Wednesday, June 3, 2015

80. ආවොතින් මයේ පුතා ...




කවුළුවට බර වෙලා  
පුතා එයි දෝ  කියා
අදත් උන්නා   බලා
පාරේ යන අය දිහා

තාම ඉස්සර     වගේද
රාජකාරී           වැඩිද
වෙලාවක්     නැතිවාද
ඇවිත් මෙහි යන්න අද

සැඳෑ සමයේ     ගෙවන
මම වගේ අය      හිඳින
තැන් සැප වුනත් ඉන්න
සුවඳ උඹේ නෑ   ගන්න 

උඹ වගේ           පුතාලා
නිතර මෙහෙ    ඇවිල්ලා
වඳින කොට        වැටීලා
පුතා පෙනෙනවා මැවීලා

ඇහෙත් සුද වැඩි වෙලා
හමත් මයේ රැලි වෙලා
පුතේ මට වෙන්  වෙලා
යන කාලේ ලං   වෙලා

ආවොතින් මයේ පුතා
දැක ගන්න ලං වෙලා
කළු වලා නැති වෙලා
හඳ නැගෙයි හද  පුරා


18 comments:

  1. ෂඃ ..තුෂානිත් කවිකාරියෙක් වෙලානෙ... බර වැඩි කවි වලට වැඩිය මේ සිම්පල් කවි හොදයි..

    ReplyDelete
    Replies
    1. :) පහුගියදාක ඔපීසියේ කට්ටියත් එක්ක වැඩිහිටි නිවාසේකට ගියා. ඒ වෙලේ හිතට ආපු දේවල් ටිකක් තමයි ඔය.

      Delete
  2. සරලයි...සුගමයි...

    ReplyDelete
  3. පුතා ආ දාට
    නැගුනත් මුහුණේ සඳ
    පුතා නා දාට
    අඩන්න එපා අම්මේ හෙලා කඳුළු කැට.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්... ඒත් ඉතින් කඳුළු කැට නොවැටුනත් හිතින් දහස් වාරයක් එයාලා ආඬනවා ඇති.

      Delete
  4. කාලෙකට කලින් මම ලියපු කතාවක් මතක් වුනා.. දැන් ලින්ක් හොයන්න කම්මැලි.

    අද හුඟක් තාත්තලා ඔය දුක උහුලන් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකත් දැම්මා නම් තමයි වටින්නේ...

      ඔව්... අම්මලා අඬලා හරි දුක පිට කලත් තාත්තලා ගොඩක් වෙලාවට කරන්න්නේ ඒ දුක කොහොමහරි දරාගෙන ඉන්න එක.

      Delete
  5. අගෙයි. අම්මා බලන්නට යන්නේ කවදාදැයි සිතමින් සිටින පුතුන්ට මේ කවිය හොඳින්ම දැනෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. මුලින්ම ඔයාව සාදරයෙන් කැකුළු ගොමුවට පිලිගන්නවා...

      :) මේක දැකලා එක්කෙනෙක්ට හරි ගිහින් අම්මව බලල එන්න ඕනේ කියලා හිතුනා නම් ඒක මටත් සතුටක්.

      Delete
  6. //පුතේ මට වෙන් වෙලා
    යන කාලේ ලං වෙලා

    ආවොතින් මයේ පුතා
    දැක ගන්න ලං වෙලා // ඊයම් බරුවක් වගේ හිතට බැස්සා.. වාසනාවට මං එහෙම පුතෙක් නෙවෙයි. නැත්නම් පපුව හිරවෙනවා. මේ කවි ටික එවන් පුතාල හැමෝගෙම ඇස් ගැටේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් කළණ... එක අම්මෙක් හරි සතුටු කරවන්න මේකෙන් පුළුවන් වුනොත් ඒකෙන් මටත් පිනක් සිද්දවෙයි...

      Delete
  7. මොන දුකක් හිතේ දරාගෙන ඉන්න දෙමව්පියොද.වාසනාවට මගෙ අතින් ඒ පව සිද්ද උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. :) ඒක නම් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. බොහොම හොඳයි.

      Delete
  8. ලස්සන කවි පන්තියක්.
    මව්පිය ගුණ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් කියා දෙන්න වෙන කාලයක් මේක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියා... මහළු නිවාස දවසින් දවස වැඩිවෙන යුගයක්නේ මේ.

      Delete
  9. ටිකක් දුක හිතුනා. මේ වගේ අම්මලා තාත්තලා කොච්චර ඇතිද.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන්... අද කාලේ මේ වගේ අය ගොඩක් ඉන්නවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...