Sunday, October 12, 2014

මහ පාන්දර ඇහුනු හේවිසි සද්දේ...

අද පාන්දර දෙකහමාරට විතර කණ ගාවම වගේ හරි සද්දෙට හේවිසි ගහනවා තුශානිට ඇහෙන්න ගත්තා. ඇසළ පෙරහැරවත් හීනෙන් පේන්න යනවද කියලා හිතුනු නිසාම ඇස් දෙක අරින්නෙත් නැතුව ටිකක් වෙලා එහෙම්මම හිටියත් ම්හු.... මුකුත් රූප පෙනුනේ නැති නිසා හිමීට ඇස් දෙක ඇරලා මොකද්ද මේ සද්දේ කියලා  බලන්න ඕනේ කියලා තුශානිට හිතුනා.  හරියට අර සමහර අය, ටිකක් වෙලා ඇස්දෙක පියාගෙන ඉඳලා නින්ද ගිහින්ද කියලා ඇස් ඇරලා බලනව වගේ.. :-)

ඒත් හේවිසි සද්දේ එක දිගටම ඇහෙනවා... මේ සද්දේ මොකද්ද කියලා දැන ගන්න තියෙන වුවමනාව නිසා කෝකටත් නැගිටලා ගිහින්ම බලනවා කියලා හිතාගෙන ඉතින් තුශානි ඔක්කොම ලයි‍ටුත් දාලා පඩිපෙල දිගේ පල්ලෙහට බැස්සා.. ඔන්න බයෙන් බයෙන් එහෙම නෙවෙයි හරිද.  

"පුතේ ඔයාටත් ඇහැරුනාද.. එහා ගමේ පන්සලේ කඨින පෙරහැර මේ සැරේ අපේ පාරෙනුත් යනවා. ඉක්මනට මුණ ටිකක් හෝදගෙන එන්න පඬුරක් පූජා කරන්න. " 

 සාලේ දොර අරින ගමන් තාත්ත කිව්වහම මාත් ඉතින් ඉක්මනටම ලැස්තිවෙලා පාර ගාවට දුවගෙන ගියා. ඒ වෙනකොටත් පෙරහැරේ මුලින්ම ගිය හේවිසි කන්ඩායම අපේ ගෙවල් පහු කරලා. හරිම විචිත්‍රවත් පෙරහැරකින් කඨින චීවරය පෙරහැරේ වඩම්මගෙන යන විදිහ පැයකට ආසන්න කාලයක් තාත්තත් අම්මත් මමත් මල්ලිත් පාර අයිනට වෙලා බලන් හිටියා.

අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර නම් පවත්වන්නේ හවස් වරුවේ. ඒ කියන්නේ හවස් වරුවේ කඨින චීවරය මුළු ගම පුරාම වඩම්මලා ආපහු කඨිනය බාර ගත්ත ගෙදර තැන්පත් කරලා පාන්දර කෙලින්ම ඒ ගෙදර ඉඳන් පන්සලට චීවරය වඩම්මනවා. කඨින පෙරහැර සංවිධානය කරන්නේ දහම් පාසලේ ළමයි නිසා තුශානිත් පුංචි කාලේ ඉඳලා සෑහෙන වතාවක් ඒ කඨින පෙරහැරේ ගිහින් තියෙනවා. 

ඉස්සර දහම් පාසලේදී හාමුදුරුවෝ අපිට කඨින පිංකම් ගැන කියලා දුන්නේ කඨින පිංකම අනික් පිංකම් වලට වඩා බොහොම සුවිශේෂී පිංකමක් කියලා. අර අට මහා කුසල් වලින් පලවෙනිම එක තමයි කඨින චීවර පූජාව. අට මහා කුසල් දන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නව නම් මේ තමයි ඒ අට මහා කුසල්.
 
1. කඨින චීවර පූජාව
2. අට පිරිකර පූජාව
3. ආවාස ගෙවල් පූජාව
4.  බුදු පාමොක් මහ සඟරුවනට දන් දීම
5. බුද්ධ ධර්මය ලිවීම, ලියවීම, දහම් පොත් බෙදා දීම
6. කෙත් වතු සඟ සතුකොට පූජා කිරීම
7. බුදු පිලිම, චෛත්‍ය, විහාර ගෙවල් සෑදීම
8. වැසිකිලි තනවා පූජා කිරීම 

දන්නවද , කවුරුහරි කෙනෙක් පංචානන්තරීය පාප කර්ම කරලා නැත්නම් මේ අට මහා කුසල් කිරීමෙන් පුලුවන්ලු  ඒ අනික් අකුසල විපාක යටපත් කරලා මේ අට මහා කුසල් වල කුසල විපාක ලබා දෙන්න. ඒ නිසාම ලොකු වුනාම කොහොම හරි මේ අට මහා කුසල් වලින් කීපයක් හරි කරන්න ඕනේ කියන සිතිවිල්ල නම් එදා අපේ පන්තියේ හිටිය කාගේත් හිත්වල තිබුනා. :-)
 
කඨින පිංකම් මේ අනිත් පිංකම් වලින් සුවිශේෂී වෙන්නේ කඨින පිංකමක් කරන්න පුළුවන් එක් විහාරස්ථානයක් අවුරුද්දකට එක වතාවක් විතරක් නිසා . අනිත් පිංකම් නම් අවුරුද්දේ ඕනම කාලේක, ඕනම වෙලාවක, ඕනම තැනක කරන්න පුළුවන්නේ. ඒ වගේම කඨින පිංකමක් කරන්න නම් විශේෂයෙන් උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා ඇසළ පොහොය කිරීම කියන විනය කර්මය කරලා වස් වසන්න සුදුසු ස්ථානයක පෙර වස් සමාදන් වෙන්න ඕනේලු. ඒ විතරක් නෙවෙයි මේ වස් තුන් මාසය පුරාවටම වස් ශික්ෂා පද කඩ කරන්නේ නැතුව භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන්නත් ඕනේ. අවම වශයෙන් කඨින චීවරයක් පූජා කරන්න උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් ඊට සම්බන්ද කරගන්න ඕනේ කියලා තමයි අපිට එදා හාමුදුරුවෝ කියලා දුන්නේ. 

කඨින කියන වචනෙට ස්ථිරසාර බව, නොසැලෙන බව, කම්පා නොවන බව වගේ තේරුම් තියෙනවා. කඨින පිංකමත් මහ පොළව මෙන් කම්පා නොවෙන, මහමෙර මෙන් සුළගින් නොසෙල්වෙන නොබි‍ඳෙන බල සම්පන්න පිංකමක් නිසා කඨින කියන වචනේ ව්‍යවහාර කෙරෙනවා කියලා තමයි එදා කඨිනය කියන වචනේ තේරුම අහපු අපිට හාමුදුරුවෝ කියලා දුන්නේ.  

කඨින පූජා පිංකමේ ආනිසංස ගැනත් හාමුදුරුවෝ මෙන්න මේ වගේ දෙයක් අපිට කියලා දුන්නා.  පිරිසිඳු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් හදලා පූජා කරත් ඒ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවර පූජා කිරීමේ කුසලයෙන් දහසයෙන් පංගුවක් වත් වෙන්නේ නෑ කියලා. ඒ වගේම මහමෙර තරම් උසට තුන් සිවුරු පූජා කලත් ඒ කරන පූජාවත් කඨින චීවර පූජාවෙන් දහසයෙන් පංගුවක් තරම් වත් වෙන්නේ නෑලු.  කඨින චීවරය මහන්න ගහන එක ඉඳි ක‍ටු පාරක් වුනත් සක්විති රජ කම ලබන්න තරම් හේතුවන කුසලයක් කියලත්, මනුස්ස ලෝකේදි නම් උත්තම පුරුෂයෙක් විදිහට උපත ලබන්නත්, උසස් කුලේක ඉපදිලා යස ඉසුරින් පිරිච්ච ජීවිතයක් ගත් කරන්නත්, සමාජයේ කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක් වෙලා තේජස්, කීර්තිය ඇතුව ජීවත් වෙන්නත් මේ පිංකම හේතු වෙනවා කියලත්,   එදා අපි ඉගෙන ගත්තා. 

කඨින පිංකම් ගැන කිව්වත් කඨින පෙරහැර ගැන නම් මුකුත්ම කියන්න බැරි වුනානේ..  ම්... කමක් නෑ. අපේ ගමේ කඨින පෙරහැර තියෙන්නේනේ ලබන සෙනසුරාදා.  ඒ නිසා ඒ කිට්‍ටු වෙලාම තුශානි පුංචි කාලේ දහම් පාසල් යනකොට කඨින පෙරහැරේ ගියපු විස්තරයි වෙනමම පොස්ට් එකකින් කියන්නම්කෝ..

43 comments:

  1. හම්මෙ කඨින පින්කම ....පොඩි අතිතයක් මතක් වුණා ,ඔය වගේ මහා කුසල් වැඩ වලට දැන් යනවාත් අඩුයි ...කොම වුණත් හොද විස්තරයක් පෙරෙහැර ලබන අතියට ..

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... ඉස්සර ගමේම අය එකට එකතුවෙලා මේ දේවල් කලත් අද එහෙම කට්ටිය එකට එකතුවෙලා මේ දේවල වලට සම්බන්ද වෙන්නේ බොහොම කලාතුරකින්..

      කඨින පෙරහැරෙන් පස්සෙම පෙරහැර ගැන කියන්නම්කෝ...

      Delete
  2. හේ හේ මේ දවස් වල මෙහෙත් බරටම වැඩ.. කඨින පින්කමට..

    ReplyDelete
    Replies
    1. එහෙමද ... හොඳයි හොඳයි ...

      Delete
  3. මනං දන්නැතිවම තුශානිත් අපේ ගෙවල් ළඟමවත්ද. මොකද හරියටම පාන්දර දෙකයි ගානකට අපේ ගමෙත් අද ඔය වැඩේම උනා.

    ReplyDelete
    Replies
    1. හැක්! තුශානි අපේ වැයික්කියෙ බොල. කැළණියෙ. :D

      Delete
    2. අපි මර්වින්ගෙ කොල්ලො හරිය!!!!

      කැලණි පෝරිසාදයෝ.

      Delete
    3. @ මනෝෂ් - :-) ඔය තියෙන්නේ ප්‍රියා උත්තර දීලා ..

      මේ දවස් වල හුඟක් පන්සල් වල කඨින පිංකම්.. ඉන්නේ ඈත වුනත් සයිබර අවකාශය නිසා අපි හැම කෙනෙක්ම ලඟ වගේ නේද ...

      Delete
    4. @ ප්‍රියා - කැලණියේ ඉන්නේ පෝරිසාදයෝ කියලා අනිත් අය කිව්වට අපි නම් ඇල්වතුරත් නිවලානේද ප්‍රියා බොන්නේ... :D

      Delete
  4. කඨින නේහ්...හ්ම්...
    පංසල් වත්තෙ ගස් ටික සුද්ධ කරන්න රැට රෑට පොඩි අංචංයක් අදින්න තියෙන හොදම කාලෙ...
    ඉදල හිටල සූස්තියක් ඇද්ද උනුත් ඕන තරං...
    ඔක්කටම වඩා ෆන් එක තමා මිනිස්සු ඇහැරල නැති ගෙවල් තියෙද්දි හය්යෙන් හය්යෙන් සාදු කියන එක...


    ඔව් ඔව්... තව සීන් කොන් වෙනව.. ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න මටත් මතක් උනු ටික. ++++++++++++

      Delete
    2. @ මහේෂ් - හපොයි මෙයත් කරලා තියෙන වැඩ.. හි..හි...

      Delete
    3. @ ප්‍රියා - මතක් වෙච්චි ඒවා කියවෙයි කියලද කට වටේ වැටක් බැඳ ගත්තේ... :D

      Delete
  5. වටින විස්තරයක් තුශානි. අතීතෙ මතක් කරපු සටහනක්.

    ReplyDelete
    Replies
    1. :-) කඨින පිංකම් ගැන දහම් පාසලේදී පුංචි කාලේ ඉගෙන ගත්ත දේවල් ටිකක් තමයි ඔය..

      Delete
  6. මේ දවස් වල කථින පින්කම් බොහෝ තැන්වල නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්... පෝයට කලින් කඨින පිංකම් ඉවර වෙන නිසා මේ දවස් වල හුඟක් පන්සල් වල කඨින පිංකම් තියෙනවා..

      Delete
  7. කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේ පෙර කල පින් ගැන විස්තර කරලා තියෙනවා කඨිනානිසංස ගැන.

    “කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ

    ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

    උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප 30 ක්‌ දුගතියෙන් තොරවූ වුයෙමි.

    අපේ කඨින පිංකම ගිය සෙනසුරාද තිබුනා, හැබැයි තුශානිට මේ ගමන කඨින පිංකම අමතක වෙලා වගේ. :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. කඨින පිංකම කියන්නේ හුඟක් ආනිසංස තියෙන පිංකමක්..

      අමතක වුනේ නෑ.. අපේ ගමේ පන්සලේ කඨින පිංකම ලබන සෙනසුරාදා.. ඒ විස්තර පස්සේ කියන්නම්කෝ..

      Delete
  8. මේ පැත්තෙත් සෑහෙන පන්සල් ප්‍රමාණයක් තියෙන හින්ද පහුගිය සති කීපෙ දවස් තුන හතරක්ම පාන්දර කඨින පෙරහැර වල සද්දෙ ඇහුණා. මෙහෙ එක පන්සලක් තියෙනව, ඒකේ කඨින චීවරය පෙරහැර පවත්වන කෙනාගෙ ගෙදර විතරක් නෙමෙයි දායක සභාවේ හැම කෙනෙක්ගෙම ගෙවල් වල තැන්පත් කරනව එක ගේක එක දවස ගානේ. ඒ ඒ දවසට අදාළ ගෙදර අයගෙ නෑයොත් ගෙදරට ඇවිත් වඳිනවා..

    ReplyDelete
    Replies
    1. ඒ විදිහත් හොඳයි... එතකොට චීවරේට හොඳට වැඳුම් පිඳුම් කරන්න කට්ටියට අවස්ථාව හම්බවෙනවනේ..

      ඒත් ඉතින් ගෙවල් ප්‍රමාණය වැඩි වුනාම ඒ දේ කරන්න ටිකක් අපහසුයි නේද ...

      Delete
    2. ඔව්.. ඒක නම් ප්‍රශ්නයක් තමයි.. සමහරවිට දායක සභාවේ වැඩිපුර ගෙවල් නැතුව ඇති. ඒක town එකෙන් ටිකක් ඈතින් තියෙන පන්සලක්..

      Delete
  9. අපේ ගමේ කඨින පිංකමත් ඊයෙ තමයි තිබුනෙ.පෙරහැර පස්සෙන් ගිහින් තවමත් කකුල් රිදෙනව.

    ReplyDelete
    Replies
    1. :-) ලොකු පිංකමකටනේ දායක වෙලා තියෙන්නේ ඒ නිසා කකුල් රිදෙන එක ගනන් ගන්න එපා ...

      Delete
  10. කඨිනයකට සැහෙන කාලෙකට පස්සේ ගිය සෙනසුරාදා දායක වුනා.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි ඉඳලාහිටලා හරි පිනක් දහමක් කරගන්න ඒක.. :)

      Delete
  11. හා හා එහෙනම් ඒ විස්තරෙත් කියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. හරි.. කඨින පිංකමට දායක වෙලාම ඒ විස්තර කියන්නම්කෝ..

      Delete
  12. අපිට නම් පන්සල් දෙකයි කඨින පිංකම් දෙකයි.. ඩබල් ඩබල් :)

    ReplyDelete
    Replies
    1. :-) එහෙමද ... එහෙනම් වැඩිපුර පින් ටිකක් එකතු කරගන්න පුළුවන් නේද...

      Delete
  13. සාධු සාධූ සාධූ.... .... .... ... .... ....

    අර පන්සලේ එකට යන්න බැරි  උනා හෙම්බිරිස්සාව නිසා.... අනිත් එකටවත් යන්වා ...

    බු දු ස ර ණ යී !!!!

    ReplyDelete
    Replies
    1. :-) හා හා එහෙනම් අනිත් එකට වත් යන්නකෝ.. කොහොම වුනත් මතක ඇතුව ලේන්සුවක් අරගෙන යන්න එතකොට හරි...

      Delete
  14. කඨින චීවරයක් වඩම්මන්න ඕන උදේ පාන්දර කුරුල්ලො ඇහැරෙන්න කලින්ලු. අදකාලේ කොලුකුරුට්ටන්ගෙ අලුගුත්තේරු වැඩ නිසාත් දායකයින්ගේ කම්මැලි කම නිසාත් බොහෝ ප්‍රදේශ වල හවස් වරුවේ පෙරහැර කරනවලු. කඨින පිංකමක් භාර ඇරං කරනව කියන්නෙ මහා වෙහෙස මහන්සියක් වෙන්න ඕනෑ දෙයක්.

    කඪිනානිසංස මතක් කරල තුෂානිත් කර ගත්තෙ අට මහා කුසල් වල 5 වෙනි කුසලයම තමා.

    සාදු සාදු සා..දු
    තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙනවා කොස් කොළ වල න‍ටු පේන්න කලින් කඨින චීවරය වඩම්මන්න ඕනේ කියලා.. කොහොම වුනත් නොයෙක් හේතු නිසා අද කාලේ පාන්දර කඨින පෙරහැරවල් යනවා අඩුයි..

      හැමෝටම දැනගන්න කඨින පිංකම ගැන විස්තර ටිකක් ලියන්නයි ඕනේ වුනේ.. කවදහරි දවසක පුළුවන් කමක් ලැබුනොත් කඨින පිංකමකුත් කරන්න අදහසක් තියෙනවා.. බලමුකෝ නේද :)

      තෙරුවන් සරණයි ඔයාටත්.

      Delete
  15. ඕක සෝබන කඨින පෙරහැරක් නෙමෙයි නේද??

    ReplyDelete
    Replies
    1. :-) නෑ නෑ... බොහොම ශ්‍රද්ධාවෙන් පැවැත්වුනු එකක්..

      Delete
  16. කඨින පෙරහැරවල් ගැන මතක රාශියක් මේ පෝස්ටුව නිසා අවදිවුනා.අපේ අම්ම පාරෙ බෙර සද්දෙ ඇහෙද්දී අපට නිදාගන්න දෙන්නෙ නැතුව ඇහැරවනවා පෙරහැර බලන්න.පාන්දර හොඳට නින්ද යන වෙලාවෙ ඇහැරපුවම හරි කේන්තියි.අම්ම නං කඨින චීවරේ ඉහ තියාගෙනත් යනවා.ඒ අපි කට්ටියම මහගෙදරැ ඉද්දි.
    බෑ බෑ පෝස්ට් එකක්ම ලියනවා.මතකය අවදි කළාට තුශානිට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. :-) හොඳයි හොඳයි... කඨින පෙරහැරවල් ගැන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් එහෙනම් ...

      Delete
  17. පොඩිකාලේ නම් කඨින පෙරහැරේ ගස්ලබු ගෙඩියේ මල් ගහගෙන උස්සන් යනවා. තරුන කාලේ මල් කඩන්න කඨිනෙට යනවා. තුශානි අපේ ගෙවල්ගාව බොන පොරක් හිටියා. පන්සලේ පොඩි හාමුදුරු බට්ටෙක් හිටියා. හරි හුරතල්. අර බොන පොරත් මේ බට්ටාට හරි ආදරෙයි. කඨින කාලේ පොර දෙකක් දාගෙන බුලත් විටකුත් කාගෙන අර පොඩි හාමුදුරුවන්ගෙන් අහනවා "ආ බං කොළුවෝ..උඹලාගේ ඔය වින කටිනේ කවද්දා තියෙන්නේ "කියලා. මට මැරෙන්න හිනා.

    ReplyDelete
    Replies
    1. හි... හි... අරූ මාමාටත් කඨින පෙරහැරවල ගැන ගොඩක් දේවල් කියන්න ඇති නේද ... ලියමුද ඒ ගැන තව විස්තර ටිකක් පෝස්ට් එකකම ..

      Delete
    2. ඔය මනුස්සයා බිව්වාට හරි හොඳයි. අර පොඩි සාධුට හැමදාම ටොෆියක් ගෙනත් දෙනවා, හැන්දෑවට වඩාගෙන ඉන්නවා. ලොකු හාමුදුරුවන්ගේ යාළුවෙක්.

      Delete
  18. සිරා කොලුවා පුංචිම එකා කාලෙ කිරි අම්මා එක්ක කඨින පෙරහැරක ගිය බොදවුන මතකය මට ආයෙමත් මතක් උනා. අපේ පන්සල ගම්මාන කීපයකටම අයිති පිරිවෙනක්...ඒ නිසා එක ගමකට කඨින පූජාවේ භාරකාරත්වය ගන්න ලැබෙන්නෙ වසර ගනනාවකට සැරයක්. මේ වතාවෙ අපේ ගමේ කෙනෙක් ඒ අවස්ථාව ලබාගෙන තියෙනවා කියලා අම්මා කිව්වා. කවදා හරි දවසක මමත් ඒ අවස්ථාව උදා කරගෙන අපේ අම්මලගෙ හිත් වලට සතුටක් ලබා දෙන්න උත්සාහ කරනවා....අපේ පන්සලේ පෙරහැර යන දවසට නම් අපි හන්දියේ කිරි කෝපි බිස්කට් දන්සැලක් හැමදාම දුන්නා...අපේ සීමාව කොඩිවලින් සරසලා විදුලි බුබුළු වලින් අලෝකමත් කලා...මේ කටයුතු වලට ගමේ ක්‍රිස්තියානි හිතවතුන්ගෙන් ලැබුනෙ පුදුමාකාර සහයෝගයක්...පල්ලියේ වැඩ වලට අපිත් ඒ විදියට සහාය ලබා දුන්නා.

    ReplyDelete
    Replies
    1. සිරා අයියගේ ප්‍රාර්ථනය ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා සුබ පතනවා .. :)

      කිතු බොදු සමගිය අපේ පැත්තෙත් බොහොම හොඳින් තියෙනවා..පන්සලේ කඨිනෙට පාරවල් සරසන්න වගේම පල්ලියේ මංගල්ලෙටත් පාරවල් සරසන්න හැම කෙනෙක්ම එක වගේ දායක වෙනවා .

      Delete

Related Posts Plugin for WordPress, Blogger...