අද පොසොන් පෝය නිසාමද මන්දා වටපිටාවේ තියෙන්නේ හරිම අමුතු ලස්සනක්. සුදට සුදේ සුදු ඇඳගෙන සිල් ගන්න යන සිල් ඇත්තො පාර දිගේ පේලියට පන්සල් යනවා. වත්තේ තියෙන සමන් පිච්ච වැල සුදු මල් චීත්තයක් ඇඳලා වගේ මල් වලින් පිරිලා. ගහෙන් ගහට පියඹලා යන කුල්ලොත් , අත්තෙන් අත්තට පැන පැන යන ලේන් පැංචනුත් වෙනදට වඩා ටිකක් එයාලගේ දඟ වැඩ අඩු කරලද මන්දා... හිතට ලොකු සැහැලුවක් දැනෙන නිසා පොසොන් පෝයත් මතක් කරලා පොසොන් දවස නිසාම පුංචි බණ කතාවක් කට්ටියට දැන ගන්න ලියන්න ඕනේ කියලා හිතලා තමයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ.
මේක පුංචි හාමුදුරු කෙනෙක් ගැන කියවෙන ලස්සන බණ කතාවක්. ඔන්න ඉතින් ඉස්සර එක පන්සලක පුංචි හාමුදුරු කෙනෙකුයි ලොකු හාමුදුරු කෙනෙකුයි හිටියලු. මේ පුංචි හාමුදුරුවෝ පුංචි වුනත් හරිම දක්ෂ විදිහට ලොකු හාමුදුරුවන්ගෙන් ධර්ම කරුණු ඉගෙන ගනිමින් බණ භාවනා කරමින් හැමෝගෙම හිත් දිනාගෙන හිටියලු.
දවසක් ලොකු හාමුදුරුවො කල්පනා කලාලු මේ පොඩි හාමුදුරුවන්ගේ අනාගතේ ගැන පොඩ්ඩක හොයලා බලන ඕනේ කියලා. ජොතිෂය ශාස්තරය හොඳට ප්‍රගුණ කරලා හිටිය ලොකු හාමුදුරුවො මේ පොඩි හාමුදුරුවන්ගේ උපන් වෙලාවට අනුව අනාගතේ ගැන බැලුවලු.
" මේ මොන විපතක් ද ... පොඩි නම ජීවත් වෙන්නේ තව එක දවසයි.. "
ලොකු හාමුදුරුවන් තමන්ටම කියාගත්තා .. මොකක් හරි වැරදීමක් වත් වුනාද කියලා තවත් කීප වතාවක් බලාලා වැරැද්දක් නැති නිසාත් මේ විපතින් පොඩි හාමුදුරුවන් බේර ගන්න විදිහක් නැති නිසාත් හෙට දවසෙ පොඩි හාමුදුරුවො කැමති දෙයක් කරන්න දෙන්න ඕනේ කියලා අන්තිමට ලොකු හාමුදුරුවෝ කල්පනා කලා.
" පොඩි නම ඔබ වහන්සේට ගම් පලාතේ ගිහින් මව්පියො එහෙම බලලා එන්න ඕනේ නම් හෙට දිහාට ගිහින් එන්න පුලුවන් "
" අවසර ලොකු හාමුදුරුවනේ... මම ඔබ වහන්සේගෙන් අහන්නම කියලයි හිටියේ.. "
" අවසර ලොකු හාමුදුරුවනේ... මම ඔබ වහන්සේගෙන් අහන්නම කියලයි හිටියේ.. "
"හොඳයි හොඳයි.. හෙට පාන්දරම සිරිපාලත් එක්ක ගමට වඩින්නකෝ "
පහුවදා පාන්දර පොඩි හාමුදුරුවො පන්සලේ වැඩ කරන සිරිපාලත් එක්ක ගමට වඩින්න පිටත් වුනා.. මග දිගට හොඳටෝම වැස්ස. (ම්.. මේ දවස වල වහින මොරසූරන වැස්ස වගේ වෙන්න ඇති.. ) ඉතින් මෙහෙම වැස්සේ යනකොට පොඩි හාමුදුරුවො දැක්කා වතුර පාරක කොටයක් පාවෙලා යනවා. ඒ කොටේ උඩ පුංචි සත්තු ගොඩයි.. හැකරැල්ලෝ, කූඹි, දිමියෝ, පණුවෝ, වගේ පුංචි සත්තු සීයක් විතර. පුංචි දියපාර දිගේ ගහගෙන යන කොටේ, ගඟට වැටෙන්න තියෙන්නේ තව චුට්ට දුරයි.
සිරිපාල එපා කියද්දි පොඩි හාමුදුරුවො වතුර පාරට බැස්සා.. වතුර පාර හුඟක් සැර නිසා පොඩි හාමුදුරුවොත් වතුර පාරට ගහගෙන යන්න පටන් ගත්තා. ඒත් මේ පොඩි හාමුදුරුවො තමන්ගේ උත්සාහය නම් අත ඇරියේ නෑ.. අමාරුවෙන් හරි වතුර පාරත් එක්ක ගිහින් අර කොටේ ගාවට කොහොමහරි ලං වුනා. වතුර පාර ගඟට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොඩි හාමුදුරුවො අර කොටේ අතට අරෙගෙන ඉවුර පැත්තට පිනුවා.
පොඩි හාමුදුරුවන්ට හරිම සතුටුයි... සත්තු සිය දෙනෙකුගේ විතර ජීව්ත බේරුනානේ.. ඒ සතුටත් එක්ක පොඩි හාමුදුරුවෝ ගමට වැඩියා.
ඔන්න ඉතින් ඊලඟ දවස උදා වුනා. ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවො ගැන හරිම කම්පාවන් තොරතුරක් දැනගන්න තුරු ආවාසේ ඇතුලේ එහාට මෙහාට සක්මන් කරමිනුයි හිටියේ.
ඒ අතරේ ලොකු හාමුදුරුවෝ දැක්කා සිරිපාල බොහොම ඉක්මන් ගමනින් ආවාසේ ඇතුලට එනවා..
" සමා අවසර ලොකු හාමුදුරුවනේ "
" කලබල වෙන්න එපා සිරිපාල මම හැම දේම දන්නවා. පොඩි නම ගෙනාපු ආයුෂ ඔච්චරයි ගිහින් ඝන්ඨාරේ ගහලා ගමේ අයට මේක දැනුම් දෙන්න."
" සමා අවසර ලොකු හාමුදුරුවනේ "
" කලබල වෙන්න එපා සිරිපාල මම හැම දේම දන්නවා. පොඩි නම ගෙනාපු ආයුෂ ඔච්චරයි ගිහින් ඝන්ඨාරේ ගහලා ගමේ අයට මේක දැනුම් දෙන්න."
"අනේ අපේ හාමුදුරුවනේ .. සමාවෙන්න.... ඔබ වහන්සේ කියන දේ මට පැහැදිලි නෑ.. අපේ පොඩි හාමුදුරුවෝ අන්න බෝ මලුව අමදිනවා.. මට ඉක්මනටම ගිහින් ඔබ වහසේට දානේ පිලියල කරන්නයි කිව්වා... "
ඒ කතාව අහලා ලොකු හාමුදුරුවො ඉක්මන් ගමනින් බො මළුව පැත්තට වැඩියා. පොඩි හාමුදුරුවො පුංචි රාහුල හාමුදුරුවො වගේ බෝ මළුවේ රන් වන් වැලි කැට රටා හිටින්න අමදිනවා.
" අවසර අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ පන්සලේ තනිවම වැඩ ඉන්න නිසා අපි උදේ රැයින්ම ගමින් පිටත් වුනා. "
" බොහොම හොඳයි පොඩි නම.. ගමනේදි විශේෂ යමක් සිද්ධ වුනාද ? "
" එහෙමයි අපෙ හාමුදුරුවනේ " කියපු පොඩි හාමුදුරුවො තමන් වහන්සේ වතුරට ගහගෙන ගිහින් මැරෙන්න හිටිය සත්තු බේර ගත්ත විදිහ ලොකු හාමුදුරුවන්ට කිව්වා.
"පොඩි නම හිත කලබල කරගන්ට එහෙම එපා. පොඩි නමගේ වේල පත්කඩේට අනුව පොඩි නම ඊයෙ වෙනකන් විතරයි අයුෂ අරගෙන ඇවිත් තිබුනේ. සත්ව ජීවිත හුඟක් බේර ගත්ත මහා පිනෙන් පොඩි නම තවත් ආයුෂ ලබලා තියෙනවා. මට ඒ ගැන බොහෝම සතුටුයි.. ධර්මය රකින්න ධර්මය විසින්ම රකිනවා පොඩි නම .. වඩිමු.... බුදුමැදුරට ගිහින් බුදු හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් බුද්ධ පූජාව පවත්වමු. "
බුදු හාමුදුරුවෝ පිටිපස්සෙන් වඩින රාහුල හාමුදුරුවො වගේ පොඩි හාමුදුරුවොත් ලොකු හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් බුදු මැදුරට වැඩියා.
පොසොන් දවසේ හිත පහන් කරන කතාවක්
ReplyDelete: ) අද පොසොන් පෝය නිසා අහපු බණ කතාවක් ලියන්න ඕනේ කියලා හිතුනා ..
Deleteඅඩු වයසේ දරුවන් මහන කරන එක ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ. ඔය හැම තැනකම වෙන්නේ අයථා ක්‍රියා. ළමා අයිතිවාසිකම් නැත්තටම නැතිවෙලා තියෙන්නේ මේ වගේ ආගමික ආයතනවල. ඒක කොයි ආගමෙත් වෙනවා.
ReplyDeleteඒක නම් ඇත්ත නලීන් අයියේ.. හුඟක් පොඩි හාමුදුරුවරු සිවුරු අරින්නේ ඔය වෙගේ එක එක ප්‍රශ්ණ නිසා..
Deleteහැබැයි ශිෂ්‍ය හිමි වරුන්ට හොඳ මග පෙන්වීමක් ලබා දීලා විශාල ධර්ම දූත මෙහෙවරක් කරන පන්සලුත් නැතුවම් නෙවෙයි..
අනේ සාදු,තුශානිල පෝයට බණ කතා ලියල පිං පුරවා ගන්නව,අපි පෝයට රටේ නැති සම්පප්‍රලාප ලියල පව් පුරෝ ගන්නව.ලැබීම තමා.
ReplyDelete:) එහෙම හිතන්න එපා හැලපතුමා.. කෙනෙකුගේ ජීවිතේට ගන්න යමක් තියෙන දෙයක් ලියන එකත් පිනක් තමයි..
Deleteමෙහෙම කතා කියවනකොට හිතට හරිම පහන් හැඟීමක් දැනෙනවා.
ReplyDeleteපුංචිම සතෙකුගේ උනත් ජීවිතය මට මනුස්ස ජීවිතයක් වගේ වටිනවා. ඒ නිසාම වෙන්නැති දැනුම් තේරුම් ඇතිකාලෙ ඉඳලම මදුරුවෙක්වත් මරන්න හිතෙන්නැත්තෙ. ඇත්තටම ඒකෙ ප්‍රතිඵල මං ප්‍රායෝගිකව අත්විඳිනවා කියලත් දැනෙනවා.
පුංචි සතෙක් වුනත් ඒත් තවත් ජීවිතයක්... මේ කතාව අහපු දවසේ මටත් හිතුනා ජීවිතයක් බේර ගන්න එක කොයි තරම් නම් පිනක්ද කියලා..
Deleteමදුරුවෙක්වත් මරන්න හිතෙන්නැති තරමට හිත හදාගන්න හුඟක් අමාරුයි... ඔයාගේ අත්දැකීමුත් දවසක ලියන්න..
අද මගේ පොඞ්ඞට කියලා දෙනවා
ReplyDeleteසාදරෙයෙන් පිළිගන්නවා තුශානිගේ කැකුළු ගොමුවට ....
Deleteහොඳයි හොඳයි...පුංචි අයට හොඳ නරක කියලා දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කතන්දර වලින් එයාලට ඒවා කියලා දෙන එක...
හිත නිවන කතා...
ReplyDeleteඅපුරු කතාවක් තුෂානි
සාදු...
පුංචි කතාවක් වුනත් ඒකෙන් අපිට ලොකු පණිවිඩයක් ගෙනැත් දෙනවා..
Deleteසාධූ .. සාධූ... සාධූ....
ReplyDeleteසාධූ .. සාධූ... සාධූ....
:)
Deleteහරිම අගේ ඇති කතාවක් පොසොන් පෝය දවසට තුශානි ගෙනල්ලා... සිත පහන්වෙන කතාවක්.. ඒ එක්කම උපදේශයක්...
ReplyDeleteඔව්... පොසොන් පෝය නිසාමයි මේ වගේ බණ කතාවක් ලියන්න ඕනේ කියලා හිතුවේ..
Deleteහුඟක්ම පොඩි ළමයින්ව මහන කරන එක ගැන මගේ වැඩි කමැත්තක් නෑ හැබැයි.. දැනුම් තේරුම් ආව කාලෙක නම් කමක් නෑ.. කෝම වුනත් කතාවනම් අපූරුයි..
ReplyDeleteඔව්.. වෙන කෙනෙකුගේ බල කිරීමකට මහණ වෙන එක නම් තේරුමක් නෑ...
Deleteස්තූතියි දිනේෂ්..
ඔය කෙන්දරේ බොරු වෙන්න බැරිද ?......
ReplyDeleteකතාවේ හරය හොදයි
කේන්දර නම් 100% ක් විශ්වාස කරන්න අමාරුයි. මේක මමත් අහපු බණ කතාවක්...
Deleteකොහොම වුනත් මැරෙන්න යන සත්තු බේර ගන්න එක නම් ලොකු පිනක් ...
ලස්සන කතාවක් තුශානි... !
ReplyDeleteමේක මම ඇහුවේ ටිකක් දිග බණ කතාවක් විදිහට .. පෝස්ට් එක දිග වැඩිවෙයි කියලා හිතල කෙටියෙන් තමයි ලිව්වේ.
Deleteමැරෙන්න යන කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්න පුලුවන් නම් ඒක කොයිතරම් දෙයක්ද...
ReplyDeleteඔව් චාම්ස්.. ඒක ලොකු පිනක් ..
Deleteධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලබයි.
ReplyDeleteඒකනම් ඇත්ත... ධර්මය රකින්නා ධර්මය විසින් රකිනවා..
Deleteමරණයට කැපවූ සතුන් නිදහස් කිරීමෙනුත් පින් රැස් වෙනවා කියලා මම අහලා තියෙනවා නගෝ....ලංකාවට ආව වෙලාවක එහෙම පිංකමක නිරත වෙන්න තමයි ආශාව...
ReplyDeleteඒක බොහොම හොඳ අදහසක්... මරණයකින් ජීවිතයක් බේරගන්න එක හුඟක් පින් සිද්ධවෙන දෙයක්..
Delete