Monday, March 30, 2015

73.ගෙඹි ඔපරේෂන් ...

ඉස්සර උසස් පෙළට, සත්ව විද්‍යාව සහ ශාක විද්‍යාව කියලා කොටස් දෙකක් ඉගෙන ගන්න තිබ්බත් අපේ කාලේ වෙනකොට මේ දෙකම එකට එකතුවලා ජීව විද්‍යාව කියලා තනි විශයක් බවට පත් වෙලා තමයි තිබුනේ.  ඉතින් ඒ නිසා සත්ව විද්‍යාවයි ශාක විද්‍යාවයි ගැඹුරින් ඉගෙන ගැනීමේ අවස්ථාව අපිට තිබුනේ නෑ. 

ඒත් අපේ පාසලේ ජීව විද්‍යාව උගන්නන්න එක පන්තියකට ගුරුවරු දෙන්න ගානේ හිටිය නිසා සත්ව විද්‍යාව කොටස් කලින් සත්ව විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ශාක විද්‍යාව කොටස් කලින් ශාක විද්‍යාව කරපු මිස් කෙනෙකුගෙනුත් ඉගෙන ගන්න අපිට හැකියාව ලැබුනා. නිසා සිලබස් එකේ තියෙන දේවල් වලට වඩා අමතර දේවල් ටිකක් ඉගෙන ගන්නත් අපිට පුළුවන් වුනා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම මේ කියන්න යන ගෙඹි ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. 

ඔන්න ඉතින් ඒ වෙනකොට අපි ශරීරයේ පද්ධති ගැන ඉගෙන ගන්න පටන් අරගෙන තිබුනේ. ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, අහාර ජීරණ පද්ධතිය වගේ පිලිවෙලට පද්ධති එකින් එක අපිට ඉගෙන ගන්න තිබුනා. එහෙම පද්ධති ගැන ඉගෙන ගනිද්දී සත්තුන්ගේ මේ පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න වෙනවා. 

" ළමයි,  ඉස්සර නම් අපි ක්ලාස් එකේ කැරපොත්තෙකුයි ගෙම්බෙකුයි කපලා බලනවා. ඒත් දැන් ඒ තරම් ඕනේ නැති නිසා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.  "

" අනේ
මිස්.. අපිත් ක්ලාස් එකේ කැරපොත්තෙකුයි, ගෙම්බෙකුයි කපලා බලමුකෝ.... "


හිතා ගන්න පුළුවන්නේ අපේ කට්ටියගේ හැටි. මිස්ට බෑ කියන්න බැරි තරමට ම කට්ටිය ගෙන හරිම කරදරයක් තිබුනේ ක්ලාස් එකේ සත්තු කපලා බලන්න. ඔය අතරේ අපේ පන්තියේ හිටිය අවිහිංසා වාදී අය නම් කිව්වේ අපිට නම් ඔය පව් වැඩ කරන්න ඕනේ නෑ කියලා. 

" හරි හරි .. සත්තු දෙන්නෙක් හෙට අරගෙන එන්නකෝ. උදේ පීරියඩ්ස් දෙකක් තියෙන නිසා කෙලින්ම ලැබ් එකටම ඇවිත් ඉන්න. මම ඕන කරන දේවල් ටික ලැස්ති කරලා තියන්න කියන්නම්.  " 
  
සත්තු කපන්න ඕනේ කිව්වට කෝ ඉතින් සත්තු ? කවුරුහරි ගේන්න එපැයි කපලා බලන්න. සත්තු කපන්න ආසාව තිබ්බට සතෙක්ව ගේන්න කෙනෙක් නෑ... සතෙක්ව හොයා ගන්න පුළුවන් අයට ගේන්න විදිහක් නෑ. ගේන්න විදිහක් තියෙන අයට සතෙක්ව හොයා ගන්න විදිහක් නෑ. හි..හි..

ඒ දවස් වල තුශානිලගේ ගෙදර ලිඳ ගාව රජ දහන කරගෙන  හිටියා ටිකක් ලොකු ලස්සන ගෙම්බෙක්. තුශානිට එක පාරටම ඌව මතක් වුනත් ඌව මැරෙනවා කියලා දැන දැන ගේන්නේ කොහොමද ? ඒ නිසා ඒ මතක් වෙච්ච එක ටක් ගාල අමතක කරලා හිටියා කවුරුහරි සතෙක්ව ගෙන්න කැමති වෙනකන්.. 




කැරපොත්තෝ ගෙන්න ඕන තරම් කට්ටිය හිටියත් ගෙබ්බෙක් ගේන්න කවුරුවත් කැමති වුනේ නෑ. ඒ නිසා ඉතින් අන්තිමට හිත හදාගෙන අර අමතක කරපු එක ආපහු මතක් කරගෙන "හා එහෙනම් මම ගේන්නම්කෝ... " කියලා වැඩේ බාර ගත්තා.

හා කියලා වැඩේ බාර ගත්තට මොකද ගෙදරින් නම් කීයටවත් කැමති වෙන්නේ නෑ මරණ්න ගෙබ්බෙක් අරගෙන යනවට. කොහොම හරි කැමති කරව ගත්තත් ගෙම්බව අල්ල ගන්නේ කොහොමද ? ඉස්කෝලෙට ඌ ගේන්නේ කොහොමද ? ඔන්න එක එක ප්‍රශ්ණ මගේ ටිකිරි මොලේට එන්න ගත්තා. මොනවා කරන්නද ගේනවා කියලා බාරගත්ත නිසා කොහොමහරි ගෙනියන්නත් එපැයි.

" අම්මේ ... අපේ බයෝ මිස් කව්වා ඉස්සර සුලොජි වලට සත්තුත් කපලා ඉගෙන ගන්නව කියලා " 

"ඔව් ඉතින් උන් ගැන ඉගෙන ගන්නකොට කපලා බලලා ඉගෙන ගන්නවා ඇති. " 

" මේ... අපිටත් කිව්වා සත්තු ගෙනාවොත් ඕනේ කම් කපලා පෙන්නන්න පුළුවන් කියලා. " 

" ඉතින් දැන් ඔයා හා කියලා සතෙක්ව ගේන්න බාරගත්තද ? "  

අපේ අම්මට ටෙලිපති වලින් මම කියන්න යන එක පෙනිලද කොහෙද කෙලින්ම මගෙන් ඇහුවා. ඇයි ඉතින් ඉස්කොලේ මොනාහරි ගේන්න දෙයක් කිව්වොත් හුඟක් වෙලාවට මමනේ බාර ගන්නේ. හි.. හි..

" හොස්ටල් එකේ ඉන්න අයට ගේන්න බෑනේ අම්මේ.. ඈත ඉඳලා බස් වල එන අයටත් ගේන්න බෑනේ.... ඉතින් මම ගේන්නම් කිව්වා. " 

" දැන් මොකෙක්වද ගේනවා කියලා කිව්වේ ? "

" ලොකු සතෙක්ව නෙමෙයි අම්මේ.  මේ..... තරු කැරපොත්තෙක් ගේනවා කිව්වා.. අපේ අර ලිඳ ගාව ඉන්නවා නේද ගෙම්බෙක්. ඉතින් මම කිව්වා මම ඌව ගේන්නම් කියලා.  "

" තාත්තා නම් කීයටවත් කැමති වෙන එකක් නෑ ඔය සත්තු මරණ වැඩේට. මම දන්නෑ තාත්තා ආවහම අහලා බලලා ඕන දෙයක් කරන්න. " 

" ඉතින් අම්මේ අපි ඌව හිතලා මරන්නේ නෑනේ . ප්‍රැක්ටිකල් එකටනේ කරන්නේ. එතකොට පව් සිද්ධවෙන්නේ නැතිවෙයි. අනේ ... අම්මත් කියන්නකෝ තාත්තා අවහම.  " 

ඊට පස්සේ ඉතින් තාත්තා ආවහමත් ප්‍රැක්ටිකල් එකේ වටිනාකම තාත්තට පහදලා දීලා බොහොම අමාරුවෙන් වැඩේට ඇපෘවල් එක ගත්තා. ඔක්කොම හරි වුනත් ගෙම්බව අල්ල ගන්න එක තමයි ඊලඟ ප්‍රශ්ණේ. 

" මේ ... හලෝ...  චූටි වැඩක් කරලා දෙනවද ?  "

" ම්.... ටෝන් එකේ හැටියට නම් ටිකක් බරපතල වැඩක් වගේ. කමක් නෑ. කියන්නකෝ බලන්න. " 

" ඔන්න බෑ කියන්න බෑ....  අර...  ලිඳ ලඟ ඉන්න ගෙම්බාව අල්ලලා මේ පෙට්ටියට දාලා දෙන්නකෝ. අපිට ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකකට.  " 

" ඊයා ... මට බෑ.  " 

" අනේ මල්ලී.. මම හෙට ගේනවා කියලා ආවේ. නැත්තම් ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මට කොහොමහරි මේ වැඩේ කරලා දෙන්නකෝ......  " 

ඊට පස්සේ ඉතින් විසි පාරක් විතර කියලා කියලා කොහොම හරි අර ගෙම්බාවා පොඩි පෙට්ටියකට දාලා ඌට හුස්ම ගන්න පුළුවන් වෙන්න පෙට්ටියේ සිදුරු ටිකකුත් හදලා රෑ ලෑස්ති කරලා තිබ්බා උදේට ඉස්කෝලේ අරගෙන යන්න.
 
යාන්තම් නින්ද යන්න ඇහැ පියවුනා විතරයි මෙන්න ඇහෙනවා අර පෙට්ටියේ ඉන්න ගෙම්බා කෑගහනවා මහ හයියෙන්. ඌ පෙට්ටිය ඇතුලේ දඟලන විදිහ හරියට අර හොල්මන් කතන්දර වල තියෙන භූත බලවේග එලියට එන්න හදනකොට තියෙන්නේ අන්න ඒ වගේ. සද්දෙත් එක්ක පෙට්ටිය දිගටම හෙලවෙන්න පටන් අරගෙන එක පාරටම ටික වෙලාවක් නැවතිලා තිබිලා ආයෙමත් හෙලවෙනවා. කට්ට කරුවලේ තනියම ඉන්නකොට එහෙම ඇහුනහම චුට්ටක් වත් බය හිතෙන්නේ නෑනේ නේද ?  හි..හි...

ඒත් එක්කම තුශානිට මතක් වුනා අර ගෙඹි කුමාරයගේ කතාවත්.. .ඔව් ඔව්... අර හාද්දක් නිසා ගෙම්බෙක්  කුමාරයෙක් වෙච්ච කතාව තමයි. හි..හි... මෙයත් නපුරු මන්තරකාරියකගේ ශාපෙකට ගෙම්බෙක් වුනු කෙනෙක්වත්ද ? ඊයා... ගෙම්බෙක්ට හාදුවක් දෙන්න කොහොම හිත හදා ගත්තද මන්දා... හපොයි තුශානිට එක එක ඒවා හිතෙන්න ගත්තා.



පිස්සුද ඒවා බොරු කතා.... කතා නෙවෙයි, මූ හදිස්සියේවත් උදේ වෙනකොට මැරිලා හිටියෝත් ඔක්කොම පව් ටික මටනේ. කොකටත් කමක් නෑ. නැගිටලා ගිහින් බලනවා කියලා හිතලා හිමීට ඇඳෙන් බිමට බැහැලා පෙට්ටිය ගාවට ගියා. 

පුංචි පෙට්ටියක්නේ... ඉතින් පෙට්ටිය ඇතුලේ හිර වෙලා නිසා ඌ කෑ ගහ ගහ හොඳටම දඟලනවා. පෙට්ටිය ඇතුලේ ගෙම්බා කෑ ගහ ගහ දඟලන විදිහ දැක්කහම තුශානිගේ හිත එකපාරට නැවතුනා වගේ වුනා. කොච්චර හිත හදාගෙන ගිහින් නිදා ගන්න හැදුවක් ඒක කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. කොච්චර දර දඬු හිතක් තියෙන කෙනෙක්ට වුනත් අනිවාර්යයෙන්ම ඒ විදිහට හිතෙන එක හොඳටම ෂුවර් ඒ සද්දෙයි දඟලන විදිහයි දැක්කහම.

අන්තිමට තුශානිම තීරණය කලා ගෙම්බව ආපහු ලිඳ ගාවට ගිහින් දාන්න. ඔව් .. ඒ වෙලේම.

ඊට පස්සේ අම්මවයි තාත්තවයිත් ඇහැරවලා, පෙට්ටිය ලිඳ ගාවට අරගෙන ගිහින් ඌව නිදහස් කලා. අම්මයි තාත්තයිත් ඒකට මුකුත් නොකියන්න ඇත්තේ එහෙම කරනන් එපා කියලා කියන්න තරම් හිතක් එයාලටත් නොතිබුන නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.  

පෙට්ටිය ඇරපු ගමන් ගෙබ්බත් එළියට පැනලා අපහු හැරිලා අපේ දිහා බලලා එයාගේ සුපුරුදු තැනට ගියා හරියට අපි එයාව නිදහස් කරලාට ස්තූති කියනවා වගේ. ඒ වෙලේ හිතට දැනුන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්. " පව් පුතේ.. බලන්න ඌ කොච්ච සතුටෙන් පෙට්ටියෙන් පැනලා ගියාද කියලා" අම්ම මගේ ඔළුව අතගාල කිව්වහම මටත් හිතුනා මම කලේ කොච්චර ලොකු වැරැද්දක්ද කියලා.

මල්ලි නම් උදේ හිනා වුනා අපරාදේ මම ඌව අල්ලලා දුන්නේ කියලා. 

ඉස්කෝලේට යනකොට යාළුවොත් බලාගෙන හිටියා ප්‍රැක්ටිකල් එක කරන්න. කැරපොත්තෙක් ගෙනත් තිබුන නිසා කැරපොත්තව නම් එදා කපලා බලන්න පුළුවන වුනා. ඒත් ෆෝමලින් සුවඳට කැරපොත්තා දඟලපු හැටි දැක්ක අපිට හිතුනේ වෙන සත්තු කපලා බලන්න නම් ඕනේ නෑ කියලා. ඒ නිසා ඊට පස්සේ කිසිම සතෙක් කපලා බලන්න ඕනේ කියලා කවුරුත් බයෝ මිස්ට කරදර කලේ නෑ. 

අපේ අතින් කොයි තරම් සත්තු මැරිලා තිබුනත් දැන දැන සතෙක්ව මරණ එක කොයිතරම් අමාරුද කියන එක අපි හැමෝටම හරියටම තේරුම් ගියේ එදා තමයි.



40 comments:

  1. ලොව පුරා විද්‍යාගාර ඇතුලෙ කෙරෙන පරීක්ෂණ වලට මොන තරම් සතුන් වද වේදනා විඳිනවා ඇත්ද (මිනිසුන්ගේ යහපත උදෙසා)....

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔයාව සාදරයෙන් පිලිගන්නවා කැකුළු ගොමුවට...

      ඔව්... නව සොයා ගැනීම් කරන්න, අත්හදා බැලීම් කරන්න, පරීක්ෂණ කරන්න සත්තු වගේම සමහර මිනිස්සුත් තමන්ගේ ජීවිත පූජා කරනවා.

      Delete
  2. අපේ උන්දැගේ බය නිසාවට කැරපොත්තෝ මරල තියනවා හෙනට , මදුරුවෝ නං අනන්ත මරනවා දැනුත්. වෙන සත්තු නං මරන්නෙ නෑ මම නං. ගෙදර ලයිසන් තුවක්කුවක් තියනවා. ජීවිතේට එක වෙඩිල්ලක් වත් තියල නෑ ඒකෙන්. හැබැයි ඔක්කොම ගලවල සුද්දා කරලා දෙනවා. වත්තෙ රබර් පැළ ඉත්තාවෝ කන එක නවත්තන්න තාත්ත නං උන්ට වැඩේ දෙනවා. හැබැයි ඉත්තෑ මස් කන්නේ නැති නිසා තාත්ත පස්සෙන් යන්න ගමේ එවුං ඕන තරම් ඉන්නවා. කුඹුරට තෙල් ගහන ඒකත් කරනවා. ඒ වැඩෙන් සත්තු දාස් ගානක් මැරෙන එකත් දන්නවා. කූඹි කාමරේ අස්සට රිංගනකොට මෝටීනුත් ගහනවා. වතුරට අහුවෙලා ගහගෙන යන කූඹි ගොඩටත් දානවා. මී මැස්සො පෙට්ටිය ගාව මීමැස්සෝ අල්ලගෙන කන කටුස්සන්ටත් ගහනවා. සමහර වෙලාවට උන් මැරෙනවා. පූසා අල්ලගෙන එන කටුස්සන්ව පූසට ගහල බේරාගන්නවා. වතුරත් පොවලා නිදහස් කරනවා. රෑට වත්තෙ කෑගහන පූසන්ට නිදිමරගාතෙම තුවාල කරන චේතනාවෙන් ගල් වලින් ගහනවා. කුනුගොඩට කන්න එන පූසන්ට කෑමත් දානවා. මිනිස්සුන්ට දහසක් ප්‍රශ්න නිසා එක එක මානසිකත්ව වලින් ගමන් බිමන් යන බව දන්නවා. ඒත් පාරේදී වැරද්දක් උනොත් උන් එක්කම වලිත් දාගන්නවා.
    බයෝ නොකරපු නිසා ඔහොම අත්දැකීම් නෑ. ඕ ලෙවල් කාලේ ඉස්ගේදියෙක්ගේ වලිගෙ අන්වීක්ෂෙන් ලේ ගමන් කරන විදිය බලල ආයෙත් වතුර වළකට දැම්ම මතකයි. මටත් ඔය වැඩේ උනා නම් ඕකම වෙයි. මිනිස්සුන්ගෙ හිත බොහොම වෙනස්. අපි හැබෑටම මොක්කුද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. අපි මොක්කුද කියලා අපිටම හිතා ගන්න බෑ.

      ස්තූතියි හිතන්න දෙයක් එකතු කලාට . :-)

      Delete
    2. සජ්ජා කියපු දෙම තමයි මට කියන්නත් තියෙන්නේ.. තව පොඩ්ඩක් ඕනෙනම් එකතු කරතෑකි..

      තුවක්කුව මානගෙන එන මිනිස්සුන්ට වෙඩි තියල මරල තියෙනවා.. ඒ ගෑනු මිනිස්සුම තුවාල වෙලා වතුරට වැටිල ගිලිල මැරෙන්න යනකොට බෝට්ටුවට අරගෙන තුවාල වලට බෙහෙත් දාල වතුර උගුරක් බොන්න දීල මැරෙන්න නොදී බේරගෙන තියෙනවා..

      Delete
    3. මෙන්න සජ්ජා ප්‍රොෆයිල් පික් එක වෙනස් කරලා.. බලපන්කො මුගේ හැඩ.. තුශානි අහුවෙන්නනම් එපා මූ බැඳලා..

      Delete
    4. හැක් හැක් .. කමියා .. ඇයි බං එදා හැම එකාම කිව්වනේ කලින් පින්තූරෙ බළලා "තෝ නාකියෙක් කියල හිතන් හිටියේ" කියල. නාකි තමා 33ක් කියන්නෙත් .
      අනේ අම්මේ , මේ වැටුන වළ හොඳටෝම ඇති..

      Delete
    5. @ ක.මි. - අවස්ථාව අනුව ඇතිවෙන චේතනාව තමයි. රට වෙනුවෙන් තුවක්කුවක් අතට ගත්ත කෙනෙක් තුල වුනත් සංවේදී මනුස්සයෙක් ඉන්නවා...

      හි..හි... මමත් හිතුවේ වයස ඇති කියලා

      Delete
  3. අයියෝ ගෙම්බෙක් මරණ එක මොකක්ද පොඩි ළමයින්වත් මරන්නේ වඳ පීඳුණු කෙසෙල් මොටයි කපලා දානවා වාගේ!

    ReplyDelete
    Replies
    1. ම්... ඒක පුද්ගලයා අනුව සාපේක්ෂ දෙයක් කියලයි මට හිතෙන්නේ.

      Delete
  4. මාර ගෙබි කේස් එකක්නෙ. අල්ලපු ගෙම්බා ගෙබි කුමාරයෙක් වෙන්න ඇති කියල අපහු ගිහින් දැම්ම නේද. පස්සේ දවසක එයි කියල හික් හික් : P

    මැරිච්ච එකෙක්නම් අවුලක් නැ. ඔහොම දැන දැන මරන එක තම අවුල. එත් ඉගෙන ගන්න ඕව කරලා බල්ලන්නත් එපැයි. ගෙම්බෙක්ට ගහල මරන්නයැ ඔට්ටපාළු ගෙඩිය වගේනෙ .
    "ගෙබ්බත් එළියට පැනලා අපහු හැරිලා අපේ දිහා බලලා එයාගේ සුපුරුදු තැනට ගියා "" කිව්වම මතක් උනේ. කොහොමත් ගෙම්බො එලියට විසිකලොත් ගෙම්බා වැටෙන්නෙ ගේ දිහා බලාගෙනලුනේ .දවසක් ගෙදරට ආපු ගස් ගෙම්බෙක්ට දුන්න කොසු පාරක් උඩින් ගිහින් කැරකිලා වැටුනේ මන් දිහා බලාගෙන. ඊලග ෂොට් එකට කොස්ස් දික් කරද්දී මෙන්න ගෙම්බා එනවා මූණ කෙලින්. . . හරවා පහරක් එල්ල කරලා මග අරව ගත්තා යන්තම්.

    ReplyDelete
    Replies
    1. හි... හි... ඊයා .. කුමාරිකාවෝ කරපු වැඩ නම් මම කරන්නේ නෑ...

      දෙවෙනි කොසු පාරේ විදිහට නම් අනිවාර්යයෙන්ම ඒ ගෙම්බා මැරෙන්න ඇති. :D

      Delete
  5. අපි හිටපු කාලෙ නං ඉස්කෝලෙ දිගට හරහට ගෙම්බො කැපුවා.අරං එන්නේ කවුද කියල දන්නෙ නෑ ලැබ් එකේ අය හොයාගන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන කවූරුහරි ගෙනැත් කැපුවා නම් මේ තරම් නොදැනෙන්නත් ඉඩ තිබුනා. ඒත් මැරෙනවා කියලා දැන දැන සතෙක්ව අරෙගෙන ගිහින් කපලා බලනකොට දැනෙන විදිහ වෙනස්.

      Delete
  6. අපේ කාලෙ තිබුනෙ බයෝලොජි නෙමේ සූලොජි . ගෙම්බෙක් කැපුවා. ගෙනාවෙ කවුද දන්නෙ නෑ.මම නම් මැරුවත් ගෙම්බෙක් ගේන්නෙ නෑ කියන ස්ථාවරයෙ හිටියෙ.කවුරුහරි ගෙනාව. කපන කොට හැබැයි කිසිම කෙනෙක් මැසිවිලි නැගුවෙත් නෑ. අන්තිම මොහොතෙ එක්කෙනෙක් කටුකුටු ගානව ඇහිල මිස් කිව්ව එහෙමනම් තියරි විතරක් කරන්නම් කියල. නෑ නෑ මිස් කියල ශේප් වුනා. කියපු කෙනාටත් හැමෝම රවල බැලුව.
    ගෙම්බෙක් කපන එකනම් සංවේදී තමයි.

    වදුරන් ඌරන් ,හාවුන් ,බල්ලන් වගෙ ලොකු සත්තුන්ට දරුණු වධ දෙමින් කරන පර්යේශන මේ මොහොතෙත් සිදුවෙනව. ඒ වගේම මිනිසුන්වත් මීට දශක දෙකකට පෙර ඒ වගෙ ඒවට යොදා ගත්තා. දෙවන ලොක යුද්දෙදි නාසීන් මිනිසුන් පණපිටින් පර්යේශනවලට ගත්ත හැටි අහල මට අතිවුනේ දැඩි කම්පනයක්.

    හැබැයි මේ ඔක්කොම අපේ සංස්කෘතීන්ට සාපේක්ෂයි.

    ReplyDelete
    Replies
    1. අපේ මිස් නම් පටන් ගන්නකොටම කිව්වා " මම මේක කරන්නේ මේ සතාව නිකන් මරලා දාන්න නෙවෙයි ඔයාලට දෙයක් උගන්නන්න කියලා". ඒ නිසා සතා මැරෙන එක සංවේදීව දැනුනත් මිස් සතෙක් මැරුවා කියන හැඟීමක් අපි කාටවත් තිබුනේ නෑ.

      නාසි මිනිස්සු පණ පිටින් පර්යේශණ වලට ගත්ත විදිහ මමත් පොත් වලින් කියවලා තියෙනවා.

      කිව්වත් වගේ මේ ඔක්කොම අපේ සංස්කෘතීන්ට සාපේක්ෂයි...

      Delete
  7. අපිත් ගෙම්බොයි, කැරපොත්තොයි, තිලාපියොයි කපල තියෙනව. ගෙම්බනං අහල පහලින්ම අල්ලගත්ත එකෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. අහ්... අපිත් ක්ෂෙත්‍ර අධ්‍යයන චාරිකාවකදී කපපු තිලාපියා මාළුවෙක් බැලුවා.

      Delete
    2. ඊයේ අපේ ගෙදරත් තෝර මාලුවෙක් කපල බැලුව.

      Delete
    3. ෂා .... හොඳයිනේ... කෙලවල්ලෝ, දැල්ලෝ, කකුළුවෝ ටිකක් එහෙමත් කපලා බලන්න හෙට අනිද්දට හි..හි...

      Delete
  8. ආත්මාර්ථකාමයේ ප්‍රතිමූර්තිය තමයි මිනිසා. එදා ඒ ගෙම්බ නිදහස් නොකලනම් සමහරවිට තුශානි අදත් ඒ ගැන පසුතැවෙන්න ඉඩ තිබුනා. හැකි.නම් මදුරුවෙක්වත් නොමරා ඉන්න. ජීවිතේට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙයි.

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතේදි හරි එදා ඒ දේ නොකල එක ගැන අද මම සතුටු වෙනවා.

      ඔව්... මදුරුවෙක් වත් නොමරා ඉන්න උත්සාහ කරනවා.

      Delete
  9. "මම සුරතලේට ඇති කරන්නෙ ඉබ්බොයි ගෙම්බොයි" කියන සිංදුව තමයි මතක්වුනේ.
    ජීවිතේ හරි පුදුම දෙයක්.සතෙක් හෝ වේවා,මිනිහෙක් හෝ වේවා හිංඩාවට ලක්කරවන්න හිතන්නේ නැති වුනාට අපේ අතින් කී දාහක් ජීවිත පීඩාවට පත්වෙලා ඇත්ද?ඕවා හිතන කොට පිස්සු වගේ හින්දා හොදම වැඩේ තමයි වැඩිය සීරියස් වෙන්නේ නැතුව ජීවත්වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් කටුස්.. අපි හිතලා නොකලට අපේ අතින් කොච්චර නම් සත්තු මැරිලා ඇත්ද .. වැඩිය සීරියස් වෙන්නේ නැතුව ජීවත්වෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒක හැම වේලාවෙදිම හරියන්නේත් නෑ..

      Delete
  10. සත්තු මරලා පර්යේෂන කොරන එකට නම් විරුද්දයි... තුශානි අක්ක ගෙම්බට යන්න දීපු එකට සතු‍ටුයි.. එක අතකින් ඉතින් ඒ පර්යේෂන කරන්නේ මිනිස්සුන්ගේම සුභසිද්දිය වෙනුවෙන් වෙන්න පුළුවන්..අනේ මන්දා ඔව්ව හිතද්දි පිස්සු වගේ.. ක‍ටුසු කිව්වා හරි ඔව්ව ගැන වැඩිය හිතන්න හොඳ නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්.... දෙපැත්තම තියෙනවා. චේතනාව අනුව තමයි කරන්නේ පවක්ද පිනක්ද කියලා තීරණය වෙන්නේ.

      Delete
  11. මම නම් හිතුවෙ ගෙම්බ ඉවරයි තමා කියල. කොච්චර පොඩි සතෙක් වුනත් මරණවා තියා මැරෙන හැටි බලන් ඉන්නවත් පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔව්... අපේ සමහර යාළුවෝ නම් කලින්ම හිතුවලු මම ගේනවා කිව්වට මරණ්න නිසා ගේන්නේ නැතිවෙයි කියලා.. :-)

      Delete
  12. සතෙක් විශාල වෙන තරමට ඌ මරණ එක අමාරුයි වගේම ඌ වැඩි වෙලාවක් විඳවනවා. අනෙක් අතට මදුරුවො, කැරපොත්තො වගේ අපට කරදරකාර සතෙක් මරණ එකත් ඒ තරම් අමාරු නෑ. ඒ නිසයි කැරපොත්තාට ගෑණු ළමයි එක්ක ඉන්න වාසනාව ලැබුණෙත් ගෙම්බට ඒක නොළැබුණෙත්.
    අපි දෙන්නම ගෙම්බො කැරපොත්තො කපලා තියෙනවා. අපේ ලොකු අක්කලගෙ කාලෙ මීයොත් කපාලා තියෙනවාලු. උණු කරපු ඉටි තැටියක අලවලා තමා දෙන්නෙ ගේම. උන්ව ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් දාපු බෝතලේක තියලා නිර්වින්දනය කරලා කපන්නෙ. නහී භික්ඛවෙ වේදනාහං වදාමි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. සතෙක් විශාල වෙන තරමට ඌ මරණ එක අමාරුයි වගේම ඌ වැඩි වෙලාවක් විඳවනවා. ඒ කොහොම වුනත් කොයි සතාව හරි ඉතින් මැරෙනවා කියලා දැන දැන ඉටි තැටියක අලවලා,ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් අල්ලනකොට මොනවා හිතෙනවා ඇත්ද ..

      Delete
    2. උන්ව ක්ලෝරොෆෝම් තවරපු පුලුං කෑල්ලක් දාපු බෝතලේක තියලා නිර්වින්දනය කරලා උණු කරපු ඉටි තැටියක අලවලා තමා දෙන්නෙ ගේම (කපන්නෙ). නහී භික්ඛවෙ වේදනාහං වදාමි. ආතල් එකකින් කලා නෙමේ තූශානි, මේක අපි පාවිච්චිකරන භාෂාවෙ තියෙන නොසන්ඩාල කම.

      Delete
    3. ඇත්තම කියනවා නම් ක්ලෝරොෆොම් අල්ලපු විදිහවත්, ඉටි තැටියේ හයි හරපු විදිහවත් මම හරීයට බලාගෙන හිටියේ නෑ.. කඳුළු ග්‍රන්ථි ඇක්ටිවේට් වෙලා බොඳ වෙලා වගේ තමයි ඔක්කොම පෙනුනේ. හි..හි...

      Delete
  13. මමත් ඉස්සර ගෙම්බෝ කපලා තියෙනවා.ඒ විතරක් නෙමේ ගොඩක් ඔය කැරපොත්තෝ,මීයෝ එතකොට මදුරුවෝ,මැස්සෝ වගේ සත්තු මරලා තියෙනවා.පව් කියලා හිතිලාත් තියෙනවා.එත් මරනවා.නැතිනම් සමහර විට ඒ වගේ සත්තු නිසා අපිට වෙන අවදානමක් ගන්න වෙන නිසා.
    චේතනාව තමයි දරුවෝ ඔතන බලපාන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර සත්තුන්ගෙන් වෙන අවදානම නිසා උන් මරණ්න වෙනවා. හ්ම්..හ්ම්... චේතනාව තමයි..

      Delete
  14. පරික්ශණාගාර වල ඔයිට වඩා වද දීලා කොච්චර සත්තුන්ව මරලා දානවද එල අතකට බලද්දී..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒකනම් එහෙම තමයි.

      Delete
  15. කොච්චර හොඳද තුශානි ඔයා ඒ ගෙම්බව නිදහස් කරපු එක. නැත්තම් ඔයා අදටත් පසුතැවෙයි ඒ ගැන...

    ReplyDelete
    Replies
    1. ඔව් සිතු.. හැමදාටම පසුතැවෙන්න වෙනවා.

      Delete
  16. කතාව මේ විදියට අවසාන වෙච්ච එක ‍ගැන මම ගොඩාක් සතුටුයි. ඔයාලා එදා අර ගෙම්බව පරීක්ෂණාගාරයෙදි කැපුවා කියලා ලියලා තිබ්බා නම් මම බොහොම කණගාටු වෙනවා.

    මැලේසියාවෙ චීන අවන්හල් ඇතැම් එකෙක පණ පිටින් ගෙම්බො / මාළු / කකුළුවො / ඉස්සො වගේ සත්තු තියාගෙන ඉන්නෙ. සමහර වෙලාවට ටැංකියෙ පිහිනමින් ඉන්න මාළුවා ගණුදෙනුකරුවා විසින් පෙන්වන්නෙ. ක්ෂණිකව ආහාරයක් බවට පත් කරලා දෙනවා. නමුත් අපි කවදාවත් ඒ ක්‍රමය පාවිච්චි කරන්නෙ නෑ.

    මගේ හිත වඩාත් සසල කල පින්තූරයක් මට තවමත් මතකයි. පරීක්ෂණාගාරයක් ඇතුලෙ අත පය බැදපු චිම්පන්සියෙක්. එයාගෙ ඇහැට මොනවා හරි වත්කරලා එක ඇහැක් ගොඩාක් ඉදිමිලා. අනේ ඒ සතා අසරණ විදියට බලාන ඉන්නවා. මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද..මම එදා පුදුම විදියට කලකිරුනා. ඇස් වලට කදුළු ආවා.

    ReplyDelete
    Replies
    1. :) ගෙඹි ඔපරේෂන් කියලා දාල තිබුන නිසා මැරුවා කියලා හිතන්න ඇති නේ...

      පණ පිටින් ඉන්න සත්තු මරලා කන්න ගල් හිතක් තියෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. චිම්පන්සියාගේ කතාව කියවලා මගේ ඇහැටත් කඳුලක් ආවා. ඒ සිදුවීම දැක්කහම දැනෙන දුක හිතා ගන්න පුළුවන්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...