මීට ටික දවසකට කලින් උදේක තුශානි ඔපීසියට එන්න ඔපීසි බස් එක එනකන් පාර අයිනට වෙලා ටිකක් වට පිට බල බල ඉන්නකොට, හදිස්සියෙම වෙනදට නැති රතු මල් පිරුණු ගහක් ඈත තියෙනවා දැක්කා.
" ම්... මම මේ ගහ කලින් දැක්කේ නෑනේ... හැමදාම බස් එක එනකන් වට පිට බල බල ඉන්න මම ඕක නොදැක්කේ කොහොමද..... " කියලා තුශානිටම කියා ගන්න ගමන් ටිකක් ඕනෙ කමින් ගහ දිහා විපරම් කරලා බැලුවා.
ඒ ගහ දිහාවට තුශානිගේ හිත කොයි තරම් ඇදිලා ගියාද කියනව නම් හරියට අර පාරේ යන බස් එකකට දුවලා දුවලා ගිහින් නගින තරම් වේගෙන් ගහ ලඟට දුවගෙන ගිහින්ම ඒ ගහ මොකද්ද කියලා බලන්න තරමට තුශානිට ඒ ගැන දැනගන්න ඕන කමක් ඇති වුනා. ඒත් ඉතින් එහෙම කරන්න පුළුවන්ද මේ උදේපාන්දර, ඊටත් සාරියක් පටලවගෙන. ඒ නිසා ගහ පැත්තට මහ කෝණයක් වගේ නැවිලා, ටිකක් එහෙට මෙහෙට වෙලා දෘෂ්ඨි පථය ගහට කේන්ද්‍ර කරලා හොඳට බැලුවා මොකද්ද ඒ ගහ කියලා. හි.. හි..
අන්න එතකොට තමයි තුශානිට පෙනුනේ ඒ ගහ වෙන මොකක්වත් නෙවෙයි එරබදු ගහක් කියලා. දන්නේම නැතුව අවුරුද්දත් කිට්ටුවටම ඇවිත් නිසා එරබදු ගහත් මල් වලින් පිරිලා දෙවනි දවසට සැරසුණු මනමාලියෙක් වගේ තමයි පෙනුනේ.
ඉතින් ඒ ලස්සනට තුශානි ආස කලා නිසා, එරබදු ගහ ගැන විස්තර ටිකක් හොයලා බලන්න ඕනේ කියන අදහස තුශානිට ආවා.
ඔන්න බලන්නකෝ තුශානි හොයා ගත්ත දේවල්.
එරබදු ගහ උද්භිද විද්‍යාත්මකව හදුන්වන්නේ එරිත්‍රිනා ඉන්ඩිකා (Erythrina indica) කියන නමින්. දන්නවද එරබදු මල් එරබදු කියන නමින් විතරක් නෙවෙයි රක්ත පුෂ්ප, පාරිභද්‍ර වගේ නම් වලිනුත් හදුන්වලු.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ වැවෙන එරබදු ගහ ඉන්දියාව, බුරුමය, මලක්කාව ආදී රටවලත් ව්‍යාප්ත වෙලා පවතිනවා. අපේ රටෙත් පහතරට ප්‍රදේශවල හා වෙරළාසන්න ප්‍රදේශවල අනිත් පැති වලට වඩා සුලබව එරබදු ගස් දකින්න පුළුවන් කියලා තමයි තුශානිට දැන ගන්න ලැබුනේ.
එරබදු ගහ ගැන කතා කරනවා නම් සාමානයයෙන් අඩි 10-11 ක් පමණ උසට තමයි එරබදු ගස් දකින්න ලැබෙන්නේ. ගහේ කදේ, අතුවල සියුම් කටු ගතියකුත් දකින්න පුළුවන්.
පෙබරවාරි මාසයේ අග වෙනකොට එරබදු ගස්වල කොළ හැලිලා . මාර්තු මාසය වෙනකොට මල් හට ගන්න පටන් ගන්නවලු.
එරබදු
විශේෂ 2 ක් දකින්න තියෙනවා කියලත් තුශානිට දැන ගන්න ලැබුනා.
ඒ යක් එරබදු හා වල්
එරබදු ලෙස. යක් එරබදු වියළි ප්‍රදේශවල ගං ඉවුරු අසබඩ බහුලව දකින්න ලබෙනවා
වගේම ඒවායේ මල් පිපෙන්නේ ජනවාරි මාසයේ දිලූ.
මේ තමයි වටිනාම කාරනේ. ඒ එරබදු ගහේ හැම කොටසක්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි කියන එක.
එරබදු කොළ මැල්ලුම කිරිපණු රෝගයට බොහොම හොඳ ඔසුවක්ලු. රාත්‍රියට එරබදු දලු ව්‍යංජනයක් ආහාරයට ගැනීමෙන් සුව නින්දක් ලැබෙන බවත් අපේ පැරණි මුතුන් මිත්තෝ විශ්වාස කරනවා.
එරබදු කොළ පොල් සමග කොටලා කබලේ රත්කර බැන්දහම හන්දි ඉදිමුම සමනය වෙනවා කියලත්, එරබදු ගහේ පොතු තැම්බූ වතුර තුවාල සෝදන්නත් ගන්නවා කියලා පරණ පොත පතේ සඳහන් වෙනවා.
ඉතින් එරබදු ගහ අවුරුදු අරගෙන එනවා වගේම ගහක් විදිහට බොහොම වටික ගහක්
කියලත් මේ කාරණා ගැන හිතුවහම පැහැදිලි වෙනවා. එහෙම බැලුවහම ගෙදරක එරබදු
පැලය හිටවා ගන්න එකත් හරි වටිනවා කියලයි තුශානිට හිතෙන්නේ. එහෙම නේද ?
ප.ලි. - පින්තූර අන්තර්ජාලයෙන් ~
තුශානි ලියපු අවුරුදු පෝස්ට්
-------------------------------
ඕන් අක්කේ මාත් ආවා... එරබදු ගැන ගොඩක් දේ දැනගත්තා ඔයාගේ පෝස්ටුවෙන්....
ReplyDeleteමල් පිරුණු එරබදු ගහක් ඇහැට ප්‍රිය දසුනක් තමයි අක්කේ....
නිර්මාණිව ආදරයෙන් පිළිගන්නවා කැකුළුගොමුවට. බොහොම ස්තූතියි..
Deleteඔව්.. මල් වලින් පිරිලා තියෙනකොට හරිම ලස්සනයි...
ඉස්සර අපි හිටපු රත්මලානේ ගෙදර පිටිපස්සේ එරබදු ගහක් තිබ්බා.පොඩි ළමයි වැටිලා ඔය නළල,ඔලුව හෙම ගෙඩි ගැහුනම එරබදු කොළ වලින් පොට්ටනියක් හදලා එකෙන් අර ගෙඩි ගැහුන තැන තවනවා.(මේ කමෙන්ට් එක ටයිප් කරනකොට මට ඒ එරබදු කොළවල සුවඳ නහයට දැනෙනවා දැනෙනවා වගේ.)
ReplyDeleteගහේ මල් පිපුනම හරිම ලස්සනයි. දෙවැනි ගමන යන්න ඉන්න මනමාලියෙක් වගේම තමයි.
එහෙමද.. ඒ වගේ අත්දැකීමක් මට නෑ... :(
Deleteඔව්.. රතු පාට නිසා හොඳට කැපිලා පේනවත්නේ.. හරිම ලස්සනයි...
එරබොදු මල් ලස්සනයි..
ReplyDeleteඔව්... අවූරුද්ද ලස්සන කරන්නලුනේ එරබදු මල් පිපෙන්නේ..
Deleteසකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ..
ReplyDeleteනිදිමත නැති වී හිරු පායා ඇත උමතු ලෙසින් මහ රෑ යාමේ..
අමිල කාලේකින් මේ පැත්තේ... ඔය සින්දුවකුත් මතක් වෙලා තියෙන්නේ හි..හි..
Deleteමමත් එරබදු ගහක් දැක්කෙ ගොඩක් ලොකු වුණාට පස්සෙ.. පොඩි කාලෙදි අහල විතරයි තිබ්බෙ දැකලා තිබ්බෙ නෑ.. හැබැයි තුශානිගෙ පෝස්ට් කෙන් නම් ගොඩක් දේවල් දැනගත්තා එරබදු ගැන..
ReplyDeleteබොහොම ස්තූතියි සිතූ...
Deleteවටින ගහක් නිසා කට්ටියට ඒ ගැන දැන ගන්නයි පෝස්ට් එක ලිව්වේ...
සෑහෙන්න කාලෙකින් මගේ හිතේ අන් තුශානිගේ පැත්තට ගොඩ වැදුනේ, මතක හැටියට අර පුංචි සිත්තරෙකුගේ පින්තුර කතාවක් බැලුව එයා වෙසක් එකට ඇඳපු තොරණක. ඉතින් එයා හොඳින් ඉන්නවද? :)
ReplyDelete//රාත්‍රියට එරබදු දලු ව්‍යංජනයක් ආහාරයට ගැනීමෙන් සුව නින්දක් ලැබෙන බවත් අපේ පැරණි මුතුන් මිත්තෝ විශ්වාස කරනවා.//
ඔන්න ඕව නම් කවන්න ඕන කට්ටිය ඉන්නවා මට නම්, අඩේ ඕක ඔහොම නම් මමත් එරබදු ගහක්ම කනෝ. :D වටින පොස්ට් එකක්. අමතක කරපු ගහක් ගැන.
අර අන් කෑල්ල බලධාරියා විසින් කපා හරින ලදී. හැක්
Delete/ අන් / හනේ හනේ ... කාලේකින් ඇවිත් කියන කතා....
Deleteඔව්.. එයා හොඳින් .. එයාලා අලුත් ගෙදරකට ගියානේ... ඉතින් ටිකක් ඈතින් තමයි දැන් ඉන්නේ ...
හිතේ ලෙඩක් තියෙනකොටත් ඔහොම නින්ද යන්නේ නෑ තමයි... හි.. හි... තැන්කූ සොමියෝ...
//"එරබදු කොළ මැල්ලුම කිරිපණු රෝගයට බොහොම හොඳ ඔසුවක්ලු."//
ReplyDeleteඇත්තද ? එහෙනං ඔයින් ටිකක් බස්සිට හදලා දෙන්න
ඉන්න මම බස්සිට කියන්න.
Deleteමේ... කෝකටත් ඔයත් එරබදු කොළ ටිකක් හොයලා තියා ගන්න අර මනෝජ් කිව්ව විදිහට පොට්ටනියක් හදලා තවන්න ;)
//ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ වැවෙන එරබදු ගහ ඉන්දියාව, බුරුමය, මලක්කාව ආදී රටවලත් ව්‍යාප්ත වෙලා පවතිනවා. අපේ රටෙත් පහතරට ප්‍රදේශවල හා වෙරළාසන්න ප්‍රදේශවල අනිත් පැති වලට වඩා සුලබව එරබදු ගස් දකින්න පුළුවන්//
ReplyDeleteඑපමණක් නෙවෙයි තුශානි ලොස් ඇන්ජලීස් වලත් පාර දෙපැත්තෙ මල් පිපුණු එරබදු ගස් බහුලව දකින්නට පුළුවනි.
අහ්.. එහෙමද... ලස්සනට ඇති නේද එහෙනම්
Deleteමේ තරම් විස්තරයක් දරනන් හිටියේ නෑ නොව... වටිනවා තුශෝ
ReplyDelete:) මාත් කලින් මේ විස්තර දැනගෙන හිටියේ නෑ... හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන නිසයි පොස්ට් එකකින්ම විස්තර කිව්වේ..
Delete