Monday, May 12, 2014

අපායේ යන පාර ...

සාමාන්‍යයෙන් කවුරුහරි කොහේහරි ගමනක් යන්න කතා කලොත් අපි හුඟ දෙනෙක් බොහොම කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ද වෙන්නේ. වෙනදාට උදේ පාන්දර  නැගිටින්න වුනාම තව ටිකක් වෙලා කොට්ටෙත් තුරුළු කරන නිදා ගන්න තිබුන නම් හොඳයි කියලා හිතුනත් එදාට එහෙම හිතෙන්නේ නැති එ හරි පුදුම සහගතයි..  

ඒත් කවුරුහරි අපායේ යන්න කතා කලොත් එයා අපිට කොයිතරම් හිතවත් කෙනෙක් වුනත් අපි එයත් එක්ක යන්න කැමති වෙන්නේ නෑනේ.. ඒ නිසා ඔන්න මම අපායේ යන්න එන්න කියලා නම් කතා කරන්නේ නෑ... ගිහින් බලලා එන්න කැමති කෙනෙක් ඉන්නව නම් යන පාරයි, යන්න අකමැති අයට පින්තූර ටිකකුයි, විස්තර ටිකකුයි කියන්න තමයි අද පෝස්ට් එක ලියන්නේ..




මෙන්න මෙහෙමයි අපායට යන්නේ...  

අපායට යන දොරටුව පිහිටලා තියෙන්නේ ලෝක සිතියමේ ඉරානෙටයි ඇෆ්ගනිස්තානෙටයි ටිකක් උඩින් තියෙන තුර්ක්මෙනිස්ථාන (Turkmenistan) කියන රටේ. තුර්ක්මෙනිස්ථානයේ කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze ) වල. ඔය පහලින් පෙන්නලා තියෙන්නේ හරියටම තැන..



තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතින් තමයි මේ ඩර්වේස් ගම්මානය තියෙන්නේ.. ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.




ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමුදර්යා ගංගාව හා කිසිල්කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා. ඒ කියන්නේ කැස්පියන් මුහුදට නැගෙනහිරින් තමයි ඩර්වේස්  පිහිටලා තියෙන්නේ..

මේ ප‍්‍රදේශයේ විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි තියෙනවා කියලා හොයාගෙන තියනවා.





සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා කියලයි දැනගන්න ලැබුනේ.





මේ ඉන්නේ අපායේ යන්න ලැස්තිවෙන අය..



 

2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කකුත්  නොවෙයි.




ඔන්න ඉතින් අපායේ යන්න අදහසක් එහෙම තියෙනව නම් ඔන්න අපායේ දොරටුව තියෙන තැනයි, පාරයි කිව්වා.. 

අර වෙසක් තොරණ්වල, රූකඩ වල, හොල්මන් මන්දිර වල තියෙන කටු ඉඹුලයි, ලෝ දිය හැලියයි, අපායේ ගිහිල්ල ඉන්න කට්ටියයි බලන්න නම් දොරටුවෙන් ඇතුලට යන්නම වෙනවා. :) 


ප. ලි. - පින්තූර සහ සියළු විස්තර අන්තරජාලයෙන්... 

Wednesday, May 7, 2014

යකඩ යකා එක්ක අතීත සවාරියක්...

පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර යකඩ යකා ගැන කතා බහ වුන නිසා යකඩ යකා එක්ක බැදිච්ච ටිකක් දුර්ලභ ගනයේ පරණ පින්තූර ටිකක් කට්ටියටම බලන්න බ්ලොග් පිටු අතරට එක් කරන්න ඕනේ කියලා තුශානි හිතුවා .. 

ඊ මෙල් එකකින් තමයි මේ පින්තූර ටික ලැබුනේ...  බලන්නකෝ...


1894 දී ඔහිය දුම්රියපොළ අවට ප්‍රදේශය.. 




1910 දී කඩුගන්නව දුම්රිය මාර්ගය... 





1860 දී කොළඹ - නුවර  දුම්රිය මාර්ගය ...












1894 දී ගිංතොට දුම්රිය පාලම ...


1890  දී පොතුහැර දුම්රිය පොළ ...




Wednesday, April 30, 2014

මැයි පළවෙනිදාවේ මගේ මතකය...



හෙට මැයි පළවෙනිදාව. එහෙමත් නැත්නම් ලෝක කම්කරු දිනය. ඉස්කෝලේ යන කාලේ නම් මැයි පළවෙනිදාව කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරයි. ටිකක් වැඩිපුර නිදාගන්න, අහල පහල යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, ගෙදර අයත් එක්ක දවස ගෙවන්න ලැබෙන නිවාඩු දවසක්.. මොකද උපකාරක පන්ති වුනත් එදාට නෑ නේ..  ඒත් අද වෙනකොට අපි, ඒ කාලේ පහුකරලා ‍රැකියාවක් කරන කම්කරු පන්තියට එක් වෙලා හමාරයි. ඉතින් ඒ කම්කරු පන්තියේ තවත් එක සාමාජිකයෙක්, සාමාජිකාවක් විදිහට කම්කරු දිනය දිහා ඉස්සර බලපු විදිහට බලන්න අපිට දැන් පුළුවන් කමක් නෑ... 

ඒ නිසාම කායික ශ්‍රමය වගේම මානසික ශ්‍රමයත් යොදවල අවු වැසි, බාදක කම්කටොළු මැද ජීවන සටනට උරදෙන සියළුම කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්ට ජීවන ගමන සාර්ථකව ඉදිරියට පියමනින්න ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන්න තුශානි මේක අවස්ථාව කරගන්නවා...

මැයි පළවෙනිදාව කිව්වහම තුශානිට අමතක නොවන තවත් එක සිදුවීමත් තියනවා..  මම විතරක් නෙවෙයි ඒ මැයි පළවෙනිදාවේ අඳුරු මතකය අත්විඳින්නට ලැබුනු අය තවත් බොහෝමයක් ඇති.

එදත් දැන් වගේම කම්කරු දිනය සමරන්න කට්ටිය ලක ලැහැස්තිවුන දවසක්..  තුශානි ඒ වෙනකොට හුඟක් පුංචි නිසා ඒ ගැන ලොකූ මතකයක් නෑ. ටීවී එකෙන් රේඩියෝ එකෙන් එහෙම මොකද්දෝ තියනව කියලා අහල තිබුනත් ඒ ගැන තේරුමක් නම්  තිබුනේ නෑ.. අම්මගේ සාරියකුත් ඇඳගෙන, අඩි උස සෙරප්පු දෙකකුත් දාගෙන පෙර පාසලේ ටීච වගේ බෝනික්කොන්ට අකුරු උගන්නපු එක තමයි තුශානි ඒ දවස්වල වැඩිපුරම කලේ..  ඔන්න ඔය අතරේ එක පාරටම අපේ  මාමා කෙනෙක් කියාගෙන ආවා "අන්න බෝම්බයක් පුපුරලා.. කට්ටිය හුඟක් මැරිලාලු කියලා... තවත් මොන මොනවදෝ විස්තර ටිකකුත් කිව්වා.

ඒක අහල අපේ අම්මයි තාත්තයිත් හුඟක් කලබල වුනා... අම්මා මාවයි මල්ලිවයිත් තුරුළු කරගෙන හොඳටම අඬන්න ගත්තා.. හිනා වෙවී ලස්සන හීන දැක දැක නිදාගෙන හිටිය මල්ලි අම්ම අඬන සද්දෙට ඇහැරිලා අඬන්න පටන්ගත්තා. "බෝම්බයක් පිපිරුන එකට ඇයි අම්ම මෙච්චර අඬන්නේ" ඒ විදිහට අම්ම අඬනවා මීට කලින් දැකල නොතිබ්බ නිසා මම පුදුම වෙලා අම්මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය මට අදටත් මතකයි..  තවත් අම්මා අඬන විදිහ බලාගෙන ඉන්න බැරුව මමත්  අම්මට තුරුළුවෙලා හොඳටම ඇඬුවා.. ඒ අතරේ තාත්තා අපිට ඉන්න කියලා ඉක්මනට ලෑස්තිවෙලා කොහේදෝ ගියා. 

ටික වෙලාවකින් තාත්තා ආවේ උදේ ගමක් ගියපු අපේ ආච්චියි සීයයිත් එක්ක..  අපි පාර දිහා බලාගෙන උන්නු නිසා ඒ ගොල්ලෝ එනවා  ඈත තියාම දැක්කා. අම්ම ඉක්මනටම කඳුළු පිහිදගෙන ලොකූ හුස්මක් ගත්ත විදිහ කඳුළු වලින බොඳ වෙච්ච ඇස් වලින් වුනත් මම දැක්ක විදිහ තාමත් මැවිලා පේනව වගේ.. 

"අපි බේරුනේ අනූ නමයෙන්... ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් වුන නිසා අපි පෙල පාලිය පටන් ගන්න කලින් ආවා.. " කියාගෙන සීයා ගෙට ගොඩ වුනා ...   ආච්චිත් සීයත් එදා ගිහින් තිබුනේ ඒ බෝම්බය පූපුරපු තැන ආසන්නයේ පිහිටි තැනක සීයගේ යාළුවෙක් හම්බවෙන්න. 

එදා පුංචි හිතට මේ දේවල් හරියට නොතේරුනත් ඒ සිදුවීම අදටත් මගේ මතකයේ ඡායාවක් විදිහට තියෙනවා.. ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ තවත් විශාල පිරිසකගේ ජීවිත බිලි ගනිමින් එදා ඒ බෝම්බය අඳුරු මතකයක් අතීතයට එක් කලා කියන එක පස්සේ කාලේක තමයි හරි හැටි තේරුම ගත්තේ. ඒ අඳුරු මතකයට හෙටට වසර 21 වෙනවා .. 

පස්සේ කාලෙක සීයා අපිව දාලා නො එන ගමනක් යන තුරාවටම මැයි පළවෙනිදාවේ මේ සිදුවීම හැම අවුරුද්දෙම අපි මතක් කලා.. කොහොමවුනත්  හෙට ඉස්සර වගේ ඒ ගැන කියන්න සීයා අපි ලඟ නෑ.  ඒ ගැන හිතෙනකොට හිතට ලොකු දුකක් දැනෙනවා..

Wednesday, April 23, 2014

ගීයේ හිමිකරුවා ඔබයි ...



  ජීවිතයේ සොඳුරු කවියේ
 විසිරුණු පද වැල් එක් කොට
පද වැල් එකිනෙක ඇමිනූ
මනහර රන් පන්හිඳ ඔබ

වයලීනයේ සුසර තතට
අතැඟිලි ගැටෙනා තාලේට
මැවුනු සප්ත ස්වර රටාවේ
සොඳුරු මියුරු තනුවකි ඔබ

හඬ ගා ගී රාව දෙන්න
 පද වැල් තනුවට ගයන්න
ආදරයෙන් හුස්ම පෙවු
  මධුර ගීත ස්වරයයි ඔබ 

මිණි කිංකිණි හඬ අතරේ
පා තබනා හැටි තාලෙට
කියාදෙමින් වාරු දුන්නු
යෝධ බලැති ශක්තිය ඔබ
 
වෙයි නම් සුමිහිරි ගීයක්
පද වැල් තනු පදමට මුසු

ඒ සැමටම මුල් ගල වු
ගීයේ හිමිකරුවා ඔබයි ...

Monday, April 14, 2014

අලුත් අවුරුද්දේ රබන් පදයක් කියන්න එමුද මේ පැත්තට ....



මුලින්ම ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද 
සාමය සතුට සෞභාග්‍ය පිරි 
සුබම සුබ නව වසරක් වේවා !!!
කියලා අපේ බ්ලොග් යාළුවෝ හැම කෙනෙක්ට වගේම 
සමස්ථ ශ්‍රී ලංකාවාසී හැම කෙනෙක්ටම සුබ පතනවා ...
                                       

                                                        
අවුරුදු කෑම වල රස බලලා නෑ හිතවතුන් එක්ක ගම් මැද්දේ අවුරුදු සමරන්න ලෑස්තිවෙන මේ වෙලේ රබන් පදයක් දෙකක් අහන්න තියෙනව නම් කොයිතරම් නම් අපූරුයිද .... 

මෙන්න ඒකට අවස්ථාව... ඔයාලත් දන්න දන්න රබන් පද තියෙනවනම් පහලින් එකතු කරන්න...

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත්  රත්තරන්
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්


....................................
රන් රඹුටන් ගස් දෙකයි
වලි කුකුළන් පස් දෙනයි
උන්ගේ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි

..................................

දොන්ත බබක්කට
දෙන්ට දෙයක් නැත
පෙට්ටගමක් උඩ
තුට්‍ටු දෙකක් ඇත 

.............................

වත්ත කතත් කතත්තා
කුඹුර කතත් කතත්තා
වත්ත කතත් කුඹුර කතත්
දෙකම කතත් කතත්තා 

........................................

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමිම් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කැවුම් කන්න වර පෙත්තප්පු

..................................................

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
පුංචි පැටවු මුහුදු යන්න නැවක් හදනවා
තක දොං නැවක් හදනවා

........................................

ඉහළ ගෙදර තුන්දෙනයි
පහළ ගෙදර තුන්දෙනයි
අපේ ගෙදර තුන්දෙනයි
තුන් පලේම නව දෙනයි

.....................................

තිත්ත කැකිරි ගෙඩි මාමට දීපන්
තෙලං කැකිරි ගෙඩි නැන්දට දීපන්
පුංචි රබානට ගින්දර දාපන්
ගහන රබන් පද හරියට කියපන් 


Saturday, April 12, 2014

අවුරුද්දට තෙල් වලං ලිපේ තියන්න කාලේ ඇවිත්...







සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නෙ දවස් දෙකකටත් අඩු කාලයක්. කොහෝ හඬත් එක්ක එරබදු ගස් රතු මල් චීත්තයක් ඇඳගෙන හැඩවෙලා ඉන්න අතරේ පැණි පිරිච්ච ඉදුණු කජු පුහුලන්, අඹ පොකුරු ගස් වල පිරිලා දකින්න තියෙනවා. ඒ අතරේ ගෙවල් වලිනුත් කැවුම් කොකිස් බැදෙන සුවඳ ටිකෙන් ටික පැතිරෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. 

ඉතින් ඊයේ තුශානිත් ගෙදර නැවතුනේ අම්මයි, අත්තම්මයි එක්ක එකතුවෙලා අවුරුද්දට කැවිලි හදන්න. අවුරුදු කෑම කිව්වහම එකපාරටම අපිට මතක් වෙන්නේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කියන කෑම ටිකක්නේ ඒ නිසා අවුරුදු කෑම ගැන පුංචි තොරතුරු  ටිකක් මේ විදිහට ලියන්න ඕනේ කියලා තුශානි හිතුවා.  

අවුරුදු කෑම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කොන්ඩ කැවුම්, මුං කැවුම්, කොකිස්, ආස්මි, අතිරස වගේ කැවිලි  අනිත් දේ තමයි බත් එක්ක කෑමට ගන්න සිංහල අච්චාරු, හත්මාළුව, ඇඹුල්තියල්, කජු මාළුව වගේ ව්‍යාංජන. මේ වර්ග දෙකේම කෑම හැම  දුප්පත් පොහොසත් ගෙදරකම වගේ අවුරුදු කෑම මේස වල දකින්න තියෙනවා.  


අවුරුදු කෑම මේසේ මුලසුන හොබවන්නේ කිරිබත්නේ. ඉතින් කිරිබත් කියන්නේ ඇඟ සිසිල් කරන ශක්තිය තියෙන කෑමක්. හැබැයි සුදු හාල් වෙනුවට රතු කැකුළු හාලෙන් හදපු කිරිබතක් කෑම මේසෙට තියන්න පුළුවන් නම් තමයි කිරිබතේ වටිනාකම තවත් වැඩි වෙන්නේ. කැවිලි හදද්දිත් පාන් පිටි වෙනුවට හාල් පිටි පාවිච්චි කරන්න පුළුවන්නම් ඒකත් සෞඛය පැත්තෙන් හිතකරයි. 

ඊලඟට කැවිලි හදන්න ගන්න ප්‍රධාන දේ තමයි සීනි. අද අපි පාවිච්චි කරන සුදු සීනි වෙනුවට ඉස්සර අපේ පැ‍රැන්නො පාවිච්චි කලා වගේ පැණි යොදා ගන්න පුළුවන්නම් වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි.  ඒ වගේම කැවිලි බදින්න ගන්න තෙල් ගැනත් අවදානය යොමු කරන්නම ඕනේ. සත්ව තෙල් වෙනුවට පිරිසිඳු පොල් තෙල් පාවිච්චියට ගැනීමෙනුත් එක් වරක් බැදිම් සඳහා පාවිච්චි කරපු තෙල් නැවත නැවත භාවිතයට නොගැනීමෙනුත් කැවිලි වල වැඩිපුර ඇති තෙල් හොඳි ඉවත් වෙන ආකාරයට තියලා ආහාරයට ගැනීමෙනුත් සෞඛය ගැටලු හුඟක් මහ හරවාගන්න පුළුවන්. 

කැවිලි හදන්න ගන්න අනිත් දේවල් ගැනත් ටිකක හොයලා බැලුවොත් ඒ දේවල වලත් වටිනාකම් ගොඩක් තියෙනවා.  ආස්මි වලට ගන්න දවල් කුරුඳු, බඩ වැල් වල ක්‍රියාකාරිත්වයටත්, ආහාර දිරවීම පහසු කරවන්නත් උදව් වෙනවා. මුං ඇට ශරීරය සිසිල් කරන්න උදව් වෙනවා වගේම කහ කුඩු ශරීරයේ විස නසනවා.  

කොහොමවුනත් සාමාන්‍ය කාල වලට වඩා අවුරුදු කාල වල තෙල් කෑම ටිකක් වැඩිපුර කැවෙන නිසා ඒ තෙල් පුච්ච්චන ප්‍රධාන කාර්යය කරන්නේ අපේ සිංහල අච්චාරුව. රතු ළූණු, අමු මිරිස්, ගස් ලබු කෑලි එක්ක පදමට වැ‍ටුනු අබ, දෙහි, විනාකිරි නැවුම් මැටි මුට්ටියක අවුරුද්දට දින දෙක තුනකට කලින් හදලා තියන්නත් අපේ පැ‍රැන්නො අමතක කලේ නැත්තේ ආහාර වල රසය වගේම ගුණය ගැන හිතලා බලපු නිසයි.


ඉතින් මේ තොරතුරු ගැන හිතලා, ලබන්නාවු අවුරුද්දේ කැවිලි පෙවිලි වල රස බලද්දි ගුණය ගැනත් ශරීර සෞඛ්‍යය ගැනත් අවදානය යොමු කරන්න කියලා මතක් කරනවා. ඒ එක්කම කැවිලි පෙවිලි කාල ගම්මැද්දට ගිහින් කොට්ටපොර හගල, චග්ගුඩු පැනලා, කඹ එහෙම ඇද්දොත් තෙල් පුච්චන්න අමුතු දෙයක් කරන්න ඕනේ වෙන්නේ නෑ කියලත් මතක් කරනවා.


Tuesday, April 1, 2014

බක් මහේ සිරි ඉඟි කරයි...


කිණිති අග පිපි කැකුළු සුවඳින්
අම රසය දෙන ඵලද   සමඟින්
කොවුල් ගී නද දසත රැඳෙමින්
බක් මහේ සිරි ඉඟි කරයි...


ගොයම් කෙත්වතු සාර       කරමින්
නිවෙස් අටු කොටු සිනා ගෙනෙමින්
සොබා දම් මව් එකළු         කරමින්
බක් මහේ සිරි ඉඟි කරයි...


ජාති ආගම් බේද                 මකමින්
කිරෙන් පැණියෙන් තුටෙන් පිරෙමින්
නැවුම් පැතුමන් දෝත           දරමි
න්
බක් මහේ සිරි ඉඟි කරයි...


හෙළ සිරිත් යලි මතක් කරමින්
නෑ මිතුරු බැමි සවිය    අතරින්
වසත් කාලය උදා       කරමින්

බක් මහේ සිරි ඉඟි කරයි...


අප්‍රේල් පළවෙනිදාව ඇරඹුනේ භාග්‍යවන්ත මාසයක ඇරඹුමේ ඉඟි ලබාදෙමින්.. ඒ ඉතින් ඉඟි තුශානිට දැනුනේ මේ විදිහට ... 



Monday, March 24, 2014

හොයලා දුන්නොත් රුපියල් 10,000.00 ක් ...




රෝසි නෝනා කියන්නේ බොහොම ඉහළ පෙළේ පන්තියක ඉංගිරීසි පන්නෙට හැදුන සල්ලිකාර නෝනා කෙනෙක්. ඔය රූපෙ ඉන්නේ රෝසි නෝනා.

 රොබින් කියන්නේ රෝසි නෝනා හුඟක් ආදරය කරන, දුකේදි සැපේදි රෝසි නෝනා ලඟම ඉන්න කෙනෙක්. රොබින් කිව්වේ රෝසි නෝනගේ මහත්තය කියලා ඔන්න පටලව ගන්න එහෙම එපා.. 



රෝසි නෝනගෙ මහත්තයා සෑම් පෙරකදෝරු මහත්තයෙක්.රොබින් රෝසි නෝනගේ ආදරය දිනාගෙන බොහොම සැපට හැදුනු බලු රාළ කෙනෙක්. 

 මේ ඉන්නේ රොබින් .....


ඔන්න ඉතින් දවසක් රෝසි නෝනා රොබින් වත් එක්කරගෙන ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න මාර්කට් එකට ගියා. 

එක අතකින් කුඩේත් අනිත් අතින් මාර්කට් ගෙනියන බෑග් එකත් අරගෙන අඩි උස සෙරප්පු දාගෙන රෝසි නෝනා ඇවිදින තාලෙටම රොබිනුත් රෝසි නෝන පස්සෙන් බොහොම උජාරුවෙන් තමයි මාර්කට් ගියේ.

මීට කලින් රෝසි නෝනත් එක්ක මාර්කට් ගිහින් නැති නිසා මාර්කට් ගමන රොබින්ට අලුත් අත්දැකීමක්. ඉතින් පාරේ තියෙන එක එක විදිහෙ දේවල දිහා ටිකක් ඕන කමින් බල බල ගියත් පාරේ හිටිය අනික් බලු රාළලා ලගින් යද්දි නම් රොබින් ටිකක් ආඩම්බර කමින් තමයි ගියේ.

දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවයේ අය බඩු ගන්න ගියාම කොහොමද කියලා. ඉතින් ඒ වගේ රෝසි නෝනත් එයාට උවමනා දේවල් ‍තෝර ‍තෝර  තැනින් තැනට ගියා. 

කොහොමින් කොහොමහරි ටික වෙලාවක් ගිහින් රෝසි නෝනා රොබින්ව හොයන කොට රොබින් පේන්න හිටියේ නෑ..

" රොබීන් ... රොබීබීන්.. වෙයර්ආයු... " 

කිය කිය රෝසි නෝනා හැම තැනම රොබින්ව පැය ගානක් හෙව්වත් හොයාගන්න පුළුවන් වුනේ නැති නිසා අන්තිමට රෝසි නෝනා බොහොම දුකෙන් ගෙදර ගියා.

රෝසි නෝනා රොබින්ට හුඟක් ආදරෙයි කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා සල්ලි ගැන වත් හිතන්නේ නැතුව රොබින් හොයලා දුන්න කෙනෙක්ට රුපියල් 10,000.00 ක් දෙනවා කියලා ලොකු අකුරින් ලියලා පොස්ටර් එකක් ගහලා ටවුම පුරාම අලවන්න කටයුතු කළා.

ඔන්න ඔයාලටත් කොහේදිහරි රොබින්ව දකින්න හම්බුනොත් ඉක්මනින්ම රෝසි නෝනට දැනුම් දීලා සල්ලි ඉල්ල ගන්න. තාම රොබින් හම්බවුනේ නැති නිසා ඉතුරු විස්තරේ කියන්න වෙන්නේ ඊළඟ කොටසෙදි තමයි කියලා මතු සම්බන්ධයි  දැම්මොත් බැනුම් කෝටියක් අහන වෙන හින්දා කතාවේ ඉතුරු ටිකත් අදම ලියන්න හිතුවා. 

රෝසි නෝනව මග ඇරිලා ටවුමේ අතරමං වෙච්ච රොබින් සිරිපාල අහම්බෙන් වගේ දැක්කා.. සිරිපාල රොබින්ව දන්නේ එයා රෝසි නෝනගේ වත්තේ දවස් කීපයක් වැඩ කරන්න ගිහින් තිබුන නිසා. ඉතින් සිරිපාල රොබින් වත් එක්කගෙන රෝසි නෝනගේ ගෙදර ගියා. හැබැයි රොබින් හොයලා දෙන කෙනෙක්ට සල්ලි දෙනවා කියලා රෝසි නෝනා පෝස්ටර් ගහපු බවක් නම් සිරිපාල දැන්ගෙන හිටියේ නෑ.

රොබින්ව දැක්ක ගමන් රෝසි නෝනගේ සතුට ඉහවහ ගියා.. රොබිනුත් දුවලා දුවලා ගිහින් රෝසි නෝනා වටේ කැරකි කැරකි සතුට ප්‍රකාශ කලා. මේ සතුටත් එක්ක තෑග්ග ගැන රෝසි නෝනට අමතක වෙලා ගියා.. ඊටත් සිරිපාල ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ නේ. 


ඉතින් ඊට දවස් කීපයකට පස්සේ සිරිපාලට මේ තෑග්ගේ කතාව දැන ගන්න ලැබිලා අපහු රෝසි නෝනා හොයාගෙන ආවා. රෝසි නෝනා තෑග්ග දෙන්න හිතුවත් එයාගේ මහත්තයා ඒකට කැමති වුනේ නෑ.එයා ඉතින් පෙරකදෝරු මහත්ත්යෙක් නේ.. එයා මේක දිහා බැලුවේ තවත් එක නඩුවක් විදිහට. එයා කිව්වේ සිරිපාල තෑග්ග ගැන දැනගෙන හිටියේ නැති නිසා එයාල අතර වලංගු ගිවිසුමක් නෑ කියලා. ඒ නිසා තෑග්ග දෙන්න ඕනේ නෑ කියලා.

තෑග්ග ලැබෙන්න නම් දෙපාර්ශවයම අතරේ වලංගු ගිවිසුමක් තියෙන්න ඕනේ..  සරළව කියනව නම් තෑග්ග ගැන සන්නිවේදනය වෙලා තියෙන්න ඕනේ.. නීතියේ හැටියට කියනව නම් වලංගු ගිවිසුමක අර්පණයක් අර්පණලාභියාට මැනවින් සන්නිවේදනය වී තියෙන්න ඕනේ.. පෙරකදෝරුතුමා විස්තර කළා.

කොහොමින් කොහොම හරි සිරිපාලට තෑග්ග නම් හම්බවුනේ නෑ.

ඒ නිසා ඔයාලත් මේ වගේ කාටහරි මොනාහරි හොයලා දීලා තෑග්ගක් ගන්න හිතාගෙන ඉන්නවනම්, තෑග්ගක් දෙනවද කියලා කලින් ටිකක් හොයලා බලලා දැන ගන්න වෙනවා  :):)   නැත්තම් තෑගි නෑ හොඳේ  ...


Thursday, March 13, 2014

අනිද්දා ෆ්ලයිට් එකේ මම එනවා ...


හලෝ මුතූ... ඔයයි පුතයි සනීපෙන් නේද ?

ආ.. රමේෂ් .. ඔව්.. අපි සනීපෙන් .. ඔයා හෙට එනව නේද ?

 
බලන්නකෝ මුතූ.. අපේ බොස්ට චයිනා වල දාගත්ත මීටින් එකකට යන්න වෙන්නේ නෑ කියලා මට මේ ගමන්ම ඒකටත් ගිහින් එන්න කිව්වා ... 

 
අනේ රමේෂ්... එතකොට අපි අර ළමා නිවාසෙට දානේ දෙන්න දාගත්ත වැඩේට මොකද කරන්නේ ? ඔයාමනේ රමේෂ් කිව්වේ අපේ පැටියගේ  පළවෙනි උපන්දිනේ ළමා නිවාසෙක ළමයි ටිකක් එක්ක ගමු කියලා... ඔයා ඒකට නැතුව බෑනේ රමේෂ්...

ඔව් ඔව් මුතූ.. ඉතින් අහන්නකෝ... මට මේ වැඩේට යන්නම වෙනවා.. මෙහේ ඉදලා චයිනා වලට යන MH370 ෆ්ලයිට් එකේ ටිකට් එකකුත් බොස් මට බුක් කරලා.. මම හෙට මීටින් එකට ඉඳලා අනිද්දා ෆ්ලයිට් එකේ ලංකාවට එනවා.. ඔයා හොඳ ළමයා වගේ වැඩ ටික ලෑස්ති කරගන්නකෝ.. මම කෙලින්ම ළමා නිවාසෙට එන්නම්.. 

හා එහෙනම් ...  ඔයා මෙහේ වැඩ ගැන හිතන්න එපා .. මම ඒ ටික බලාගන්නම්.. අම්මලත් ඉන්නවනේ.. ඔයා කෙලින්ම ළමා නිවාසෙට එන්න එහෙනම්. 

මං අපේ පුතාටයි ළමා නිවාසේ ළමයින්ටයි චයිනා වලින් සෙල්ලම් බඩු ටිකකුත් අරන් එන්නම්.. ඔයා මං එනකන් පුතාව පරිස්සමින් බලගන්න..

මම ඊයෙ මහ නරක හීනයක් දැක්කා මුතූ.. බැරිවලාවත් මොකක් හරි වෙලා මට එන්න බැරි වුනොත් ඔයා හැමදාටම පුතාව හොඳින් බලා ගන්නව නේද ?  

මොනාද රමේෂ් මේ කියන්නේ.. ඔයා වැඩ ටික කරගෙන පරිස්සමින් අපි ගාවට එන්න.. 

මුතූ... මැලේෂියා වලින් යන්න කලින් සමහර විට මට අපහු කතා කරන්න බැරි වෙයි.. චයිනා වලට ගියාම කෝල් කරන්නම්.. 
 
හා .. කමක් නෑ.. ගිය ගමන් මට කෝල් කරන්න හොඳේ.. බායි.. බුදු සරණයි..

ඔයාටයි පැටියටයිත් බුදු සරණයි.. අම්මලත් මතක් කළා කියන්න ... බායි ... 

--------------------------------------------------------------------
 පසුදා ... 

අම්මේ දැන් නිවුස් යනව ඇති... දාන්නකෝ බලන්න ..

" මෙන්න දැන් ලැබුනු පුවතක් ... මැලේෂියාවේ සිට චීනය බලා ගමන් ගත් MH 370 මගී ගුවන් යානය අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා .. යානය සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා ........... "

 
අම්මේ ... රමේෂ්............................  



~~~~~නම් ගම් පමක් මන:කල්පිතයි~~~~~





Friday, March 7, 2014

ළමා පිටියට පණ දුන් ඔහු නික්ම ගොසින් ...



 පසුගිය පෙබරවාරි 15 වෙනිදාව අතීතයට එකතුවුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරළ මිනිසෙක් ලෙස නිහඬ සේවයක් කළ සොඳුරු මිනිසෙකුගේ අවසන් හුස්ම පොද වා තලයට මුසු කරමින්.
පුවත්පත් කළාවේදියෙකු, ගේය පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදක වරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස ළමා, තරුණ, වැඩිහිටි කාගෙත් ආදරය දිනාගත් ඔහු නමින් මහින්ද අල්ගම.

ඔහුගේ පන්හිඳෙන් ලියවුනු ගී පද රචනා වෙනුවෙන් 2011 වර්ෂයේ රාජ්‍ය සංගීත උළෙලේදී මහගමසේකර අනුස්මරණ සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු  රුක්ත්තන මල මුදුනේ, චන්ද්‍ර මඩුළු යට, සඳ එළිය ඇවිල්ලා, රාන් කුරුල්ලා වැනි ගී ‍රැසකද හිමිකරුවාය. ඔහුගේ ගී පද රචනා පිළිබඳවත්, පුවත්පත් කලාවේදීත්වය පිළිබඳවත් බොහෝ දෑ පසුගිය වකවානුව තුල කථා බහට ලක්වුන නිසා ඒ පිළිබඳ වැඩි යමක් ලියන්න තුශානි අදහස් කරන්නේ නෑ. මේ සටහන තුශානි ලියන්න හිතුවේ ඔහු ඇසුරේ ගුරුහරුකම් ලබමින් තුශානි දැක්ක ඒ සොඳුරු නිහතමානී චරිතයේ බොහෝ දෑ අපි හැම කෙනෙකුගේම ජීවිත වලටත් වටිනා ආදර්ශයක් වෙන නිසාවෙන්මයි.

තුශානිට මුලින්ම මහින්ද මාමා මුණගැහුනේ ගුවන් විදුලිය තුල විකාශය වුනු ළමා පිටිය වැඩසටහනකට සහභාගී වෙච්ච අවස්ථාවකදී. මර්සි නැන්දගේ පොස්ට් එකේදි කිව්ව වගේ ගුවන් විදුලියේ ඇන්ටිලා අන්කල්ලා නැති නිසා මහින්ද අල්ගම චරිතය කා අතරත් ප්‍රසිද්ධ වුනේ මහින්ද මාමා කියල. මහින්ද මාමා ඉක්මනින් තරහ යන ටිකක් සැර කෙනෙක් වුනත් ඒ සැරවැර කම් අතරේ සැඟවිලා තිබුනේ ආදරණීය තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් නිසි මගට ගන්න දරණ  ගන්න උත්සාහයක් සමඟ බැදිච්ච පිය සෙනෙහසක්.

ගුවන් විදුලිය තුල ඉහළ විනයක් හා ශික්ෂණයක් තිබිය යුතුයි යන්න තදින්ම විශ්වාස කල මහින්ද මාමා, මාධ්‍ය තුලින් ශ්‍රාවකයන් වෙතට යන සෑම දේකම සෑම වචනයක් පාසාම, හරවත් බවක් ‍රැඳී තිබිය යුතුයි යන දැඩි ප්‍රතිපත්තිය අනුගමනය කළ පුද්ගලයෙක්. ඒ නිසාම මහින්ද මාමත් එක්ක වැඩ කිරීම අපි හැම කෙනෙක්ටම ටිකක් අභියෝගයක් වුනා කිව්වොත් ඒකේ වරදක් නෑ. ඒ අතරෙන් මහින්ද මාමගෙන් බැනුම් අහපු නැති අය හිටිය නම් හිටියෙ හරිම සුළු පිරිසක්. කොහොම වුනත් වැඩසටහන අවසන් වෙලා මැදිරියෙන් එළියට එනකොට මහින්ද මාමගේ හිතේ වගේම අපි කාගේවත් හිත් වලත් බැනුමක සේයාවක් වත් ‍රැඳිලා නොතිබිච්ච බව නම් සඳහන් කළයුතුමයි.

මාධ්‍යය හසුරුවන කෙනෙකුට පුළුල් දැනුම් සම්භාරයක් තියෙන්න ඕනෙ කියන එක මහින්ද මාමා තදින් විශ්වාස කළ නිසාම ගුවන් විදුලි වැඩසටහන් මැදිරිය තුලට පමණක් කොටු නොකර මැදිරියෙන් පිට විවිධ ස්ථාන වල සිට ගෙන එන්න ලොකු වෙහෙසක් ගත්තා.

පහළින් තියෙන පින්තූරය ඒ වගේ මැදිරියෙන් පිට වැඩසටහනකට සහභාගි වෙච්ච වෙලාවක ගත්ත ඡායාරූපයක්.. එහි දෙවෙනි පේළියේ වම් පැත්තෙ ඉඳන් තුන්වෙනියට ඉන්නෙ මහින්ද මාමා ...



ඒ පින්තූරය තුශානිට බොහොම සතුටින් මතක් කරන්න පුළුවන් මතකයන් ගොඩක් එක්ක බැඳුනු හුඟක් වටින සිහිවටනයක් වුනත් අද ඒ පින්තූරේ දකින කොට තුශානිගෙ හිතට ලොකු දුකකුත් දැනෙනවා .. 

අපි හැදී වැඩුනේ බරපතල නීති රීති අතරේ වුනත් ඒ හැම දෙයක් තුලින්ම ඔහු අපිට කිසිදු තැනකින් ලැබිය නොහැකි ජීවිතය පිළිබඳ වු ගැඹුරු පාඩමක් ඉගැන්නුවා. ඒ වගේම අපි ලද ශික්ෂණය, විනය අපේ ජීවිත වලට ලොකු පන්නරයක් ලබා දුන්නා වගේම අදටත් ලබාදෙනවා. ශරීරයෙන් පුංචි මිනිසකු වු ඔහු යහපත් මාධ්‍ය කලාවක් උදෙසාත්, හරවත් හා නිවැරදි මාධ්‍ය භාවිතයක් උදෙසාත් සිය ආධුනිකයින් මෙහෙයවූ දැවැන්ත චරිතයක් ලෙසින් කාගේත් ආදරය දිනා ගන්නට සමත් වුනා. ශ්‍රව්‍ය මාධ්‍යයට නව කලාවක් හඳුන්වාදුන් ඔහු ළමා ලෝකය ජයගත් ලෝ ප්‍රකට ළමා පොත් සිංහලට පරිවර්තනය කරවමින් ළමා මනසට වටහාගන්නට පහසු ලෙස සරළ බසින් ළමා නාට්‍ය බවට පත්කරන්නට සමතෙක් වුනා.  සමනළ ලන්ද, දැනුම වැඩුම , රේඩියෝ රඟ මඩල, චාරිකා, ළමා ගී, වගේ විවිධ වු වැඩ සටහන්ද ඒ අතරින් කැපී පෙනුනා. 

මහින්ද මාමා නිෂ්පාදනය කළ ළමා වැඩසටහන් අතුරෙන් මාමා හුගක්ම කැමැත්තෙන් කලේ ළමා නාට්‍ය නිෂ්පාදනය කියලා කිව්වොත් ඒකට හැමෝම එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අතරිනුත් ජිල් ජෝන් සහ ලන්දේසි දූපත, රූකඩ පැංචා, ගලිවර්ගේ චාරිකා, එමිලි, ඈන් වගේ ළමා නාට්‍ය ඉදිරියන් තියෙනවා. ළමා නාට්‍ය හා බැඳුනු තොරතුරු ගැන කියන්න බොහෝ දේ තිබුනත් අත් දිග කමිසයකින් සැරසිලා නාට්‍ය පිටපත් ටිකත් අරගෙන මැදිරියට එන මහින්ද මාමාගේ රුව මතක් වෙන වාරයක් පාසා හිතට දැනෙන දුක, ඒ අකුරු සියල්ල බොඳ කර හමාරයි.

ජනප්‍රියත්වය පසුපස හඹා නොයමින් සැමවිටම හරවත් සොඳුරු සිහිවටනයක් පරිපූර්ණව දැයට දායාද කළ ඔහු අද නික්ම ගොස් අවසානයි. ඔහුගේ අමිල මෙහෙය ගුවන් විදුලියට වගේම ලොකු කුඩා වැඩිහිටි හැමටම පිරවිය නොහැකි පාඩුවත් බව පත්ව අවසානයි. සැබවින්ම ජීවිතයේ සරළ බව, සැහැල්ලු බව අපට කියාදී අද ඔහු නො එන ගමනක් ගොස් අවසානයි. ඔබ තනන්නට වෑයම් කළ, අපට ගමන් කරන්නට මග පෙන්වු ලෝකය හැරදා ඔබ ගොස් අවසානයි.

ආදරණීය මහින්ද මාමේ ඔබට නිවන් සුව ලැබේවා ! 




Related Posts Plugin for WordPress, Blogger...