රේනයට ආව කාල වල ඊට පස්සේත් ලියුම් කීපයක් තුශානිට ලැබුනා. ඒත් තුශානිටත් සාමාන්‍ය පෙල විභාගය තිබුන නිසා  ලියුම් හුවමාරුව ටිකක් බිඳ වැටිලා ගියා.  ලංකාවේ තියෙන තරඟකාරී අධ්‍යාපනය එක්ක සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන කාලා හරිම අවිවේකී කාලනේ. තුශානි ඊට අමතරව පාසලේ විෂය බාහිර වැඩ ගොඩකුත් කල නිසා හරිම කාර්යබහුලව තමයි ඒ කාල ගෙවුනේ. දිගටම ලිව්වේ නැති වුනත් ඉඳලා හිටලා හරි කොහොමහරි ලියුමක් එයාට යැව්වා. ඉරිනා ඉතාලියේ නේවාසිකව හිටිය නිසා ගෙදර ආපු වෙලාව තමයි ඒ ලියුම් එයාගේ අතට පත් වුනේ.
 
මේ වෙනකොට ලියුම් ගනුදෙනු නොවුනත් ඒ සොඳුරු මතකය තුශානිගේ හිතේ තාමත් ඒ විදිහටම තියෙනවා.  එදාට වඩා අද සන්නිවේදන ක්ෂේත්‍රයේ තියෙන දියුනුවත් එක්ක ලෝකේ ඕනම තැනක් ඉන්න කෙනෙක් හොයාගන්න ඒ තරම්ම අමාරු නෑනේ. ඉතින් ඒ මිතුරුකම ආපහු පටන් ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය නම් තුශානිට තියෙනවා. ඒ නිසාම මුහුණු පොතෙන් හරි ඉරිනාව හොයා ගන්න ටිකක් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා තමයි තුශානි හිතාගෙන ඉන්නේ.

ඉතින් මට වගේම ඔයාලටත් පෑනේ මිතුරු මිතුරියේ ගැන මේ වගේ සොඳුරු මතකයන් ඇති. ඒ ගැනත් පුංචි සටහනක් මේකට එකතු කරන්නකෝ එහෙනම්. 



Monday, January 5, 2015

චුට්ටක් නැවතිලා බලමුද ?

බලන්න ... 2015 අවුරුද්ද උදා වෙලා අද වෙනකොට දවස් 5 ක් ගතවෙලා ගිහින්. ඒ කියන්නේ අපිටත් නොදැනීම කාලය බොහොම ඉක්මනින් ගිවීගෙන ගිහින්. ඉක්මනින්ම ගෙවීගෙන යන මේ කාලයත් එක්ක අපි යන්ත්‍ර සූත්‍ර වගේ වැඩ කරනවා මිසක්, චුට්ටක් නැවතිලා හිතන්න එක විනාඩි පහක හරි කාලයක් අරගෙන තියෙනවද කියලා අහලා බැලුවොත් හුඟ දෙනෙක් ගෙන් ඒකට ලැබෙන්නේ " නැහැ" කියන පිළිතුර. 


අපි කවුරුත් ඒ ගැන නොසලකා හැරියට චුට්ටක් නැවතිලා හිතලා බලන්න ගන්න විනාඩි පහ අපේ ජීවිතයට කොයි තරම් වටිනවද කියලා දැනෙන්නේ අපිටම ප්‍රශ්නයක් ඇවිත් නැවතිලා ටිකක් හිතන්න සිද්ද වුන වෙලාවට.

 ඒ නිසා අද තුශානි හිතුවා මේ අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක විදිහට හිතන්න යමක් ඉතිරි කරන දෙයක් ගැන ලියන්න ඕනේ කියලා. ඉතින් බෝතල් අඩි තියෙන ලොකූ කණ්නාඩි දෙකකුත් දාගෙන, පොත් ගොඩකුත් වටේට තියාගෙන පොත් ඇතුලේ වගේම ලෝකය එහා මෙහා යාකරගෙන දැල් බැඳගෙන ඉන්න අන්තර්ජාලයටත් ගොඩ වෙලා බැලුවා ජීවිතය ජය ගත්ත මිනිස්සු ප්‍රශ්ණ වලට මුහුණ දීපු විදිහ, එයාලගේ සිතුම් පැතුම් මොනවගේද , එයාලා මොනවගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා.



අන්න එහම හොයාගෙන යද්දී සෑහෙන කියන්න දේවල් හම්බවුනා. ඒ අතරින් එකක් තමයි මේ.   

Coca - Cola  සමාගමේ හිටපු විධායක නිලධාරී බ්‍රයන් ඩයිසන් මහත්තයා ජීවිතේ හිතන්න ඕනේ දේවල් පහක් ගැන තත්පර තිහක කෙටි දේශනයකින් විස්තර කරලා තියෙනවා. සමහරවිට ඔයාලා මේ ගැන දැනටමත් දන්නවා වෙන්නත් පුළුවන්. දන්න අයට ආපහු මතක් වෙන්නයි නොදන්න අයට දැන ගන්නයි තමයි මේ සටහන තියන්නේ. 

බ්‍රයන් මහත්තයා කියන විදිහට ජීවිතය කියන්නේ, හරියට බෝල පහක් අහසට විසිකරමින් ආපහු ඒවා අල්ල ගනිමින් රන ක්‍රීඩාවක් වගේලු හැබැයි මේ හැම බෝලයක්ම බිම වැටෙන්න නොදී අල්ල ගන්නත් ඕනේලු.  එයා ඒ බෝල පහ හිතන්න කියලා කියන්නේ ‍රැකියාව, සෞඛ්‍ය, පවුල, මිතුරන් හා විනෝදාංශ විදිහටයි.  

මේ ක්‍රීඩාවේදී ටික කාලයක් යද්දී අපිටම ඉක්මනින්ම තේරේනවලු අර ‍රැකියාව කියන බෝලය අනික් බෝල වලට වඩා ටිකක් වෙනස් කියලා. හරියම මෙන්න මේ වගේ; අනික් බෝල හතර වීදුරු බෝල හතරක් කියලා හිතුවොත් ‍රැකියාව ඊට වෙනස් රබර් බෝලයක් වගේලු. 
.

ඒ කියන්නේ ‍රැකියාව කියන බෝලය අපේ අත්වැ‍රැද්දකින් හරි පුංචි අතපසුවීමකින් හරි මේ ක්‍රීඩාවේදි අපේ අතින් අත ඇරිලා බිමට වැ‍ටුනොත් නැවතත් ඒක ආපහු අපි වෙතට එනවලු හරියට රබර් බෝලයක් බිම වැටිලා ආපහු එනවා වගේ. ඒත් සෞඛ්‍ය, පවුල, මිතුරන් විනෝදාංශ  කියන බෝල එක පාරක් හරි අපේ අත්වැ‍රැද්දකින් හරි අතපසුවීමකින් හරි බිම වැ‍ටුනොත් ඒවා වීදුරු බෝල වගේ නිසා පලුදු වෙලා ආපහු තිබුන තත්වෙට පත්වෙන්නේ නෑලු. 

ඒ නිසා ජීවිතය කියන මේ ක්‍රීඩාවේදි අපි අර බිම වැ‍ටුනත් නැවත අපි වෙත එන රබර් බෝලයට වඩා, බිම වැ‍ටුනොත් පලුදු වෙලා යන වීදුරු බෝල හතර ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන්න ඕනේ කියලා තමයි බ්‍රයන් මහත්තයා පෙන්නලා දෙන්නේ.



ඇත්තටම අපි අපේ ජීවිත ගැන කල්පනා කරලා බැලුවහම අපි වැඩි අවධානයක් දීලා තියෙන්නේ වීදුරු බෝල වලට වඩා රබර් බෝලයෙන් කියවෙන ‍රැකියාවට. රාජකාරිය දේව කාරිය විදිහට සලකන එකේ වරදක් නෑ. ඒත් ඒ නිසා ජීවිතයේ අනිකුත් වටිනා දේවල් නැති කරගත යුතු වෙන්නේ නෑ. අන්න ඒ නිසා මේ අවුරුද්දේදීවත් රාජකාරිය වගේම තමන්ගේ සෞඛ්‍යය, පවුල ගැන, දුක සැපේදී ලඟ ඉන්න යාළුවෝ ගැන, හිත නිදහස් කරගන්න, සැහැල්ලු කරගන්න පුළුවන් විනෝදාංශ ගැන ටිකක් වැඩිපුර අවදානය යොමු කරමින් කටයුතු කරන්න උත්සාහ කරමු නේද...

ම්.. ඔයාලම චුට්ටක් නැවතිලා හිතලා බලන්නකෝ...  :)

 

නැවතිලා හිතලා බලන්න තුශානි ලියපු තවත් ඒවා ..  

බ්ලොග් ලියන අයට සම්මන්ත්‍රණයක් .. 

දීර්ඝායුෂ ලැබූ පොඩි හාමුදුරුවෝ...

මාලිගාවට යනවද ? ආපහු එනවද ?






Thursday, January 1, 2015

සුබ නව වසරක් වේවා !




දෙදහස් දාහතරේ සීතල දුරුත්තේ       දී
නව වසරකට පා තැබුවා තුටින්       බැඳී
කාලය ගත වුනා නොදැනිම දවස්    සතී
සමගින් අලුත් වසරේ නව පැතුම්  පොදී


නවම් මැදින් දින පසුකර ඉන්     පස්සේ 
ඉක්මන් ගමනකින් ආවා බක්      මාසේ
රබන් සුරල් ඔන්චිලි වාරම්         අස්සේ
අවුරුදු සැමරුවා එනතුරු මැයි     මාසේ

තෙමගුල සිහි කරලා හැම දෙන වෙසක් මහේ
ආමිස ප්‍රතිපත්ති පූජා අතර                     තුරේ
දන් සැල් තොරණ ඉදි වුවා සතර          දෙසේ
පොසොන් ලබන තුරු පසුකර වෙසක්   දිනේ


ඇහැළ මල් පිපී සුන්දර ඇහැළ         ගෙවී
නිකිණි බිනර වප් ලැබුවා පෙළට       සැදී
රාජකාරී බෝ වුවත් එකට                 බැඳී
බ්ලොග් එක වෙතට ආවා හැකි හැම විටදී

පළවෙනි උපන්දිනේ සැමරුවා වප් මාසේ
පෝස්‍ටු පනහකුත් ලිව්වා ඒ           අස්සේ
කවි පද බඳින්නට හිත ආවා         බෝසේ
කවි පද වැල් බැඳුනා ඉල් උඳුවප්     මාසේ

හිතුනා නැවත ආ මග දෙස       බලන්නට 

කැටිකර එයත් කවියෙන් මෙහි තබන්නට
එළබෙන වසර කිරියෙන් ඉතිරී    යන්න

තිරණ සරණ පතනවා මා ඔබ         හැමට





Related Posts Plugin for WordPress, Blogger...