Wednesday, October 16, 2013

දවසේ පඩිය...

මලී රාජකාරී කටයුතු ඉක්මනින් ඉවර කරලා කාර්යාලයෙන් පිටත් වුනේ පුලුවන් තරම් ඉක්මනින් ගෙදර යන්න. උදේ ඉදන් රාජකාරී ගොඩකට හිරවෙලා හිටපු ඇය, හවස් වෙනකොට දරන්න බැරි වෙහෙසක් කරපින්නගෙනයි හිටියෙ.

ගොම්මන් වෙලාව කිට්‍ටු කරලා තිබුන නිසාත් සිකුරාදා දිනයක් වෙච්ච නිසාත්, එන එන හැම බස් එකේම ඇගිල්ලක් වත් ගහන්න බැරි තරමට සෙනග පිරිලා.

" මං කොහොමද අද ගෙදර යන්නෙ ....  යනවා තියා බස් එකකට නැග ගන්න වත් බෑනෙ.."

බස් හෝල්ට් එකට එන බස් දිහා බලාගෙන හිටිය මලීට ඉබේටම කියවුනා. ඒත් එක්කම තව හුගක් දේවල් මලීට හිතෙන්න පටන් ගත්තා.

" බහිනවා බහිනවා,, ඔය බඩු මල්ලත් අරගෙන ඉක්මනට බහිනවා,,  "

කොන්දොස්තර කොළු ගැටයෙක් මනුස්සයෙකුට බනිනවා. ඒ සද්දෙට මලී ආපහු පියවි සිහියට ආවා.

පොලිතින් ලොකු බෑග් එකක තව පොඩි පොඩි බෑග් ගොඩක් පුරව ගත්ත මැදිවිය ඉක්මවු  හෙම්බත් වෙච්ච පෙනුමක් තිබිච්ච මනුස්සයෙක් බස් එකෙන් එලියට තල්ලු වෙනවා මලී දැක්කා.

දෙවෙනි කකුල බිමට තියනවාත් එක්කම සෙනග පුරවපු බස් එක ආපහු විදුලි වේගයෙන් ඉගිල්ලුනා. බඩු මල්ලත් එක්ක බිමට තල්ලු වුනු මනුස්සයා මුකුත් හිතාගන්න බැරුව හිටපු විදියටම විනාඩියක් විතර එහෙම්මම හිටියා.

හදිස්සියේම සිද්දවෙච්ච මේ සිද්දිය දිහා බලාගෙන හිටිය මලී අර මනුස්සයා ඊලගට මොකද කරන්නෙ කියලා ටිකක් ඕනෑ කමින් බලන් හිටියා. 

ගත වුනේ නිමේශයයි. මහ පාර මත තබා තිබූ බඩු මල්ල උස්සනවත් එක්කම චරාස් ගාලා ... පොලිතින් උරේ ඉරිලා මුළු පාර පුරාම හාල් ටික  ඉහිරුනා. පුංචි පුංචි පොලිතින් බෑග් වල දාලා තිබුන පරිප්පු, කිරි පිටි, සීනි, තේ කොළ, අල, ළූනු ගෙඩිටික ඒ මේ අතට විසිවුනා.

ගහෙන් වැ‍ටුන මිනිහට ගොනා ඇන්නා වගේ.. සිද්දවෙච්ච දේ අදහ ගන්න බැරුව ගිය මේ මනුස්සයා එක පාරටම මහ හයියෙන් අඩන්න පටන් ගත්තා.

අනේ දෙවියනේ මං බොහොම අමාරුවෙන් අද කුලියක් හොයා ගත්තෙ,, මේ සතියටම අද තමයි අතට කීයක් හරි හම්බ වුනේ ,, දවස් ගානකින් ළමයින්ට බත් කටක් කන්න දෙන්න මම හම්බ කලා .. " යි තමන්ටම මුමුණමින් මහ පාර පුරා විසිරුනු හාල් ටික අතින් එකතු කරන්න පටන් ගත්තා.

ගැහැණියකගේ කදුලකට වඩා පිරිමියකුගේ කදුලෙහි ඇති බර මලී ඉදිරියේ වු මේ සිදුවීම ඇයට පසක් කලා.

දරා ගන්න බැරි දුකකින් ඇස් දෙකේ කදුලු පුරෝගෙන හිටිය මලීට , විදුලි වේගයෙන් ඒ මේ අත බස් යන මේ මහ පාර මැද විසිරී ගිය බඩු ටික ඇහිදින මේ අසරණ මිනිසා, ජීවිතය ගැන හුගක් ගැ
ඹුරු පාඩමක් කියලා දෙනව කියලා මලීට හිතුනා.

" මං මේ මනුස්සයට කීයක් හරි දෙන්න ඕනේ... " 


බෑග් එක ඇරලා පර්ස් එක අතට ගන්න ගමන් මලී කල්පනා කලා.

ඒත් කදුලු  පිරිච්ච ඇස් දෙකෙන් පර්ස් එක දිහා බලනකොටයි මලී දැක්කේ එයා ගාව දැන් තියෙන්නෙ එක රුපියල් සීයේ නෝට්‍ටුවක් විතරයි කියලා. ඒක දුන්නොත් මලීට බස් එකේ ගෙදර යන්නත් බෑ. පාරේ අසරණ වෙච්ච මේ මනුස්සයා දිහා බල බල මලීට අහක බලාගෙන යන්නත් බෑ. මලී කරපින්නගෙන හිටිය වෙහෙස තව තවත් වැඩි වෙලා ඇස් දෙකේ පුරෝගෙන හිටිය කදුලු එක දෙක බිමට වැ‍ටුනා.

" නගින්න මිස් නගින්න ,, අද බස් අඩුයි... " ඒ මලී උදේ හවස නිතර ගමන් කරන බස් එකක කොන්දොස්තර මහතෙකුගෙ හඩ.

එක පාරටම ඇහිච්ච ඒ හඩ නිසා තීරනයක් ගන්න බැරුව හිටිය මලී තවත් දෙපාරක් හිත්න්නෙ නැතුව රුපියල් සීයෙ නෝට්‍ටුව අර අසරණ මනුස්සයගෙ අතේ තියලා බස් එකට ගොඩ වුනා.

මලී නග්ග ගත්ත බස් එක අනිත් බස් එක්ක හරි හරියටම විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙද්දි, බඩු පොදිය තුරුලු කරගෙන සීයෙ නෝට්‍ටුව දිහා බලා ගෙන හිටිය අසරණ මිනිසා නොපෙනී ගියා...

9 comments:

  1. ඔය මනුෂ්‍යයා කම්මැලියෙක් වෙන්න ඇති.. නැත්නම් මේ රටේ රැකියා වල ඒතරම් හිගයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. අදහස් දක්වන්න මේ පැත්තට ආවට බොහොමත්ම ස්තූතියි..

      කොච්චර රස්සා තිබුනත් තමන්ට ගැලපෙන රස්සාවක් හොයාගන්න එක ටිකක් අමරුයි.

      Delete
  2. අපූරු කතාවක්.. ඔය වගේ මිනිස්සුත් අහම්බෙන් හරි හම්බුවෙනවානේ..

    අදයි මේ පැත්තේ ගොඩ වුනේ..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩවුනාට බොහොමත්ම ස්තූතියි..

      Delete
  3. මේ වගේම කෙටිකතාවක් මං අවුරුදු 18 විතර කාලේදී ලිව්වා! ඒකේ නම කුසමුලතා සිනාසුනාය. එතන කුසුමලතා ගාව තියෙන්නේ දෙකයි පනහයි. හැබැයි එයා ඒ සල්ලි හිඟන්නාට දෙනවා. බස් එක ඇත එනවා පේනවා!

    ReplyDelete
    Replies
    1. මේ කතන්දරේ හිඟන්නෙක් නෑ තමයි. වරදවා වටහා ගන්න එපා!

      Delete
    2. නෑ නෑ. වරදවා වටහා ගත්තේ නෑ.

      ස්තූතියි කතාව කියවන්න මේ පැත්තට ගොඩ වුනාට.

      Delete
  4. මලී හොඳ කෙනෙක් !
    අද ඒ වගේ හොඳ මිනිස්සු අඩුයි. තව එකක් තමා අසරණයෝ වාගේ හොරුත් එනවා. උන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මිනිසුන් අතර නොමිනිසුනුත් ඉන්නවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...