Friday, December 20, 2013

නොඑන ගමනක දුක්බර මතකය ....





 එදා O/L  විභාගය ආරම්භවෙලා ගෙවුනු 2 වෙනි දවස. තුශානිගෙයි මල්ලිගෙයි ඉගෙනීමේ කටයුතු ගැනත්, ඊට ඕන කරන අනිකුත් දේ ගැනත් , උපකාරක පන්ති එක්කගෙන යාම් ඒම ගැනත් වගේ ගෙදර හැම කටයුත්තක්ම හොයලා බලලා කලේ සීයා.. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තා. උදෑසනින්ම ‍රැකියාවට පිටත් වෙන තාත්තා ආපහු ගෙදර එනකොට හවස් වෙන නිසා තාත්තගෙන් වෙන්න ඕන හුඟක් දේවල් වුනේ සීයගෙ අතින්. රජයේ සේවයේ නිරතවෙලා ඒ වෙනකොට සීයා විශ්‍රාම අරගෙන හිටිය නිසා ඊට ඕන කරන දැනුම වගේම කාල වේලාවත් සීයට ඕන තරම් තිබුනා.

 ජීවිතේ තවත් එක කඩ ඉමක් වෙච්ච O/L විභාගයට තුශානිත් සූදානම් වුනේ හොඳ ප්‍රතිපලයක් ගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් ...
  
කලින දවස් 2 කේ වගේම එදත් තුශානි ගෙදර ආවේ ඉක්මනට කෑම ටික කාලා ඊලඟ දවසේ තිබුන ගණිතය ප්‍රශ්ණ පත්තරයට සූදානම් වෙන්න. වෙනදා වගේම එදා තිබුනු ප්‍රශ්ණ පත්තරය ගැන සීයත් එක්ක ටිකක් කතා කරලා තුශානි ගණන් හදන්න පටන් ගත්තා. කවදාවත් තනියම වැඩ ටික කරන්න කියලා නැගිටලා නොයන සීයා එදා තුශානි පාඩම් කරන තැනට වෙලා ඉදගෙන පාඩම් කියලා දෙන්නේ නැතුව එකපාරටම එයාගේ කාමරයට ගියා.. එදා එහෙම ගියේ ඇයි කියලා තුශානිට නිකමටවත් හිතුනේ නැති එක ගැන අදටත් තුශානි හුඟක් හිතින් දුක් වෙනවා.

ඊට ටික වෙලාවකට පස්සේ එකපාරටම ආච්චි කෑ ගහපු සද්දෙට හැමෝම කලබල වෙලා සීයගේ කාමරයට ගියහම තමයි දැක්කේ සීයා සිහිය නැතිව ඇදේ නිදාගෙන ඉන්නවා..  මෙච්චර වෙලා හොඳට කතා කරකර හිටිය සීයා එක පාරටම සිහිය නැතිව ඇද උඩ හිටිය විදිහ තාමත් තුශානිට මැවිලා පේනව වගේ..

කොහොමහරි තාත්තත් ලඟ පාත ගෙවල් වල කට්ටියත් එකතුවෙලා සීයව ඉක්මනින්ම ගෙදර ලඟ හිටිය දොස්තර මහත්තය ගාවට ගෙනිච්ච්ත් එයාගේ නියමයේ අන්තිමේ කොළඹ මහ රෝහල වෙ
ත ගෙනියන්න කටයුතු සිද්දවුනා.

එකපාරටම වෙච්චි දේ හිතාගන්න වත් බැරුව ආච්චිත් මාත් ගෙදර තනි වුනා. එදා රෑ වෙලාව ගත වුනේ හරිම හෙමින්. රෝහලට ගිය තාත්තත් අම්මත් අනිත් අයත් ආපහු ගෙදර ආවේ පාන්දරටත් කිට්‍ටු කරලා සීයව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලා කියන පුවතත් අරගෙන.

" සීයට ඉක්මනට හොඳවෙයි ..විභාගේ ඉවර වෙලා මම ඉස්කෝලේ ගාවට එන්නම් සීයා බලන්න එක්කන් යන්න... මගේ  දූ පැටියා අඬන්නේ නැතුව දැන් නිදාගෙන හෙට උදේ විභාගේ ලියන්න යන්න ඕනේ හොඳේ .. "කියලා අම්මා මගේ ඔලුව අතගාල කිව්ව මට මතකයි...

විභාගෙට යන්න හොඳ මානසිකත්වයක් නොතිබුනාත් ඊලඟ දවසේ විභගෙට තුශානි ගියේ විභාගේ ඉවරවෙලා ගණන් ප්‍රශ්ණ පත්තරෙත් අරගෙන සීයා බලන්න යන අදහසින්.. ඒත් විභාගේ ඉවර වෙලා ගේට්‍ටුව ගාව ඉස්පිරිතාලේ යන්න අම්මා එනකන් තුශානි බලන් හිටියත් පොරොන්දු වෙච්චි විදිහට අම්මා ආවේ නෑ. ඒ වෙනුවට නෑදෑ කෙනෙක් වෙන මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි තමයි ඇවිත් හිටියේ.. 

 " අම්මයි තාත්තයි ආච්චිත් එක්ක ඉස්පිරිතාලේ ගියා. අපිට ඔයාව එක්කරගෙන එන්න කිව්වා.. "

" අද මාවත් එක්කන් යනව කිව්වනේ " එතකොට මම කිව්වා.

" හරි අපි දැන් යමුකෝ....." කියලා එයාලගෙ වාහනේට මාව නග්ගගෙන ගෙදර එන්න පිටත් වුනා. 

හිතේ තිබ්බ දුකටම ගෙදර එනකන් කිසිම දෙයක් මම කතා කලේ නෑ කියලා මට මතකයි.

ගෙදර ගේට්‍ටුව ගාවට වාහනේ එනකොට මුළු මිදුලෙම සෙනඟ පිරිලා හිටියා.. ඊට කලින් කිසිම දවසක මරණ ගෙදරක් නොවිච්ච අපේ ගෙදර එදා මරණ ගෙයක් විදිහට තිබුනු විදිහ අදටත් හීනයක් වගේ. ආච්චිගෙත් අම්මගෙත් අඬන සද්දය ඇර එතනින් එහාට සිද්ධවෙච්චි කිසිම දෙයක් මගේ මතකයේ නෑ. මතකයේ තියෙන පුංචි පුංචි තැන් වුනත් වචන වලට පෙරලන එක දරා ගන්න බැරි දුකක්.

අපේ ජීවිත වලට හුඟක් ලගින් ඉදලා ජීවිතයේ ඕනෙම කරන මොහොතක නොහිතපු විදිහට සීයා නොඑන ගමනක් යයි කියලා අපි හීනෙකින් වත් හිතුවෙ නෑ.

හදිසියේම රුධිර කැටියක් මොලයේ නහරයක හිරවීම නිසා නහර කිහිපයක් පුපුරා යාමෙන් ලේ වහනය නිසා සීයා මිය ගිය බවත් රෝහල් ගත්කර පසු දින උදේ  10.00 ට විතර ඔහු අපෙන් සමුගත් බවත් මරණ වාර්තාවේ සඳහන් වුනා..

අදහගන්නවත් බැරි වෙලාවක  මේ වගේ දෙයක් සිද්ධ වුනත් ඒ දුක දරාගෙන තුශානිගේ ගෙදර අයත්, නෑදෑයිනුත්, යාළුවොත්, ගුරුවරුත් තුශානිව විභාගයට යවන්න කටයුතු කලේ කොහොමද කියන එකත්, තුශානි හුඟක් ආදරය කල සීයගෙ නිසල දේහය ගෙදර තියෙද්දි තුශානි විභාගය ලිව්වේ කොහොමද කියන එකත් තාමත් හිතාගන්න බෑ.  කොහොම වුනත් මගේ විභාගය සීයගේ හිතේ තිබුනු ලොකු බලාපොරොත්තුවක්..  

අවුරුදු 9 ක් ගතවෙන අද දවසෙත් ඒ සිදුවීම මතක් වෙන වාරයක් වාරයක් පාසා සිය දහස් වරක් හිතින් අඬන මම එදා ඒ දුක කොහොම දරා ගත්තද කියන් එක ප්‍රශ්ණාර්ථයක්.. සමහර විට ඒ විභාගයට සීයගෙන් ලැබුනු ආශිර්වාදයක් නිසාවෙන් වෙන්න ඇති. A 9 ක් එක්ක තුශානි, සීයාගේ  බලාපොරොත්තුව සීයා හිතපු විදිහටම ඉෂ්ට කලා..

ඒ නිසා උඳුවප් මාසේ 16 වෙනිදාව කියන්නේ තුශානිගේ ජීවිතේ හුඟක් දුක්බර දවසක්. ඒ මීට අවුරුදු 9 කට කලින් තුශානියි, ගෙදර කට්ටියයි දාලා තුශානිගේ සීයා නො එන ගමනක් ගියත්ඒ මතකය තවමත් අපි අතරේම තියෙන නිසාවෙන්. මේ ලෝකේ හිටිය හොඳම සීයා අපිට හුඟක් ලඟින් ඉදලා අපිට ඕනෙම වෙලාවක අපිව දාල ගියා කිව්වොත් හරියටම හරි.

පහුගිය 16 වෙනිදාව පෝය දවසක් වෙච්චි නිසා ගෙදර කට්ටිය, පන්සලේ හාමුදුරුවන්ටයි , සිල් ඇත්තන්ටයි දානය පිලිගන්වලා ඒ පින් සීයට අනුමෝදන් කරන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ කරයුතු හුඟක් හොඳින් ඉෂ්ට කලා. ඒ උපදින හැම ආත්මයකම සීයා මගේම සීයා වෙලා උපදින්න කියන තුශානිගේ අහිංසක ප්‍රාර්ථනාවත් එක්ක. 


46 comments:

  1. ඔයාගේ දැන් වයස අවුරුදු 24 - 25 ක් නේද? කොහොම වුනත් හරිම දුක හිතෙන කතාවක්. මේ වගේ කැපවීම් කරලා ඉගෙන ගන්න ඔයා වගේ දරුවන්ට වරදින්නේ නැහැ...

    ReplyDelete
  2. ඒ ප්‍රාර්තනාව ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරන්නම්...

    ReplyDelete
    Replies
    1. සසිඳුගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. මේ බ්ලොග් අවකාශය කියන්නේ කුඩා ඉඩකඩක් අනන්ත විශ්වය එක්ක සංසන්දනය කලාම. තමන්ට පුලුවන් පුංචි දේ හරි හරි විදිහට කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත්වීම හරිම උතුම්. අනුන්ට මඩ ගහ ගහ අනුන්ව පාගලා දාලා අනුන්ගේ ලේ කදුලු මත්තෙන් රජ වෙනවට වඩා අනුන්ගේ දුකක දී සංවේදීවීමට හැකි නම් එය බොහෝ උතුම් කාර්යයක් කියලා මට හිතෙනවා

      Delete
  3. ඔයා මේ ලිපිය ලියලා තියෙන්නේ අද කියලා දැක්කේ මම මෙකේ කමෙන්ට් එකක් දැම්මටත් පස්සේ. හුඟ දෙනෙක් බ්ලොග් කලාට මොකද තමන්ගේ බ්ලොග් එකේ නියමිත පරිදි කලට වෙලාවට බ්ලොග් ලිපි පල කරලා බ්ලොග් සයිට් එක අප් ඩේට් කර ගන්න උනන්දු වෙනවා හරි අඩුයි.ඒ අතින් ඔයා මෑත කාලීනව පටන් ගත්තු දෙයක් වුනත් හරිම ලොකු උනන්දුවකින් මේ කාර්යය කරගෙන යන හැටි දැක්කම ඔයා ලොකු සතුටක් හිතට ඇති වෙනවා. මේ බ්ලොග් ලෝකයෙහි හිතවතුන් අතර විවිධ කල්ලි සංගම් හදා ගෙන පිල් බෙදීම් ඇති කරගෙවන විවිධ සිත් අමනාපකම්වලට පාර හදා ගන්න යන්නේ නැතුව ඔයා තමන්ගේ පාඩුවේ මේ විදිහට පුලුවන් විදිහට බ්ලොග් එකේ ලිපි පල කරගෙන ඉන්න විදිහට දැක්කම ඔයා ගැන මට ලොකු සතුටක් හිතට එනවා. මගේ මුලු හදවතින්ම මම ඔයාට ඉතාම උණුසුම් විදිහට සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් වලට ස්තූතියි..

      Delete
  4. ජීවිතේ අපිට හමුවෙන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම අපෙන් වෙන් වෙලා යනවා.. ඒ තැන ගන්න අලූත් අය හම්බ වෙනව. ඒත් ඒ අඩුව පුරවන්න කාටවත් බෑ...

    ReplyDelete
    Replies
    1. ජීවිතේදි අපිට කොයි තරම් අය හමුවුනත් ඒ අය අතරින් අපේ ජීවිත වලට හුඟක් ලංවෙන, මතකයේ රැඳෙන අය වෙන්නෙ හරිම සුළු පිරිසක්... ඒ අඩුව පුරවන්න කාටවත් බෑ...

      Delete
  5. ඔයාගෙ ප්‍රාර්තනාව ඒ විදියටම ඉශ්ඨ වේවා!

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි චතුරංග ...

      Delete
  6. ඔය වගේ අත්දැකීමක් මටත් තියනවා. මාව සරසවියට ගෙනත් ඇරලපු ආච්චි අම්මා එදා ඇහුවෙ මම මෙතනින් එළියට එනකොටත් මට බලන්න පුළුවන් වෙයි නේද කියලා. අපි එදා හිනා වුණේ අපි මැරුණත් ආච්චි අම්ම මැරෙන්නෙ නෑ කියලා. ඒත් ගිය අවුරුද්දෙදි ආච්චි අම්මා නැති වුණා. මෙතනින් පිට වෙනකොටත් අනිවාර්යෙන් මට ඒ වචන ටික මතක් වෙයි.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා දිලිනි... ඔයා කොහොමහරි ආච්චිගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න... එතකොට එයා කොහේහරි ඉදලා ඒක දැකලා සතුටු වෙයි...

      Delete
    2. ජීවිතය කියන්නේ හරිම අස්ථිර දෙයක්... ඒක බුදු බණෙත් හරිම පැහැදිලිව කියලා තියෙනවා...

      Delete
  7. ජීවිතය කියන්නෙ ඔන්න ඕකට තුෂානි.ශේක්ස්පියර් කියල තියෙන්නහේ ජීවිත රඟමඩලේ අපේ භූමිකාව කරල අපි නික්ම යායුතුයි.
    දන් පිං කරමින් හිත සනසා ගන්න එක තමා හොඳම දේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපතුමා... ඉන්න ටික කාලය හොඳින් ඉන්න එකයි වටින්නේ.. එතකොට නැති දවසක වුනත් ඒ මතකය අමරණීයව රැඳිලා තියෙනවා...

      බුද්ධාගමේ අය විදිහට අපිට කරන්න පුලුවන් එකම දේ මිය ගිය අය වෙනුවෙන් දන් පින් කරලා ඒ පින් අනුමෝදන් කරන එක. ඒකෙන් හුඟක් හිත හදාගන්න පුළුවන්.

      Delete
  8. // ඒ උපදින හැම ආත්මයකම සීයා මගේම සීයා වෙලා උපදින්න කියන තුශානිගේ අහිංසක ප්‍රාර්ථනාවත් එක්ක. //මාත් ඒ ප්‍රාර්ථනාවම කරන්නම් ඔයා වෙනුවෙන් තුශානි

    ReplyDelete
    Replies
    1. හුඟක් ස්තූතියි රෙහානි...

      අන්තිම ප්‍රශ්ණ පත්තරය ඉවර වෙලා ගෙදරට ගොඩ වෙනකොට තමයි දානේ ඉවර වෙලා පැන් වඩන්න තිබුනේ .. ඒ වෙලෙත් මම කලේ ඒ ප්‍රාර්ථනාවම තමයි...

      Delete
    2. එක අතකට මුළු ජීවිතයම ප්‍රශ්න පත්‍රයක් වගෙයි. ඒකේ හරි උත්තර වගේම වැරදි උත්තරත් තියනවා. රචනාමය ප්‍රශ්න වගේම බහුවරණ ප්‍රශ්නත් තියනවා. සැබෑ ප්‍රශ්න පත්‍රයට වඩා ජීවිත ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට අමාරු වෙනවා. මරණය සහ ජීවිතය සරළ රේඛාවක් විදිහට නෙවෙයි වක්‍රයක් විදිහට හිතන්න. එතකොට ජීවිතය පහසු වේවි. විඳවන්න නෙවෙයි විඳින්න ජීවත් වෙන්න මරණය ඉගෙන ගන්න. එතකොට සතුටින් ජීවත් වෙන්න පුලුවනි.

      Delete
  9. ජීවිතය කියන්නේ හරිම අමුතු දෙයක් තුෂානි......

    ReplyDelete
    Replies
    1. ඔව් උමා... ඔයාව සාදරයෙන් තුශානිගේ බ්ලොග් එකට පිලිගන්නවා..

      Delete
    2. විශේෂයෙන්ම තමන්ගේ ළඟින්ම හිටපු කෙනෙකුගේ වියෝව සංවේදී හිතකට නම් දරා ගන්න ටිකක් අසීරුයි වගේ තමයි. මොනවා කරන්න ද අපි කවුරුත් ටික කාලයයි ජීවත් වෙලා ඉන්නේ. අමිහිරි වුනත් ඒ සත්‍යය අපිට පිලිගන්නම වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ

      Delete
  10. අලුතින් ආරම්භ කරපු බ්ලොග් එකක් වුනත් ඔයා හුඟක් හොඳට මේක කරගෙන යනවා. අපි සමීපව ආශ්‍රය කරන අය ඉතාම කෙටි කාලයකින් අපව දාලා යනවා. මනුස්සයෙකුගේ වියෝව කොහොම කොයි තරම් තදින් දැනෙනවා ඇද්ද? අපේ ගෙදර හිටපු සුරතල් බල්ලා බ්‍රවුන් ගිය සුමානේ අවුරුදු 11 ක් ඉඳලා හදිසියේ අසනීප වෙලා මැරුණා. ඌගේ ලන්ස් ඉදිමිලා පුපරලා ලේ වමනය කරලා අපේ ඇස් දෙක ඉස්සරහම නැති වුනේ. අපි එයාට කරන්න පුලුවන් හැම වෛද්‍ය ප්‍රතිකාරයක්ම කලා. වෙනත් කරන්න පුලුවන් හැම දේමත් කලා. ඉතාම හොඳට අපිට පුලුවන් තරමටත් වඩා ඉහල විදිහට ඇප උපස්ථාන සේරම කලා. නමුත් එයා එයාගේ කාලේ ආවාම අපිව දාලා නොඑන දුරකට යන්නම ගියා. අපි හැමෝම ඔය විදිහයි. ටික කාලයක් ජීවත් වෙනවා. මේ පරණ වෙච්ච වාහනේ සැරීර කූඩුව පරිහරණය කරලා කරලා දිරාපත් වුනාම මේක මෙතැනම දාලා යනවා හරියට බෝල් පොයින්ට් පෑනක තීන්ත ඉවර වුනාම විසි කරලා දානවා වගේ අපේ සැරීර කූඩුවක ඉන්න පුලුවන් උපරිම කාලය නිමා වුනහම මේක පිරිසිදු සිතින් ඉවතට දාලා නිදහස් මනසකින් මෙතැනින් නිදහස් වෙන්න තියෙනවා නම් මට ඒක තරම් වෙනත් සම්පතක් තවත් නැහැ කියලයි හිතේනේ. ඉතින් සීයා ගෙනාපු ආයුස ඉවර වුනා. එයා යන්න ගියා. අපි හැමෝටම කවදහරි දවසක සීයා ගියා වගේ මේ ලෝකේ අත්හැරලා දාලා යන්න වෙනවාමයි. කොහොම වුනත් හරිම සංවේදී සටහනක්. මේක කියෙව්වට ඇස් දෙකට කදුළු උණනවා.. ඒ තරමට සංවේදී වුනා.

    ReplyDelete
  11. සීයාට නිවන්සුව ලැබේවි. ඒ වගේම සීයට සතුටු ඇති ඔයා සීයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා සීයාගේ මහන්සියට ප්‍රතිපල ලබාදුන්නු එක ගැන

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් ... සීයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ...

      Delete
  12. ජීවිතය මරණය මේ හැම දෙයක්ම හරිම සාපේක්ෂයි. මරණය නිසා උපත දැනෙනවා. උපත නිසා මරණය දැනෙනවා. මරණය උපතට සාපේක්ෂයි. උපත මරණයට සාපේක්ෂයි. මෙහි නිරපේක්ෂ යමක් නැහැ. මතක තියා ගන්න මේ ලෝකේ කිසිම දෙයක් නිරපේක්ෂ නැහැ. නිරපේක්ෂ වන එකම එක දෙයක් තියෙනවා. නමුත් ඒක මේ ලෝකයට අයිති නැහැ. ඒක තමයි නිවන. නිවන නිරපේක්ෂ සත්‍යයක්. නිවන සසරට සාපේක්ෂ නැහැ. සමහරු අර්ථකථනය කරනවා නිවනත් නිරපේක්ෂ සත්‍යයක්. ඒක සසරට සාපේක්ෂයි කියලා නමුත් ඒ අර්ථකථනය වැරදියි. ඒක තර්කයෙන් ඔප්පු කරන්න බැහැ. නමුත් පවතින යථාර්ථයක්. ඉතාම ප්‍රායෝගික සත්‍යයක්. හැම දෙනොටම තම තමන්ට පුද්ගලිකව අත්දැකිය හැකි ආනුභවික වටිනාකමක් නිරපේක්ෂ අගයක් එහි තියෙනවා. ඒ වගේම එය තියෙනවා කියල කිව්වත් වැරදියි නැහැ කියලා කිව්වත් වැරදියි. තියනවා කියලා කිව්වත් ඒක සාප්ක්ෂ සත්‍යයට අයිති වෙනවා. නැහැ කියලා කිව්වහමත් ඒක සාපේක්ෂ සත්‍යයට අයිති වෙනවා. නමුත් නිවනෙහි පවතින දෙයක්වත් නැති දෙයක්වත් නැහැ. නමුත් නිවන ධර්මතාවයක්. ඒ වගේම ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් ඉතාම ප්‍රායෝගික සත්‍ය ධර්මතාවයක්. දැන් බලන්න අඳුර ලොව පවතිනවා. ඒ වගේම අඳුර සාපේකෂයි. ඒක සාපේක්ෂ ආලෝකයට. සාපෙක්ෂ සත්‍ය යනු යමක් පිහිටකොට ඒ මත රඳා පවතින යන්නයි. දැන් අඳුර තියෙන්නේ ආලෝකය උදාවන තුරු පමණයි. ආලා්කයක් කියා දෙයක් තියන නිසා තමයි අදුර සාපේක්ෂ සත්‍යයක් වෙන්නෙත්. ඒ වගේම තමයි අලෝකයත්. අලෝකය කියලා කියන්නෙත් සාප්ක්ෂ සත්‍යයක්. අලෝකයට වටිනාකමක් ඇති වෙන්නේ වගේම ආලෝකයෙහි අගය ඇති වෙන්නේ ලෝකයේ අඳුර කියලා දෙයක් තියන නිසානේ. අඳුර දුරු කර ගන්න අපි විදුලි බලය පාවිච්චි කරනවා. නැතිනම් ඉටි පන්දම් පත්තු කරනවා. ඒ කියන්නේ වියදම් කරලා අලෝකය ලබා ගන්න තරම් ආලෝකයට වටිනාකම් තියෙනවා. සමහර වටිනාකම් (Values) ධර්මතාවයන්. ඒ වගේම සමහර අගයන් වටිනාකම්. තවත් වටිනාකම් අගයන් හෙවත් ආර්ථික වටිනාකමක් සහිත අගයන්. නමුත් සෑම අගයක්ම ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම සෑම අගයක්ම වටිනාකමක් වෙන්නේ නැහැ. බලන්න දැන් මුදල කියන්නේ සම්මත අගයක්. මුදලට අගයකත් තියෙනවා. මුදලට වටිවාකමක් තියෙනවා. නමුත් මුදල කියන්නේ සාරධර්මයක් නෙවෙයි. නමුත් සෑම සාරධර්මයකටම අගයක් වගේම වටිනාකමක් තියෙනවා. ඒවා ආර්ථික වටිනාකම් හා අගයන් නෙවෙයි. මෙයින් පෙනෙන්නේ සෑම වටිනාකමකම ආර්ථික අගයක් තිබුණත් නැතත් ඒවා සාරධර්ම නම් මිල කළ නොහැකි බවයි. මේ හේතුව මත සමහර අවස්ථාවල මිනිස් සමාජයේ සම්මත අගයන් හා වටිනාකම් සැබවින්ම සදාචාර සම්පන්නද යන ලොකු ගැටළුව ඇති වෙනවා. ඔව්. ඒක ඇත්තක් මේ ලෝකේ හැම සමාජ සම්මුතියක්ම සදාචාර සම්පන්න නැහැ. එහෙම නම් මේ ලෝකෙට ක්‍රිස්තුස් වහන්සේ කෙනෙකු, බුදුන්වහන්සේ කෙනෙකෙු මහම්මද්තුමා කෙනෙකු බිහි වන්නේ නැහැ. එවැනි ශාස්තෘවරුන් බිහිවන්නේ ලෝකයේ මිනිසුන්ට තමන්ගේ සමාජ සම්මුතිවලින් නිවැරදි සදාචාර සම්පන්න අගයන් වෙන් කර හඳුනා ගැනීමට මඟ පෙන්වීම සඳහායි. මේක තමයි ලෝකේ ආගම් බිහි වීමේ ආරම්භය. නමුත් දැන් බලන්න මේ පරමාර්ථ යටපත් වෙලා නේද කියලා යළිත් වරක්. මේ ආගමික ශාස්තෘවරුන්වහන්සේලා කවුරුවත් දැන්ට ජීවතුන් අතර නැහැ. නමුත් උන්වහන්සේලාගේ ඉගැන්වීම් පවා අද භාවිතා කරන්නේ මිනිසුන් එකිකෙනා වෙන් වීමට එකිනෙවා අතර යුද වැදීමට කලකෝලාහල සිදු කිරීමට ආගමේ නාමයෙන් මිනී මැරීමට මංකොල්ල කෑමට ස්ත්‍රී දූෂණයට ආගම ලයිසන් එකක් කර ගන්නා ඇරෙන්න ඒ ආගම්වල මුලීක ශෘස්තෘවරුන් බලාපොරොත්තු වූ පරිදි එකිනෙකා අතර මානව වටිනාකම් සුරක්ෂිත කරගෙන සාමයෙන් ජීවත්වීමට අද යුගයෙහි මිනිස්සු පෙළඹිලා නැහැ. ඇත්තෙන්ම හරිම අවාසනාවන්ත තත්වයක්. මම අවුරුදු 45 ක මිනිහෙක්. මම ලෝකේ ගොඩාක් කල් ජීවත් වෙලා තියෙනවා. මට හුඟක් අත්දැකීම් තියෙනවා. මගේ අත්දැකීම් අනුව සංවර්ධනයවීම කියලා කරන්නේම මිනිස් ජීවිත වඩ වඩාත් සංකීර්ණ කර ගැනීමයි. මේ සංකීර්ණත්වය විටක මිනිසාට දරාගත නොහැකි තරම් බරපතලයි. එ් කඩා බරපතලකම කොයිතරම්ද කියනවා නම් අද සමාජ අර්බුද ගැටළු මානසික පීඩන මේ තරම් උග්‍ර වෙලා මිනිස් සමාජයට ආකල්ප (Attitudes) ආවේදන (Effective) හා චර්යා (Behavior )වශයෙන් පරිහානියට පත් වෙලා තියෙන්නේ මේ හේතුව නිසාමයි. නමුත් මිනිස්සු හැමෝම එක විදිහේ නැහැ. අසංවේදී මිනිසුන් ගැහැණුන් අතර හැමෝටම වැඩිය වෙනස්විදිහට හිතන මතත කාරුණික සංවේදී අය ඉන්න පුලුවනි. ඒ වගේ අයට අනිත් අයට නොදැනෙන තරම් සංවේදී දේවල් මේ වගේ තදින් දැනේන පුලුවනි.

    ReplyDelete
  13. නවීන තාක්ෂණය නම් මානව ජීවිතය ඵලදායී කිරීමට සමාජයට ලැබුණු එක්තරා පහසුකමකි. මේ නව පහසුකම් උපකාරී කරගෙන පුද්ගලාන්ත සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා සන්නිවේදන ක්රිනයාවළියට සක්‍රීය ලෙස හවුල් කර ගැනීම වැදගත්ය. පුද්ගලයා සදාචාරාත්මක වශයෙන් යහපත් වන විට පුද්ගලාන්තර සබඳතා වඩාත් ශක්තිමත් වේ. මෙබඳු සමාජයකට නවීන තාක්ෂණික මෙවලම් කෙතෙකුත් පැමිණියත් හානිකර නැත. සදාචාර ශික්ෂණ සහිත මිනිසා නවීන තාක්ෂණික දෑ භාවිතා කරනුයේ තමාගේත් සමාජයේත් දියුණුව උදෙසා පමණකි.

    මානසික දියුණුව රහිත භෞතික දියුණුව පමණක් සහිත මානවයාගෙන් සමාජයට සිදු විය හැකි අනතුර පිළිබඳව නිසි පරිදි ප්‍රමාණයක් පවා කර ගැනීමට උගහටය. නවීන සමාජය මෙබඳු උගතුන්ගෙන් හා නවීන දැනුමැති අයගෙන් ගහණ වීම එක්තරා ආකාරයකින් සමාජයේ පවතින අනතුරුදායක බවේ සම්භාවිතාව ඉහළ යාමට හේතුවකි.

    අද තරුණ දියණියකට හෝ කුඩා දැරියකට හෝ පොදු ප්රදවාහන සේවයක නිරුපද්රි තව මහමඟ ගමන් ගැනීමට වත් නොහැකි මට්ටමට සමාජ සදාචාරය සමාජ විනය බිඳ වැටී තිබේ. ශාක්ෂකරතාවය මෙසේ මෙපමණ තිබේයැයි ලොකු ඉලක්කම් ගණන්වලින් බාහිර සමාජයට හුවා දක්වා බොරු පූචානම් කතා පැවසුව ද කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරි යන්නාක් සේ මුළු මහත් සමාජ දේහයට ඉහඳ තබන නිල මැසි දුදන දනන්ගෙන් සමාජය පිරී ඉතිරී යමින් තිබේ.

    මේ කියන ශාක්ෂරතාවය නැමැති බොරු පම්පෝරියට වඩා බිඳ වැටී ඇති මෙහි වැසියන්ගේ සදාචාර සුරක්ෂිතතාව හා සමාජ විනය කුමන හෝ ක්‍රමයකින් හෝ යළි ගොඩනැඟිය හැකි නම් එය කයිවාරු ගැසීමට වඩා ඉතා වැදගත්ය. බිඳ වැටී ඉහඳ තැබී කුණු ගඳ ගසන සමාජ දේහයේ බිඳ වැටී ඇති සමාජ විනය සමාජ සදාචාරය වහ වහා ක්ෂණිකව යළි ඇති කළ යුතුව තිබේ.

    බොරු පූචානම් කතා කියා මිනිසුන් රැටවීමට වඩා සැබෑ අගයකින් යුතු ක්‍රියා පිළිවෙත්හි වටිනාකම වර්තමාන සමාජයට ඉතා අත්යිවශ්‍යව තිබේ.

    නමුත් අවාසනාවට කරුණක් වනුයේ ශ්‍රී ලංකාවේ තවම මෙම පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම පිණිස නිවැරදිව මෙම සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට තරම් දැනුමක් තේරුමක් වැටහීමක් මෙරට වෙසෙන විද්වතුන් යැයි කියා ගන්නා උදවියට පවා නොතිබීමයි.

    ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ පුද්ගල ආකල්පවල අති විශාල පිරිහීමක් දක්නට ලැබේ යැයි සමහරු ව්‍යවහාර කරති. එම ව්‍යවහාරය වුවද කොයිතරම් දුරට නිවැරදි දැයි මම නොදනිමි.

    මන්ද පිරිහීමක් තිබෙන්නට නම් මුලින් දියුණුව පැවතිය යුතු නිසාය. නමුත් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ පුද්ගල ආකල්පවල නම් එසේ මුලින් දියුණුව පැවතීමක් ගැන පැවසිය නොහැකිය. යමෙකු එපරිදි පවසන්නේ නම් ඔහු හෝ ඇය පවසන කරුණ ශ්‍රී ලංකාව නමින් ඇති අන්‍ය රටක් පිලිබඳව විය යුතුය.

    මන්ද දන්නා හඳුනන කාලයේ පටන්ම ඒ පිරිහීම අප ජීවත් වන මේ ශ්‍රී ලංකාවේ මිනිසුන් තුළ හොඳන් විද්‍යමානව පැවති බැවිනි. ඒ නිසා පෙර කාලවල පටන්ට ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ පුද්ගල ආකල්ප දියුණුව නො පැවති බව නම් පැවසිය හැකිය. එසේ නම් දැනට ඇති සාධක අනුව කිව හැක්කේ ශ්‍රී ලාංකිකයන්ගේ පුද්ගල ආකල්ප මේ දක්වා දියුණු මට්ටමක නැති බවකි.

    මේ ආකල්ප පිරිහීම නිසා චර්යාවල විද්‍යමාන පිරිහීම ද ආවේදන වල පවතින පිරිහීම ද දක්නට ලැබේ. මම විශ්වාස කරන ආකාරයට චර්යා හා ආවේදන යන දෙයංශයේ ම පිරිහීම ඇති වී ඇත්තේ මූලිකව ආකල්ප පිරිහීමට පත්වීම නිසාමය. එබැවින් මුලින්ම සිදුකල යුතුව ඇත්තේ මෙම ආකල්ප පිරිහීම නිවැරදි කර ගැනීමයි.

    ආකල්ප පිරිහීම නිවැරදි කර ගැනීමට නම් මූලිකවම පුද්ගලයා තුළ සදාචාර සංවර්ධනයක් ඇති විය යුතුය. පුද්ගලයා සදාචාර හික්මීමක් ලබනුයේ ඒ පුද්ගලයාගේ මානසික ගති පැවතුම්, කායික හා වාචසික ගති පැවතුම් තමාටත් සමාජයටත් කරදරයක් නොව සුවදායි එකක් වීම මතය.

    ReplyDelete
  14. දැනුමට උගත්කම වඩා පුරාණ කාලයෙ අධ්‍යාපන ක්‍රමයෙහි සදාචාර ශික්ෂණයට ලබා දී ඇත්තේ ඉහළ ස්ථානයකි. මේ බව දැක්වීමට හොඳ නිදසුනක් මට මේ අවස්ථාවේ සිහිපත් වේ. මා සේවය කළ දේශීය ඖෂධ අමාත්‍යාංශය යටතේ පැවති ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ජාතික ශික්ෂණ රෝහලේ සේවය කරන කාල වකවානුව තුළ මා ඇසුරු කළ හිතමිත්රඅ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා නැමැති පශ්චාත් උපාධිධාරී ආයුර්වේද විශේෂඥ වෛද්‍යතුමා වෙතින් දැනගත හැකිවිය.

    ඒ විශේෂඥ ‍ වෛද්යුතුමා කොළඹ ජාතික ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය භාර (OPD) ප්රිධාන වෛද්‍යවරයා ලෙස දීර්ඝ සේවා කාලයකින් පසු වර්තමානයේ එතුමාගේ උපන් ගම් ප්‍රදේශය වූ එසේම මගේ බිරිඳගේ උපන්ගම් ප්‍රදේශය වූ මහනුවර නගරයට අයත් පේරාදේණියේ ගලහා ප්‍රදේශයේ විශ්‍රාමික සුවයෙන් පසු වේ.

    මෙම පශ්චාත් උපාධිධාරි ආයුර්වේද විශේෂඥ වෛද්යාවරයාගේ කිරි අත්තා පාරම්පාරික උඩරට ප්‍රභූවරයෙක් මෙන්ම පැරණි වෙද පරපුරකට අයත් සිංහල වෙද මහත්මයෙකි. ඔහුගේ මුණුපුරා මා මිතුරු පශ්චාත් උපාධිධාරී ආයුර්වේද විශේෂඥ වෛද්‍යරයාය.

    ජල භීතිකාව, විෂ සහිත සර්පයන් දෂ්ට කිරීම, පක්ෂාඝාතය, ආඝාතය, අංශ භාගය ආදී බියකරු රෝගවලට සෘජුව ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි සුවිශේෂී ඖෂධයක්, එය සකස් කරන සංයෝජන ඖෂධ මාත්‍රා අන්තර්ගතය හා එම ඖෂධය සකස් කිරීමේ දී එම ඖෂධය බලගන්වන කෙටි රහස් මන්ත්රර පදය මිය යන තෙක්ම පාරම්පරික සිංහල වෛද්යනවරයෙකු වූ තමාගේ කිරි අත්තා තමන්ට ලබා නොදුන් බව හා මියයන මොහොතේ එය ලබාදීමට තමාගේ නම කියා ආමන්ත්ර ණය කළත්, ඒ අවස්ථාවේදී සමීපව රහස් ගුරු මුෂ්ටිය ලබා ගැනීමට තමන්ට නොහැකි වූ බැවින් කිරි අත්තාගේ මරණයත් සමඟම අදාළ වූ හස්තසාර ඖෂධය පිළිබඳව පාරම්පරිකව පැවති දැනුම සහමුලින්ම වැළලී ගිය බව ද ඒ වෛද්‍යවරයා මා සමඟ පැවසීය.

    එසේම මේ අයුරින්ම කිරි අත්තා සතුව පැවති පාරම්පරික පුරාණ සිංහල වෙදකමට අයත් වටිනා ඖෂධ අන්තර්ගත පුස්තකොළ පොත් රාශියක් ම දැනට තමා සතුව ඇතත්, එම පුස්කොළ පොත්වල බියකරු මාරාන්තික රෝග සඳහා හස්තසාර ඖෂධ ලෙස භාවිතා කරනු ලබන වටිනා ඖෂධ සංයෝග විශාල ප්‍රමාණයක් අන්තර්ගතව ඇතත්, ඒවා භාවිතයට ගත හැකි ලෙස පිළියෙළ කිරීමේ නිසි ඖෂධ සංයෝගය, මාත්රාා අන්තර්ගතය, පිළියෙළ කිරීමේ දී භාවිතා කරනු ලබන කෙටි මන්ත්‍ර ආදී අත්යෝවශ්‍ය බොහෝ දෑ හුදෙක් මුඛ පරම්පරාගතව පමණක් පවත්වා ගෙන පැමිණි බැවින් ඒ ඖෂධ වලින් නිසි පරිදි ප්රෝයෝජන ගැනීමට නො හැකිව තිබෙන බව පැවසීය.

    මන්ද පුස්කොළ පොත්වල ඒවා ලියා ඇත්තේ වෙද ගැට පරිද්දෙන් අදාළ වෛද්‍යවරයාගේ මුවින්ම අසා දැනගත යුතු පරිදි අතවශ්‍ය ම දේ සඟවාය. ඒ ඉදින් මෙම පුස්කොළ පොත්පත් නුසුදුසු චරිත ලක්ෂණ ඇති විෂම පුද්ගලයෙකු අතට පත් වුවහොත් ඔහු හෝ ඇයගෙන් විෂයය ක්ෂේත්‍රයට සිදු විය හැකි අන්තරාය වළක්වා ගැනීම සඳහාය.

    ඖෂධ නාමය පමණක් මෙබඳු පුස්කොළ පොත්වල සඳහන් වුවද එයද හුදෙක් ලියා ඇත්තේ නියම නම නොව ආරූඪ නාමයක් ලෙසිනි. එසේම කිසියම් රෝගයකට අදාළ නිසි ඖෂධය වෙනත් ආරූඪ නාමයකින් දක්වා ඊට සෙසු ඖෂධ මාත්‍රා සංයෝග කරන ආකාරය, සිය මුවින් පමණක් ලබාගත හැකි ලෙස පුස්කොළ පොත්පත්හි සඟවා රහස් කේත ලෙස රචනා වී ඇත්තේ දියත් වූ ආරක්ෂාකාරී ක්රිමවේදයක් අනුව ඒවා පිළියෙළ කොට ඇති නිසාය.

    ReplyDelete
    Replies
    1. සුජිත් මහතා දීර්ඝව පෝස්‍ටුව සඳහා ප්‍රතිචාර දක්වා ඇති බව දැක්කා..

      ඔබගේ අදහස් වෙනමම ඔබගේ පෝස්‍ටුවක් ලෙස ලියන්නට ආරාධනා කරනවා..

      Delete
  15. ජීවිතයට සමීප අය වෙන්වීයාම දරාගන්න අමාරුයි තුශානි..ඒත් අපි කවුරුත් වෙන්ව යායුතුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... කවදාහරි වෙන් වලා යන්න ඕනේ තමයි.. ඒත් ඒ දුක දරාගන්න අමාරුයි..

      අමරු වුනත් ඒ දරාගැනීමේ ශක්තිය පුරුදුකරගන්න ඕනේ...

      Delete
  16. ඒම දුකකි, යාම දුකකි, ඒම යාම අතර දුකකි!

    සීයාට නැවත ඒ දුක ඇති නොවේවා!

    ReplyDelete
    Replies
    1. මේ වගේ හදිසි මරණයක් සීයා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති.බැඳීම් අඩු වෙන තරමට දුක දැනෙනවා අඩුයි තමයි ...

      Delete
  17. මේ ලිපිය මාව 1994ට රැගෙන ගියා කිව්වොත් නිවැරදියි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ !

    ReplyDelete
    Replies
    1. කෝරාලේ මහත්තයව බොහොම සාදරයෙන් තුශානිගේ බ්ලොග් එකට පිලිගන්නවා...

      අතීතයට ගියේ මේ වගේම සිදුවීමක් නිසා වෙන්න ඕනේ...

      Delete
  18. හැමෝටම උරුමයි තුෂානි..ඒ හැමදේම එක්ක ජීවත් වෙනවා කියන එක තමයි අමාරු.කවදහරි දවසක අපිටත් මේ හැමදේම දාල යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව්... හරියටම හරි ..එන ඕනෙම විදිහකට මුහුණ දෙන එකයි කරන්න තියෙන්නේ

      Delete
  19. තුශානිගේ ප්‍රාර්තනාව ඉශ්ඨ වෙන්න කියලා පතනවා !!!
    තුශානිට ඉන්නේ මල්ලි කෙනෙක් විතරද ? මල්ලි ඕ ලෙවල් ලියනවා නං තුශානි ඒ ලෙවල් කරන කෙල්ලෙක් වෙන්ඩ ඕන.. හික් :)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට හුඟක් ස්තූතියි...

      ඔව් ... ම්... ගණනය කිරීම නම් වැරදියි හොඳේ... ප්‍රශ්ණෙට උත්තරේ පොස්‍ටුවෙම තියෙනවා ...

      Delete
    2. තුශානි අපේ මල්ලිගේ වයසේ... අවුරුදු 25යි නේද.. හික්ස් :)

      Delete
  20. මට හිටිය අන්තිම සීයා නැතිවුනෙත් මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව දවස් වලමයි...මගේ ප්‍රතිඵල අහලා බොහොම සතුටු උනා....ඒ වෙද්දි සීයගෙ තොලේ ඇතිවෙලා තිබුන පිළිකා තත්වයකට බැරෑරුම් ශල්‍ය කර්මයක් කරලා තිබුනෙ....ඒ වද වේදනා උහුලගන්න බැරි නිසාමදෝ එයා අපි කවුරුවත් ලග හිටියෙ නැති වෙලාවක මහරගම පිළිකා රෝහලෙන් පැන ගොස් තිබුනා...අදටත් අපි එයාගෙ මළ සිරුර වත් දැකලා නෑ....ශල්‍ය කර්මයේ පළමු අදියර නිම වෙලා තිබුන නිසා සාමාන්‍ය කෙනෙක් වගේ ආහාර ගන්නත් බැරි තත්වයක සීයා හිටියෙ...ඒ නිසා කිසිසේත් රෝහලෙන් පිට වෙලා එයාට ජීවත් වෙන්නත් බෑ.... දුක්බර මතකයක් නගෝ....

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න පුළුවන්. හරිම දුක්බර මතකයක්...

      සීයා හිතන්න ඇති එයා විඳින දුක ඔයාල දැක්කහම ඒක ඔයාලට දරාගන්න බැරි වෙයි කියලා.. සීයා ඒ තීරණය ගන්න ඇත්තේ සීයා විඳින දුකට වඩා අනිත් අය ඒ දුක විඳවනව වලක්වන්න වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ...

      Delete
  21. අද තමයි මුලින්ම මේ බ්ලොග් පිටුවට ගොඩ වැදුනෙ. ලස්සනට ලියනවා නංගා. සුභපැතුම්!!

    ReplyDelete
    Replies
    1. පැමිණීම සතුටක්. ඔයාව ආදරයෙන් පිළිගන්නවා .... සුබ පැතුම් වලටත් හුඟක් ස්තූතියි... දිගටම එන්න...

      Delete
  22. කෙලින්ම මෙතන පෝස්ටු දෙකකි.

    ප්‍රාර්ථනා එලෙසම ඉටු වේවා...!

    ReplyDelete
    Replies
    1. ම්.. ඔව් කෙටියෙන් ලිව්වේ...

      ප්‍රාර්ථනයටත් හුඟක් ස්තූතියි...

      Delete
  23. අපි හැමෝටම ජීවිතේ ඇතුලෙ මේ වගේ සංවේදී සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ හැම දේකටම සාර්ථකව මුහුණ දෙන එකයි ජීවත් වෙනවා කියන්නේ ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...