Monday, November 17, 2014

හේතු හාමිගේ ලර්නර්ස් ගමන ...

ඈත එපිට              ගම්මානෙක
සරු සාරේට ඇති          හේනක
හිටියලු ගොවි          මත්තයෙක්
නමින් "හේතු" යි  කියන්නැහැක 

                           සරු ඵලදා ඇති           හේනේ 
                           එළවළු නෙක නෙක  බෝසේ
                           විකුනන්නට එය සිත්        සේ
                           නැහැ විදිහක් ගම්       මැද්දේ


                             
එළවළු ගොඩ වැඩි වෙනකොට 
නගරේ පැත්තේ  ගෙනියන්නට 
ට්‍රැක්ටර් කට්ටක්          ගන්නට 
හේතු හාමි ගත්තා            හිතට 
  
                                ටික ටික හරි ගෙවා    ගන්න
                                ගත්තත් වාහනේ       ඔන්න
                                එය එලවන් පාරේ     යන්න
                                ඒත් දන්නේ නෑලු   මෙන්න 
                   

                   ගන්න ඕනෑ ලයිසොන්                   එකක්
                   එතකොට ලැබෙනවාලු එල් බෝඩ්  එකක්
                   ප්‍රශ්නෙට තියෙනවා නෙව හොඳ පිලියමක්
                   හොයාගෙන ගියාලු ලර්නර්ස්          එකක්


                                          මහත්තයෝ මම      ගොවියෙක්
                                          තියෙනව මට          ට්‍රැක්ටරයක්
                                          ගන්න කියලා ලයිසොන්  එකක්
                                          කියන්නකෝ මට හොඳ  විදිහක් 



















අපොයි ඒක සුළු    දෙයක්නේ
මේක අපේ ‍        රැකියාවනේ
ලයිසොන් අපි අරන් දෙන්නේ
හොඳ පුහුණුවකුත්   එක්කනේ

                  හේතු හාමි හරි         සතුටින්
                  දිනයක් හෙම අරන්   කලින්
                  පුරුදු පුහුණු වෙන්න  හිතන්
                  ගියාලු හරි        උජාරුවෙන්


                                        විභාගයක්       තියෙනවාලු
                                        එහි ලකුණුත්    ඕනේමයිලු
                                        මාර්ග සලකුණු     බෝමලු
                                        බහුවරණෙන්  තියෙනවාලු

ලියන්න කියවන්න    හොඳට
ඉගෙන ගත්තේ නෑ කරුමෙට
බෑ නොවැ කියවන්න හොඳට
අකුරු තියෙනවා        පරහට

                වාහන එලවන්         යන්නට
                අකුරු ඕනේ නෑනේ  හොඳට
                වැඩේ අත ඇරලා        දාන්ට
                වෙයි දෝ මේ නිසා    මෙමට


                                    එක්කෝ ඕනේ නෑ       ඩ්‍රයිවින්
                                    තියෙනව නොවැ වැඩ  යහමින්
                                    දන්න කෙනෙක් හෙම  ඩ්‍රයිවින්
                                    ගන්නව මම වෙන       ගමකින්
 

හේතු හාමි එහෙම     හිතලා
තිබුනු හීනේ පසෙක  තියලා
එල් අකුරට අතත්     වනලා
ගමට ගියා බසයේ    නැගිලා


~පින්තූර අන්තර්ජාලයෙන්... ~

38 comments:

  1. හරිම අපුරු නිර්මාණයක් තුශා අගෙයි

    ReplyDelete
    Replies
    1. :) තැන්කූ ශානු... කාලෙකින් නේද ... :)

      Delete
  2. ළමා කවි වගේ.. සරලයි.. ලස්සනයි..

    ReplyDelete
  3. පට්ටයි අප්ප
    ඇත්තමයි ඒක සරලයි හැබැයි ගති

    ReplyDelete
    Replies
    1. හි.. හි.. තැන්කූ තැන්කූ ...

      Delete
  4. නියම කවි කතාවක්.. ඉස්සර අපි පොඩි කාලේ ඔය ජාතියේ කතා කියෙව්වා මතකයි.
    මතකද හතර රියන් සහ දෙරියන් කතාව ??? ඇයි කළුහාමිගෙයි අස්සයාගෙයි කතාව ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මතකයි...

      කවි කතාවක් ලියන්න පුංචි උත්සාහයක් ගත්තේ.. ස්තූතියි..

      Delete
  5. වාචික පරීක්ෂනයක් තියනවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොඳ දෙයක්. හැබෑවටම එහෙම තියෙනවද?

      Delete
    2. @ ඔසාමා - මුලින්ම ඔසාමව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට..

      වාචික පරීක්ෂණයක් ගැන නම් දැනගෙන හිටියේ නෑ..

      Delete
  6. ගොබ්බ ක්‍රම අකියන්නෙ ඕවට තමයි. අකුරු බැරි මිනිහට ආත්මෙට ලය්සන් ගන්න වෙන්නෙ නෑ. ඒක ඔබ සරල උපහාසාත්මක පැදි පෙලකින් හරි ගැඹුරින් පැහැදිලි කරලා.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝශ්... කලින් කමෙන්ට් එකේ ඔසාම කියලා තියෙන වාචික පරීක්ෂණය ගැන නම් දැන ගෙන හිටියේ නෑ..

      ලියන්න, කියවන්න දන්නේ නැති කෙනෙක් කොහොමද ලයිසන් එකක් ගන්නේ කියලා හිතනකොට ආපු අදහසක් තමයි කවි පද වලට පෙරලුවේ.. ස්තූතියි..

      Delete
  7. හරි අගේ අැති නිර්මාණයක්.......... නියමයි තුශානි....

    කවි වලින් දාන වැඩ වලට ඉතින් අපි මාර සපෝට් නේ....... මෙන්න අපෙන් පහක්..................... හැක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ස්තූතියි... ගී පවුරේ කට්ටිය තරම් නම් අපි කවි වලට දක්ෂ නෑ..

      Delete
    2. අහ්.. පහක් දාන්න අමතක වුනානේ.. මෙන්න පහක්.. :D

      Delete
  8. ආශ්චර්ය තුෂා ආශ්චර්ය.....!!! හැක්...!!!

    ReplyDelete
  9. හේතුහාමිගේ ලයිශන්
    විභගයක සීන් කෝන්
    කවි මිණි ලොව ජයගන්නට
    'තුශානි' දැන් ඕන් මේන්.. :D

    ReplyDelete
    Replies
    1. මං ගෙනාපු දෙකයි පනහ
      හලලා යන්නම් මෙතනට
      කවි ටික හරි අගෙයි රහයි
      තලු ගහල ම කෑවා මං :D

      Delete
    2. @ කල්‍යාණ මිත්‍ර

      හේතු හාමි ගැන කියන්ට
      හිතුනා පද වැල් බඳින්ට
      කලණ මිතුර මේ ඔබ හට
      තුති මල් මිට දිරි දුන්නට

      Delete
    3. @ චන්දන

      දෙකයි පනහ වුනත් නමුදු
      එය මට මහමෙරක්ම බඳු
      කවි රස වින්දට මං හැදු
      ඔබටත් තුති දෙමි සුපුරුදු

      Delete
  10. අපූරුයි.. පින්තූර ටිකත් ගැලපෙනවා කවියටම.. සරල වුණත් යටින් ලොකු අරුතක් තියෙන නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අශාන්.. ගැලපෙන පින්තූර හොයා ගන්න ටිකක් මහන්සිවෙන්න වෙනවා. මම විශ්වාස කරන්නේ එතකොට තමයි නිර්මාණය සම්පූර්ණ වෙන්නේ කියලා.

      Delete
  11. පරණ කතාවක් මත් උනා.

    දවසක්දා එක් ගැමියෙක්
    අකුරු දන්න කෙනෙක්
    නැවැත්තුවා පාරෙ තැනක
    තහනම් බව දැනත්

    අල්ලගත්ත පොළෝසියෙන්
    දැම්මා නඩුවකුත්
    නැවැත්තුවට වැරදි තැනක
    පාරෙ අයිනෙ වුනත්

    ඇතිද ඔබට කියන්න දැන්
    බේරෙන්නට යමක්
    නැවැතිවුනොතින් දෙනවා මන්
    හොඳ දඩයක් ඉතින්

    අනේ සාමිනේ මම නෑ දන්නේ ඉන්ගිරිස්
    ඒ හින්දෙන් නැවැත්තුවෙ පාරෙ ඒ තැනින්
    ඒක නිසා සමාවෙලා සිතා කුළුනු සිතින්
    යන්න දෙන්නට අසරණයට සමා වෙලා දුකින්

    ආන්ඩුවෙ නීත්ඥ තැනට හිනා තදින්
    සුවාමිනේ මේක කියන බොරව හනේ ඉතින්
    දන්නෙ නැද්ද බලන්න උඹ ඩිංගක් ඉන්ගිරිස්
    කියපන් බොගෙ රථයෙ අංකෙ ඇහෙන්න දැන් තදින්

    අනේ සෑර් ඒක මොකද මම නොදන්නෙ ඉතින්
    රවුමෙන් භාගයක් එක්ක කැටපොල් කරු මුලින්
    විසිපහ සහ දාහතරනෙ ඇත්තෙ ලඟට ඉතින්
    කියල කියපි ඩැයිවරයා සමග සිනා වතින්

    සී වයි දෙදහස්පන්සිය දාහතරට සිතින්
    සිතා කියපු බොරුව නිසා ඩැයිවරයා සොඳින්
    ගැලවිය නොගෙවා දඩයක් රිංගාගෙන කනින්
    උපාය දන්නෝ කෙදිනද අපායෙ ගියෙ ඉතින්

    ReplyDelete
    Replies
    1. හි..හි.. ස්තූතියි ඉන්දික අයියේ.. ඒ කතාවත් මෙතනට එකතු කලාට ..

      Delete
  12. කවියේ හංගිච්ච පණිවිඩේ හොදයි.. ඒත් ඉතින් කොයි රටෙත් ලයිසන් ගන්න ඔය විභාග ලියන්නම වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.. අද කාලේ වෙනකොට නම් ලියන්න කියවන්න බැරි අය ඉන්නේ බොහොම අතලොස්සක්නේ..

      Delete
  13. ඒ කාලෙ නං අකුරු නොදන්නා අයටත් ගොඩ යන්න ක්‍රම තිබුණා.තුශානි දන්නවද ලයිසන් දෙද්දී ලිඛිත පරීක්ෂණය හඳුන්වා දීමේ ආරම්භකයෝ වුණේ අපියි.ඒ 1996 දි වගේ මට මතක.

    ReplyDelete
    Replies
    1. එහෙමද ... ආරම්භකයෙක්ගෙන්ම විස්තර අහගන්න තියෙන එක කට්ටියට හුඟක් වැදගත් වෙයි.. ලියමුද ඒ ගැන විස්තර ටිකක් වෙලාවක..

      Delete
  14. දන්නා ගොවිකම් හොඳයි නොදන්නා ඩ්‍රයිවර් කමට වඩා
    හේතු හාමි හිතුවත් ඒ ලෙසට පුතා
    කන්න ගිහින් මිදී තිත්තයි කියපු කපටි රජා
    මතක් වුනා මට මේ කවි දැකලා තුශා

    ReplyDelete
    Replies
    1. කවියට කවියෙන්ම පිලිතුරු දී යන්න
      මනෝෂ් හිතුව එක නම් වටිනව ඔන්න
      ඇතිවු අදහසම් මේ කවි පද වැල් ගොන්න
      ගත්තා වෑයමක් කවියෙන් ගෙන එන්න

      Delete
  15. ෂා නියම කවි ටික තුශානි..දැන්නම් ලියන්න කියවන්න බැරි අයටත් ලයිසන් ගන්න ක්‍රමයක් තියෙනව..දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ් .. එහෙමද .. ඒ ගැන දැනගෙන හිටියේ නෑ..

      Delete
  16. කෙලී කවි ලියන්නත් සූරයි නොවැ...හරිම අපූරුයි නගෝ...මම හිිතුවෙ වෙනත් තැනකින් උපුටාගත්ත ඒවා කියලා...

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි සිරා අයියේ..

      Delete
  17. තුශානි.......මේක හොඳයි ඉස්කෝලෙක පොඩි ළමයි සෙට් එකක් එකතුකරගෙන පොඩි කොන්සට් එකක අයිටම් එකකට. හරිම රසවත්. මට මැවිලා පේනවා, පොඩි කොලුවෙක් හේතු හාමිට ඇඳලා ස්ටේජ් එක උඩ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ අදහසක් .. අපරාදේ.. තුශානි චූටි ටීච කෙනෙක් වෙලා හිටිය කාලේ මේක ලියලා තිබුන නම් ඒ විදිහේ දෙයක් කරන්න තිබුනා.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...