Sunday, October 13, 2013

වීදියට බට සොඳුරු හදවත් ...

අපිට අපේ එදිනෙදා ජීවිතේදී නොයෙක්  ආකාරයේ බොහෝ මිනිසුන් මුණගැහෙනවා, නමුත් ඒ අය අතරින් අපේ මතකයේ ‍රැදෙන සුවිශේෂ පුද්ගලයින් වන්නෙ බොහොම සුළු පිරිසක්.

එලෙස හමුවු වින්දනීය හදවතක් හා ආත්මීය බැදීමක් සහිතවු අන්ධ යුවලක් ගැන සොඳුරු සටහනක් මුල්ම බ්ලොග් ලිපිය ලෙස එක් කරන්නට හිතුවා.

 දිවුල් ගස් හන්දිය එහෙමත් නැත්නම් ආමර් වීදිය හරහා ගමන් ගන්නෙකු නම් ඔබ, මේ හගුම් බර දසුන නුදු‍ටු කෙනෙකු නොවිය හැකියි.

" මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සගලක සලකුනු
                       දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ ....... "

යනුවෙන් විරිදු රබාන වයමින් සිය ආදරනීය බිරිද සමග බත සරි කරගන්න මුදලක් අයදින මේ අන්ද මිනිසා එම ස්ථානය පසුකර යන කාහටත් හිතන්නට යමක් ඉතිරි කරනවා.

අවුරුදු තුනකට වැඩි කාලයක් මමද එම ස්ථානය පසුකර යන්නියක් වු නිසා  ඔවුන්ගේ  මේ ජීවන සටන පිලිබද ඉතා අල්පවු හෝ  දැනීමක් ලබන්නට මටත් අවස්ථාව උදා වුනා. දෑසම පෙනි පෙනී අත පය සවි ශක්තියෙන් යුතු අපට, දෑස නොපෙනෙමින් සැදෑ සමය ගතකරනා මේ මහලු යුවල කියා දෙන්නේ බොහොම ගැඹුරු වු පාඩමක් කියලයි මගේ අදහස.

උදෑසන 6.30 ට පමණ වීදීයට බසින මොවුන් අව් වැසි නොතකමින් විරිඳු රබාන අතට ගෙන තිබු අතැම් අවස්ථා ඇසට කඳුලක් ගෙන එන තරම් ශෝචනීයයි. අබලන් වු කුඩය යටට වී හෝ කඩ පිලකට මුවාවී මුදලක් උපයා ගන්නට උත්සාහ කලත් ජීවිතයේ වු ක‍ටුක බව ඔවුන්ගේ මුහුණු තුලින් දකින්නට නොමැති වීම හරිම පුදුම සහගතයි. ගීතයට ඇති ආදරයත් ඔවුන් දෙදෙනා අතර වූ අත්මීය බැඳීමත් ජීවිතයේ කටෝර භාවය මකාලීමට හේතු වුවා වන්නට පුලුවන්.

තම නොහැකියාවන් කියා මිනිසුන්ට අතපානවා වෙනුවට තම හැකියාවන් පාමින් මෙලෙස මුදලක් උපයා ගැනීම සැබවින්ම අගය කල යුත්තක්.

ඔවුන්ගේ අත මුදලක් තබා අප ලබන පිනෙන් ඔවුන්ගේද මතු ආත්මයද මෙලෙසම වින්දනීය හදවතින් හා අත්මීය බැදීමකින් පිරි යස ඉසුරින් යුතු වුවක් වේවායි ප්‍රාර්ථනා කිරීම හැර අපට කලහැකි කිසිවක් නොවීම කණගා‍ටුවට ඇති කරුණයි.


8 comments:

  1. ඔහොමම ලියමු අපි එනවා බලල යන්න

    ReplyDelete
    Replies
    1. බලල යන්න ආවට බොහොමත්ම ස්තූතියි.. පුලුවන් විදියට ලියන්න උත්සාහ කරන්නම්..

      Delete
  2. ඔය වගේ ජෝඩුවක් මම ස්ථාන දෙකක ඉන්නවා දැකල තිබෙනවා..කෙටුවේ කාගිල්ස් සාප්පුව අසබඩ සහ මේන් ස්ට්‍රිට් එකේ ටයිටස් එක කිස්ටුව.. ඒ දෙපල බොහොම පැරණි ගීත අලංකාරෙට ගයනවා.. මම නම් කවදාවත් සත පහක් වත් දීලනම් නැහැ.. මොකද ඒක මගේ ප්‍රතිපත්තියක්.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් මිනිසුන්ට නිකන් අතපාමින් හිගමනේ යන්නෙ නැතුව, හැකියාව පෙන්නලා කීයක් හරි හොයා ගන්න එක අපි අගය කරන්න ඕනෙ නේද ,,

      Delete
  3. හිඟන්නන්ට සල්ලි දීමෙන් දෙන අය ලබන්නේ හිතේ සතුටක්. එලෙස සතුටක් ලැබිය නොහැකි නම් ඒ දීමෙන් පලක් නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව්... නොසතුටෙන් දෙන රුපියල් 100 ට වඩා හිතේ සතුටෙන් දෙන රුපියල් 5 හුඟක් වටිනවා...

      Delete
  4. මමත් ඔය කියන දෙන්නව දැකලා තියෙනවා.. ආමර් වීදිය කියන්නේ මගේ ගමනේ තවත් එක නැවතුම්පොලක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ආමර්වීදිය පසු කරන හැම කෙනෙක්ටම වගේ මේ දෙන්න නෙත ගැටිලා ඇති..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...