Saturday, November 1, 2014

සත්තකයි දැනුනේ නෑ...





හිමිදිරි පාන්දර හිරු කිරණට පවුරු බැඳ
ගොම්මන් අඳුර විත් වෙලාගෙන අහස් කුස
මොකක්දෝ කියන්නට සැරසුනත්
තේරුම් ගන්න නිනව්වක් නැතිවුනා...

අතොරක් නැතිව ඇදහැලෙන වැහි බිංදු
වේදනාබර කඳුළු ගඟුලක්ම වෙයි කියලා
සැඩ සුළං ගත පුරා දැවටෙමින් පැවසුවත්
ඒ හඬට කන් දෙන්න කාටවත් හිතුනේ නෑ...

තේ දළු කහට වැහෙන්න පාට කල නියපොතු
අත් දෙකේ පාළු මැකි සිහින් වීදුරු වළලු
දිගට ගෙතු කොන්ඩේ ගැසු පිච්ච මල් වැල් එක්ක
දළු කූඩේ අතට ගත්තේ වෙනද වගේ පුරුද්දට... 

දෙවොල අභියස දෙ අත් නලලට අරන්
පිහිට පැතුමුත් දෙනෙත් අඩවන් කරන්
ලොව දකින්නට දෙනෙත්
හැර යලි
නොම වේය යැයි හිතුවේ නෑ හීනෙකින් වත්... 

බලාපොරොත්තු මතට පනිමින් එකින් එක
වැසුනු දෙනෙතින් සිහින දහසක් දු‍ටු නිසා
අවසාන හුස්ම පොද පස් අතරේ හිරවෙලා
ඉවත යන බවක් සත්තකයි දැනුනේ නෑ...




28 comments:

  1. පස් අතර සැඟව ගිය මිලින වූ සුසුම් පොදි,
    පස් වලට යට නොකල හැකි, දේශයක යථාර්ථය..

    ReplyDelete
    Replies
    1. ඔව්.. නොහිතපු මොහොතක නොහිතපු විදිහට අවසන් ගමන් ගිය ඒ අපේම අය..

      Delete
  2. හරිම අපරාධයක්. තුෂානි ඔබේ නිර්මාණයෙන් එය මැනවින් පෙන්වලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ආපහු මේවගේ විපතක් අහන්න දකින්න නොලැබේවා කියන එක තමයි අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ..

      අගය කලාට හුඟක් ස්තූතියි චන්දන අයියේ..

      Delete
  3. එදා පාසල් ගිහින් ආපු ළමයින්ට මොනවා හිතෙන්න ඇත්ද කියල හැමතිස්සෙම හිතෙනවා මේ විපත ගැන දැනගත්තට පස්සේ...

    මේවගේ අනතරු නවත්තන්න බැරි උනත් වගකියන නිළධාරීන් හරියට වැඩකරානම් මේ අතරින් කීදෙනේක්නම් අදත් ජිවත්වෙයිද...

    ලස්සනයි පද පෙළ..

    ReplyDelete
    Replies
    1. ඩිශාන්ව කැකුළු ගොමුවට සාදරෙන් පිලිගන්නවා..

      කිව්වත් වගේ ඉදිරියට වත් මේ වගේ දේවල් වෙන එක වලක්වගන්න කටයුතු යොදන්න හැම කෙනෙක්ම වගබලා ගන්න ඕනේ..

      Delete
  4. හ්ම්ම්.. අවසානයේ ඔවුහු කතාවක තවත් පරිච්ඡේදයක් ලියා යන්නට ම ගියහ. එය අවසන් කරන්නේ කවුරුන් ද !!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔවුන් ලිව්වේ ලාංකේය ඉතිහාසයේ මීට කලින් නොලියවුනු කවුරුත් නොහිතපු පරිච්ඡේදයක්.. ඉතිරි අපිට ඒ පරිච්ඡේදය අවසන් කරන්න තව බොහෝ කල් යයි..

      Delete
  5. කියෙව්වා තුශානි...මේ සිද්ධියත් එක්ක හරි කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. අසරණයින්ට කොහේවත් තැනක් නැහැ. හිඟන්නන්ට උණුබත් කොයින්ද....ශික් විතරක් අප්පා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඒ අසරණ මිනිස්සු කබලෙන් ලිපට වැ‍ටුනා..

      Delete
  6. පාන්දර අළුයමෙක හිත පිපුණු අතු පතර
    කැකුළු ගොමුවක රැඳුණු පුංචි පිණි බිඳු පොකුර
    දුටුවේ නෑ මෙතෙක් කල් නොයමි මින් පසු අතැර
    මගෙ හිතත් .. රිදීලා නොගියමුත් ඔබ නිතර

    ReplyDelete
    Replies
    1. ගොඩවුනි අද දිනේ ඔබෙ තතු විමසන්න
      හද වේදනා ඇතිවිය බෝ තැවුල් මැද
      පතනෙමි ‍රැකවරනේ ඔබ සැම දෙනා හට
      නව මිතු දමක් අරඹමු අපි මෙතැන් සිට

      Delete
  7. එක කාටවත් හිතුනේ නෑ. එත් දැන්වත් දැනෙන මිනිසුන් පිරිසක් අහ්ටිවුනොත් , හදවත් ඇති මිනිසුන් පිරිසක් ඇතිවුනොත්

    ReplyDelete
    Replies
    1. ඔව්.. තවත් කෙනෙකුගේ දුක හඳුනන, හදවතක් ඇති මිනිසුන් බිහිවුනොත් මෙවැනි නොහිතන දෙයක් නැවතත් සිදු නොවේවී...

      Delete
  8. ඉතාම දුක්බර සිදුවීමක්...ජීවන ගමනේ බැට කන ජනතාවටම ස්වභාව ධර්මයාත් බැට දුන්න එක හරිම අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ස්වභාවධර්මය වුනත් පීඩාවෙන බැට කන මිනිස්සුන්ටම මේ විදිහට සලකපු එක කොයි තරම් අසාධාරණද ...

      Delete
  9. මේ මිනිස්සු කවදාවත් සැපක් වින්ද අය නොවෙයි.තව තවත් දුක් විදින්නන් මෙලොවට දායාද කරමින් ඔවුන් ගත කළ ඒකාකාරී ජීවිතය ගැන සොබාදහම නොමනාපෙන් හිටිය වගෙයි.
    තුෂානි මේ අයගෙ දුක අකුරු කරපු හැටි කදිමයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.. ඔන්න ඔයාවත් සාදරෙන් කැකුළු ගොමුවට පිලිගත්තා...

      කිව්වත් වගේ සොබාදහමට හිතුනද දන්නේ නෑ මේ අයගේ දුක් විඳින ජීවිත වලට අවසානයක් දෙන්න..

      Delete
  10. අගෙයි. සංවේදී පැදිපෙළක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .. මේ සිදුවීම අපි හැම කෙනෙක්ම සංවේදී කළ සිදුවීමක්..

      Delete
  11. පවු... අහිංසක මිනිස්සු !!!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. අහිංසක කමට සොබාදහමත් සරදම් කලා වගේ..

      Delete
  12. තුශානිලාට මේ ජිවිත වල දැනෙන වටිනාකම,අගය,ඒ මිනිස්සුන්ගේ වේදනාව ලොකු පුටු වල ඉන්න මහත්තුරුන්ට පේන්නේ නැති හැටියක්.

    ReplyDelete
    Replies
    1. ජීවිත වල වටිනාකම, අගය, මිනිස්සුන්ගේ වේදනාව ලොකු පු‍ටු වල ඉන්න මහත්තුරුන්ට දැනුන නම් මේ වගේ සිදුවීම් අද අහන්න, දකින්න ලැබෙන්නේ නෑ මනෝජ්..

      Delete
  13. ලෝකයට හොරෙන් ජිවත් වෙලා , ලෝකයට හොරෙන්ම සමුගත්ත අය :(

    ReplyDelete
    Replies
    1. ලෝකයක් නොදු‍ටු ජීවන බරක් දැරූ ඔවුන්, පස් කඳු බරට ජීවිතය පූජා කලා...

      Delete
  14. අර හල්දුම්මුල්ලේ මිය ගිය අයටද අක්කියෝ ලිවුවේ......?
    කාට ලිවුවත් ලස්සනයි...
    මට හිතුනේ එයාලට ලියපු එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් දසුන්.. ඒ සිදුවීම ගැන තමයි..

      ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...