Saturday, April 12, 2014

අවුරුද්දට තෙල් වලං ලිපේ තියන්න කාලේ ඇවිත්...







සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නෙ දවස් දෙකකටත් අඩු කාලයක්. කොහෝ හඬත් එක්ක එරබදු ගස් රතු මල් චීත්තයක් ඇඳගෙන හැඩවෙලා ඉන්න අතරේ පැණි පිරිච්ච ඉදුණු කජු පුහුලන්, අඹ පොකුරු ගස් වල පිරිලා දකින්න තියෙනවා. ඒ අතරේ ගෙවල් වලිනුත් කැවුම් කොකිස් බැදෙන සුවඳ ටිකෙන් ටික පැතිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. 

ඉතින් ඊයේ තුශානිත් ගෙදර නැවතුනේ අම්මයි, අත්තම්මයි එක්ක එකතුවෙලා අවුරුද්දට කැවිලි හදන්න. අවුරුදු කෑම කිව්වහම එකපාරටම අපිට මතක් වෙන්නේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කියන කෑම ටිකක්නේ ඒ නිසා අවුරුදු කෑම ගැන පුංචි තොරතුරු  ටිකක් මේ විදිහට ලියන්න ඕනේ කියලා තුශානි හිතුවා.  

අවුරුදු කෑම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කොන්ඩ කැවුම්, මුං කැවුම්, කොකිස්, ආස්මි, අතිරස වගේ කැවිලි  අනිත් දේ තමයි බත් එක්ක කෑමට ගන්න සිංහල අච්චාරු, හත්මාළුව, ඇඹුල්තියල්, කජු මාළුව වගේ ව්‍යාංජන. මේ වර්ග දෙකේම කෑම හැම  දුප්පත් පොහොසත් ගෙදරකම වගේ අවුරුදු කෑම මේස වල දකින්න තියෙනවා.  


අවුරුදු කෑම මේසේ මුලසුන හොබවන්නේ කිරිබත්නේ. ඉතින් කිරිබත් කියන්නේ ඇඟ සිසිල් කරන ශක්තිය තියෙන කෑමක්. හැබැයි සුදු හාල් වෙනුවට රතු කැකුළු හාලෙන් හදපු කිරිබතක් කෑම මේසෙට තියන්න පුළුවන් නම් තමයි කිරිබතේ වටිනාකම තවත් වැඩි වෙන්නේ. කැවිලි හදද්දිත් පාන් පිටි වෙනුවට හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්නම් ඒකත් සෞඛය පැත්තෙන් හිතකරයි. 

ඊලඟට කැවිලි හදන්න ගන්න ප්‍රධාන දේ තමයි සීනි. අද අපි පාවිච්චි කරන සුදු සීනි වෙනුවට ඉස්සර අපේ පැ‍රැන්නො පාවිච්චි කලා වගේ පැණි යොදා ගන්න පුළුවන්නම් වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි.  ඒ වගේම කැවිලි බදින්න ගන්න තෙල් ගැනත් අවදානය යොමු කරන්නම ඕනේ. සත්ව තෙල් වෙනුවට පිරිසිඳු පොල් තෙල් පාවිච්චියට ගැනීමෙනුත් එක් වරක් බැදිම් සඳහා පාවිච්චි කරපු තෙල් නැවත නැවත භාවිතයට නොගැනීමෙනුත් කැවිලි වල වැඩිපුර ඇති තෙල් හොඳි ඉවත් වෙන ආකාරයට තියලා ආහාරයට ගැනීමෙනුත් සෞඛය ගැටලු හුඟක් මහ හරවාගන්න පුළුවන්. 

කැවිලි හදන්න ගන්න අනිත් දේවල් ගැනත් ටිකක හොයලා බැලුවොත් ඒ දේවල වලත් වටිනාකම් ගොඩක් තියෙනවා.  ආස්මි වලට ගන්න දවල් කුරුඳු, බඩ වැල් වල ක්‍රියාකාරිත්වයටත්, ආහාර දිරවීම පහසු කරවන්නත් උදව් වෙනවා. මුං ඇට ශරීරය සිසිල් කරන්න උදව් වෙනවා වගේම කහ කුඩු ශරීරයේ විස නසනවා.  

කොහොමවුනත් සාමාන්‍ය කාල වලට වඩා අවුරුදු කාල වල තෙල් කෑම ටිකක් වැඩිපුර කැවෙන නිසා ඒ තෙල් පුච්ච්චන ප්‍රධාන කාර්යය කරන්නේ අපේ සිංහල අච්චාරුව. රතු ළූණු, අමු මිරිස්, ගස් ලබු කෑලි එක්ක පදමට වැ‍ටුනු අබ, දෙහි, විනාකිරි නැවුම් මැටි මුට්ටියක අවුරුද්දට දින දෙක තුනකට කලින් හදලා තියන්නත් අපේ පැ‍රැන්නො අමතක කලේ නැත්තේ ආහාර වල රසය වගේම ගුණය ගැන හිතලා බලපු නිසයි.


ඉතින් මේ තොරතුරු ගැන හිතලා, ලබන්නාවු අවුරුද්දේ කැවිලි පෙවිලි වල රස බලද්දි ගුණය ගැනත් ශරීර සෞඛ්‍යය ගැනත් අවදානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ එක්කම කැවිලි පෙවිලි කාල ගම්මැද්දට ගිහින් කොට්ටපොර හගල, චග්ගුඩු පැනලා, කඹ එහෙම ඇද්දොත් තෙල් පුච්චන්න අමුතු දෙයක් කරන්න ඕනේ වෙන්නේ නෑ කියලත් මතක් කරනවා.


18 comments:

  1. තුශානි ගෙදර නැවතිල හදල තියෙන කෑම ජාති ටික හරි ලස්සනයිනෙ,දැක්කම කන්න හිතෙනව.අලුත් ඇඳුම් හෙම ගත්තද.
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න හැලපතුමා.. ගෙදර හදපු කැවිලිත් ඔය වගේම වුනත් පින්තූර ටිකක් අරගෙන දාන්න හැකියාවක් තිබුනේ නෑ.. පුළුවන් කමක් තිබුනොත් පින්තූර ටිකක් අරගෙන දාන්නම්කෝ..

      අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නත් ගියා..

      හැලපතුමාටත් හැලපතුමීටත් පුංචි පැංචටත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා !

      Delete
  2. අච්චාරුව දැක්කමනම් කෙළත් ඉනුවා…

    සුභ අවුරුද්දක් වේවා……!!

    ReplyDelete
    Replies
    1. අඩුම කුඩුම ටික හොයාගෙන අච්චාරුවක් දාලා අපිටත් රස කියන්න...

      ඔය දෙන්නටයි පුංචි පැංචිටයිත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා ..

      Delete
  3. හඃ හඃ ඕං ඉතිං මේ සැරේ නොහදන එවත් හදන්න සිතක් උපන්නා..

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අලුත් දේවල් හදලා කාලා බලලා අපිටත් විස්තර කියන්නකෝ...

      ජය සතුට පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දකට තුශානිත් සුබ පතනවා !

      Delete
  4. අපේ දිහා නං ගොඩක් ජාති හදන්න දුන්නෙ නෑ මං... අම්මටත් අමාරුයි දැං... ඒත් අච්චාරුවක් නං ඩෙපා දාගන්නව...

    සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. කැවිලි හදන එක ලේසි නෑ... ඔක්කොටම හරියන්න හොඳ අච්චාරුවක් හදන්න හිතපු එක හොඳයි අම්මට කරදර කරන්නේ නැතුව..

      ඔයාටයි අම්මටයි ගෙදර හැමෝටමයිත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා.

      Delete
  5. මේ ගැන කලින් දාපු එක ගොඩක් වටිනවා.. !!!
    මොකද ගොඩක් අය කැවුමක් අතට ගන්නේ හොරෙක් හොරකමක් කරන්නා වාගේ බයෙන් බයෙන් නෙහ්.. ඒ නිසා බය නැතුව කන්ඩයි කියමු... !!!

    සුබ අළුත් අවුරුද්දක් වේවා තුශානි !!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... කැවුම් කාල, අච්චරුත් කාලා, ඇඟ වෙහෙසවෙන අවුරුදු ක්‍රීඩා ටිකකුත් කලාම හරි...

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා !!!

      Delete
  6. දෙන එක කනව මිසක් ඔව්ව ගැන හිතුවෙ නෑ අප්පා :-D

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් විස්තර දන්නවනේ ... :)

      ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා ...

      Delete
  7. මම ආසම ආස්මි....

    තුශා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මමත් ආස ආස්මි කන්න.. ආස්මි හදන්න ගන්න දවල් කුරුඳු වල ගුණ හුඟක් තියෙනවා...

      ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා !!!

      Delete
  8. උඳුවැල් තියෙනව නම් මට වෙන මොකුත් ඕනි නෑ... :D
    තුශානි ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. උඳු වැල් නම් හුඟක් කන්න හොඳ නෑ හොඳද .. :D

      ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දකට මාත් සුබ පතනවා !!!

      Delete
  9. අත්තම්මත් මේ වැඩ වලට හවුල් උනා කිව්වාම මට හරිම සතුටක් දැනුනා නගෝ...ඉතාම ආදරෙන් එයා එක්ක ඉන්න...මට එහෙම කාලයක් ආයෙ එන්නෙ නෑ....සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අයියේ ... මේ හැම දේකදිම ගුරුහරුකම් ලැබෙන්නේ අත්තම්මගෙන්... අත්තම්මා පවුලේ වැඩිමල් කෙනා නිසා අවුරුද්දට හැමෝම අත්තම්මට බුලත් දෙන්න තමයි ඉස්සෙල්ලාම එන්නේ.. ඉතින් කට්ටිය එනකන් දැන් පෙරමග බලාගෙන ඉන්නේ...

      සිරා අයියටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා !!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...