Saturday, January 25, 2014

ආදරණීය මර්සි නැන්දා ...



මර්සි එදිරිසිංහ කියන්නේ වේදිකාව, සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය එක විදිහට ජයගත් අපේ යුගයේ බොහොම ප්‍රවීණ, හැම කෙනෙක්ම හුඟක් ආදරය කරන දක්ෂ කලාකාරිණියක්. උපතින් ලද කට හඬත් දෝතින් ‍රැගෙන ආ කලා ප්‍රතිභාවෙනුත් ඈ කළ හපන්කම් අපි හැම කෙනෙක්ම අවිවාදයෙන් යුතුව ඉහලින්ම රස වින්දා කිව්වොත් නිවැරදියි.

ඒත් ඇය මේ වන විට ඉතාමත් අසාධ්‍ය ලෙස රෝගී තත්වයෙන් ඉන්නව කියන පුවත අහන්න දකින්න ලැබීම තුශානිගේ හිතට ලොකු වේදනාවක් ගෙන එන්න හේතු වුනා. ඒ තුශානිට මීට සුළු කාලයකට කලින් ගුවන් විදුලියේදි ඇයව දැන හඳුන ගන්න ලැබීමත්, ඇයගෙන් ගුරු හරුකම් ලබන්නට වාසනාවන්ත වීමත් නිසා වෙන් වගේම, තුශානි හුඟක් ආදරය කරන ගෞරව කරන තවත් එක් චරිතයක් නිසාවෙන්.

තුශානි ගුවන් විදුලිය තුල ළමා ශිල්පිණියක් විදිහට ගතකල සොඳුරු කාලය බ්ලොග් පි‍ටු අතරට එක් කරන්න නම්  තාම  අවස්ථාවක් ලැබුනේ නෑ. ඉතින් අද නෙවෙයි, ඉදිරියෙදි ඉඩ කඩ ලැබෙන විදිහට ඒ රසබර අත්දැකීම් හුඟක් ලබාගත්ත, ජීවිතයේ අමරණීය කාලය ගැන  පුංචි සටහන් කීපයක් තියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා..

ඒත් අද තුශානි මේ ලිපිය වෙන් කරන්නේ ආදරණීය මර්සි නැන්දා වෙනුවෙන්. මර්සි නැන්දා කිව්වේ ගුවන් විදුලිය තුල ඇන්ටිලා අන්කල්ලා නැති නිසා. අක්කලා අයියලා හැරුනහම වයසින් මුහුකුරා ගිය හැම වැඩිහිටි කෙනෙක්ම අපිට නැන්ද කෙනෙක් හරි මාමා කෙනෙක් හරි වුනා. ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, හඳමාමා, සමනල ලන්ද, ගුවන් විදුලි නාට්‍ය  වගේ වැඩසටහන් අහපු අපේ බ්ලොග් යාළුවො ඉන්නවනම් ඒ අය දන්නවා ඇති මහින්ද අල්ගම මාමා, ලක්ෂ්මන් කහටපිටිය මාමා, සුමනා ජයතිලක නැන්දා වගේ අය දු‍ටු නොදු‍ටු හැම කෙනෙක්ටම කොච්චර ආදරනීය නැන්දලා මාමලා වුනාද කියලා. ඉතින් ඒ වගේ අපි මර්සි එදිරිසිංහ මහත්මියත් ඇමතුවේ මර්සි නැන්දා කියලා.

මර්සි නැන්දා ඒ වෙනකොටත් හුගක් ජනප්‍රිය කෙනෙක් වෙලා හිටිය නිසා ඇය අපිව නොහඳුනනවා වුනත් අපි ඇය ගැන හොඳින් දැන ගෙන හිටියා. ඒ නිසාම එයා කථා කරන , හිනාවෙන, ඇවිදින විදිහ මම හරිම ඕනෑ කමින් හුඟක් ආසාවෙන් බලන් හිටිය විදිහ තාමත් මට මතකයි. බොහොම සැහැල්ලු, සරල, විනෝදකාමී කෙනෙක් වුනු මර්සි නැන්දා  පුංචි ආධුනිකයන් වෙච්චි අපිට ලොකු ශක්තියක් වුනා.

තුශානිටත් ගුවන් විදුලි නට්‍ය සහ හඬ කැවීම් වලට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුන නිසා මර්සි නැන්දගේ කට හඬ හැසිරවීම්, කට හඬ පාලන, හඬ වෙනස්කිරීම් වගේ දේවල් වල සජීවී අත්දැකීමුත්, ප්‍රවීණ ගුරුහරුකමුත් ලබන්න හැකියාව ලැබුනා.  

සොඳුරු සිදුවීම් බොහෝමයක් තිබුනත් ඒ අතරිනුත් තුශානිට කිසි දවසක අමතක නොවන සිදුවීමක් තියෙනවා. ඒ තුශානි නාට්‍ය වලට සම්බන්ද වුනු මුල් කාලයේ එක් අවස්ථාවක තුශානිට ලැබුන නාට්‍ය චරිතයක් කරන්න ලැජ්ජාවෙන් බලන් ඉන්නකොට පිටට තට්ටුවක් දාලා ඒක කරන හැටි කියලා දීපු අවස්ථාව. ලොවි ගෙඩියක් තරමට මූණ රතු කරගෙන එදා මර්සි නැන්දා දිහා තුශානි බලන් හිටිය හැටි ඊට පස්සේත් කටිටිය මතක් කළා.

ඒ මතකයන් එක්ක අද ඇඳක් මත වැතිරිලා ඉන්න මර්සි නැන්දා දකින කොට හිතට එන වේදනාව වචන වලට පෙරලන්න බැරි තරම්. තුශානි විශ්වාස කරන දෙයක් තමයි. මොනාහරි දෙයක් ගැන එක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවට වඩා වැඩි දෙනෙක් ඒ ප්‍රාර්ථනාව කරනව නම් ඒක හුඟක් බල සම්පන්නයි කියන එක. ඉතින් ඒ නිසාම මර්සි නැන්දා වෙනුවෙනුත් තුශානි කරන ප්‍රාර්ථනාවට බ්ලොග් යාළුවනුත් සම්බන් කරගෙන බොහොම ආශිර්වාදාත්මක ප්‍රාර්ථනයක් කරන්න ඕනේ කියලා හිතුවා.

" ආදරණීය මර්සි නැන්දේ ... සිනහවෙන් අප සිනහ ගැන්වු ඔබේ දිවියත් සිනහවෙන්
ගෙවන්නට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ...! "




--------- පින්තූරය : සිළුමිණ සිත්මල්යාය  -----------

Tuesday, January 14, 2014

දුරුතු මහා මංගල්‍යය....


සම්බුදු හිමියන්ගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත්වු කැලණි පුදබිම ලෝවැසි බෞද්ධ ජනයාගේ මුදුන් මල් කඩක් බඳු වන්දනීය පූද බිමක්.  නව වසරේ ආරම්භය සනි‍ටුහන් කරන දුරුතු මාසය කැලණි පුද බිමට බොහොම සුවිශේෂි මාසයක්. ඒ දුරුතු මහාමංගල්‍යය හෙවත් දුරුතු පෙරහැර වෙනුවෙන් සියළු කටයුතු සූදානම්වෙන නිසාවෙන්. කිරි පාටට බැබලෙමින් අහසට විහිදුනු කොත් කැ‍රැල්ලත්, සීතල සුළඟට ලෙලදෙන බෝපත් වල අසිරියත්, සුන්දරව ගලා යන කැලණි නදියේ චමත්කාරයත්, සියසින් දකින්න අවස්ථාව තුශානිට ලැබෙන නිසා ඒ ගැන කෙටියෙන් හරි සටහනක් තියන්න ඕනේ කියලා හිතුන නිසයි මේ සටහන තියන්නේ.

කැලණි පුදබිම බොහෝ දෙනෙක් වන්දනා මාන කරලා තියෙන තැනක් වුනත් ඒ ගැන ඉතිහාස තොරතුරු දන්නේ හරිම අඩු පිරිසක්. පුරාණ වංශ කතා වලට අනුව රාම - රාවණා යුද්ධයේදී රාමාට පක්ෂව කටයුතු කරපු විභිෂණට කෘ‍තෝපකාරයක් විදිහට රාම විසින් ලංකා රාජ්‍යය පවරාදීමෙන් අනතුරුව විභීෂණයින් කැලණිය සිය රාජධානිය කොට ගෙන පාලනය කළ කියලා රාමායනයේ සඳහන් වෙනවා. ඒ වගේම අදටත් විභීෂණ දෙවියන් ලෙසින් කැලණි පුරවරය ආරක්ෂා කරනවා කියලත් අපේ පැ‍රැණ්නන් අතර ලොකු විශ්වාසයක් තියෙනවා.

විභීෂණ යුගයෙන් පස්සේ කැලණි රාජධානියේ අධිපතීත්වය ගන්නේ මණි අක්ඛික කියන නා රජතුමා. මිණි පළඟක් අරභයා චූලෝදර මහෝදරයන් අතර ඇතිවන්නට ගිය සටන සංසිඳුවීම සඳහා බුදු පියානන් වහන්සේ නාගදීපයට වැඩම කල අවස්ථාවේ මණිඅක්ඛික නා රජුන් කල ආරාධනාවකට අනුව බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙසක් මස පුර පසලොස්වක පොහෝදවසේ රහතන් වහන්සේලා 500 නමක් සමග බුදු පියානන් වහන්සේ කැලණියට වැඩි බව මහාවංශයේ සඳහන් වෙනවා. නා රජතුමා විසින් බුදු පියානන් ධර්මය දේශනා කරපු ස්ථානයේ ස්තූපයක් කරවපු බවත් පස්සේ කාලෙක යටාලතිස්ස රජතුමා ඒ ස්ථූපය සැට රියන් උස් කොට ඉදිකලා කියලත් සඳහන් වෙනවා. මේ විදිහට විවිද අවස්ථාවල ප්‍රතිසංස්කරණය වුනු ස්ථූපය අද ධාන්‍යාකාර හැඩයකින් යුක්තවෙනවා. සැළලිහිණි සන්දේශයේ සැළලිහිනියා ගේ නෙත ගැටෙන්නට මේ කැලණි පුදබිම හේතු වන්නේත් කැලණි ස්ථූපය ගුවනට විහිදුනු ආකාරය නිසාවෙන්.



ඊට අමතරව කැලණිය ගැන සඳහන් වෙන අනිත් ප්‍රධාන අවස්ථාව තමයි කැලණි තිස්ස රජ දවස රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දවා අපවත් කරවූ ශාපයට මුහුද ගොඩ ගලපු අවස්ථාව. දේවි කුමරිය ඒ විපත්තියෙන් රට බේර ගන්න මුහුදට බිලිවීමත්, මුහුදේ පාවෙලා ගියපු දේවි කුමරිය කිරින්දේ වෙරළට ගොඩ බැහැලා කාවන්තිස්ස රජතුමා ඇයව සරණපාව ගත්ත කතාවත් බොහොම ප්‍රසිද්ධ කථා පුවතක්. 

කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහැර අරම්භ වෙන්නේ 1927 වර්ෂයේදියි. පෙරහැර උඩ මළුවේ , දෙවනි මළුවේ හා මහ මළුවේ පෙරහැර විදිහට දින 3 ක් පුරාවට පැවැත්වෙනවා. පෙරහැරේම තවත් එක් අංගයක් විදිහට පෙරහැර දින 3 ට කලින් දවසේ, දේව දූත පෙරහැරක් පවත්වලා පෙරහැරට ආශිර්වාද ලබා ගැනීම සිද්ධ කරනවා.  සියළුම අංගයන් ගෙන් සමන්විත වෙන මේ දේව දූත පෙරහැරෙන් දේව දුතයකු   (පන්සල ඇසුරේ පේවෙමින් සූදානම් වු පිරිමි දරුවෙක්) කැලණි විහාරයට රැගෙන යාමත් දොරකඩ අස්න හා අනුශාසනා පැවැත්වීමත් සාමාන්‍ය සිරිතයි.

හෙලේනා විජේවර්ධන ළමාතැනියගේ දායකත්වයෙන් ආරම්භවෙන කැලණි පෙරහැර අද වෙනවිට දෙවනි වන්නේ මහනුවර ඇසළ පෙරහැරට පමණක් කියලයි මම විශ්වාස කරන්නේ. දෙස් විදෙස් බොහෝ පිරිසක් පෙරහැර නරඹන්න කැලණි පුද බිමට එක්වීම ඊට සාක්ෂි දරනවා. පෙරහැරට උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග ‍රැසකින් සමන්විත වෙන අතරෙම අලි ඇතුන් 50 කඅධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. 



ඉතින් අද ( 14 වෙනිදා ) කැලණි පෙරහැරේ අවසන් මහ පෙරහැර පැවත්වෙන දවස. හැකියාවක් තියෙනවනම් පෙරහැර බලන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම එන්න හැකියාවක් නැත්නම් අන්තරජාලය ඔස්සේ පෙරහැර නරඹන්න අවස්ථාවක් උදාකරගන්න කියලාත් මතක් කරනවා. 

කියන්න තව බොහෝ දේ තිබුනත් අවශ්‍යවුනේ බොහොම කෙටියෙන් මේ සටහන ගෙන එන්න. කැලණි පුර වරුනත් යටගියාව පිලිබඳ තොරතුරුත් බොහෝ සේම "  උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ " කියනව වගේ එක් වරක් හරි කැලණි පුද බිම වන්දනා මාන කරගන්නට ලැබීමත් මහා පින්කමක් වගේම වාසනාවක් කියලයි මම හිතන්නේ..

පින්තූර - ගූගල් ගෙන්

Sunday, January 5, 2014

කඳුළු අතරින් හිනැහෙන පුංචි පැංචෝ...




2014 උදාවෙලා අදට දවස් 5ක් ගතවෙලා. තඹ කම්බියක් දිගේ විදුලිය බොහොම වේගයෙන් ගමන් කරනව වගේ හරිම වේගයෙන් මේ දවස් ටික ගෙවිලා ගියා කියලයි මට හිතෙන්නේ. අද 5 වෙනිදා වුනත් තුශානි තාමත් ඉන්නේ ජනවාරි පළවෙනිදාවේ සුන්දර මතකයන් ගොඩක් එක්ක. ඒ නිසාම ටිකක් පරක්කු වෙලා වුනත් ඒ ගැන පුංචි සටහනක් හා හා පුරා කියලා මේ වසරේ ලියන මුල්ම පෝස්‍ටුවේ ලියන්න ඕනේ කියලා හිතාගෙනයි අද නම් බ්ලොග් එක පැත්තට ආවේ.

2013 ට ආයුබෝවන් කියලා 2014 පිලිගත්ත අපි අනිත් ආයතන වල වගේම ජනවාරි පළවෙනිදාව ආරම්භ කලේ ආගමික වතාවත් වලට මුල් තැන දීලා. ආගමික වතාවත් වලින් පස්සේ සුබ පැතුම් අතරේම කැවිලි පෙවිලි හිනා වෙවි තේ මේස වල හැඩ වෙලා හිටියා .ඉතින් කට්ටියම සුපුරුදු ලෙන්ගතු කමත් එක්ක අවුරුදු තේ මේසෙට එකතුවුනා. මේ හැම දෙයක්ම හැම වසරකම පුරුද්දක් විදිහට අපි කරගෙන ආපු දේවල්. ඉතින් ඒ දේට තවත් සුවිශේෂ යමක් එකතු කරන්න ඕනේ කියලා හිතපු නිසයි මේ අවුරුද්දේ  අපේ කට්ටිය හිතුවේ අලුත් දේකට මුලපුරන්න ඕනේ කියලා.

ගිය වසරේ පොසොන් පෝය වෙනුවෙන් දවසක් වැඩිහිටි නිවාසයක ගතකරලා වයසක අම්මලා තාත්තලට ඕන කරන බොහෝ දේ එක්ක සවස් කාලයේ බැති ගී ප්‍රසංගයක් පවත්වලා ඒ අයට ඒ දවස ජීවිතේ තවත් සුවිශේෂ දවසක් කල අපේ කට්ටිය 1 වෙනිදාව පුංචි යාළුවෝ ගොඩක් එක්ක ගතකරන්න ඕනේ කියලා අදහස් කලේ මීට මාස කීපයකටත් කලින්.  

ඉතින් සූදානම් වෙච්ච විදිහට දහවල් ආහාරයත් තෑගි ගොඩකුත් අරගෙන අපි පුංචි යාළුවෝ බලන්න ගියා. බලපොරොත්තු වුනු තොර‍තෝන්චියක් නැතුව කතා කරන දඟකාර පොඩිත්තන් වෙනුවට කඳුළු පිරිච්ච ඇස් වලින දහසකුත් දේ කියවෙන මුහුණු නිවාසයට ගොඩවුන අපිට දකින්න ලැබුනා.

ළමා නිවාසය පිහිටි ස්ථානය, නම වගේ තොරතුරු ලියන්න අදහසක් නැති වුනත් ඒක  පරිවාසභාරයේ පිහිටි ළමා නිවාසයක් කියන එක සඳහන් කරන්න හිතුවා. අධිකරන හේතු මත අසරණ භාවයට පත් දරුවන්ට එතන නිවහනක් වෙලා තිබුනා. ඔවුන්ගේ කතාවන් බොහෝ වුවත් ඒවා නැවත හාරවුස්සමින් අඳුරු මතකයක් යලි මතක්කරවන්නට අපිට වුවමනාවක් නොතිබුනු නිසා ඒ ගැන නො අසන්නට අපි කවුරුත් වගබලා ගත්තා.

හෝරා කිහිපයක් ඔවුන් සමගින් සතුටින් ගතකරන්නට මැවූ සිහිනය ළමා නිවාසයට ගොඩ වෙන විට දැක්ක මුහුණු නිසා බොඳවෙලා යන්න හැදුවත් අපේ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් හෝර දෙක තුනක් වෙනුවට හෝරා පහක් ඉක්මවු කාලයක් අපිටත් නොදැනීම බොහොම සුන්දරව ගතවෙලා ගියේ නොමැකෙන සොඳුරු සටහනක් අපේ ජීවිත වලටත් එක්කරමින්. 

ගී හඬත් සතු‍ටු සිනා හඬත් එක්ක තාලෙට තැබූ පාසටහන් මුළු නිවාසයම වර්ණවත් කලා. පිනි බිංදු ඉර එළියට වාශ්ප වෙලා යනව වගේ දුක් බර මුහුණු එයාලටත් හොරෙන් යන්න ගිහින් තිබුනා. සින්දු කියන්න නටන්න පොඩිත්තෝ හැම කෙනෙක්ම එක වගේ හැකියාව පෙන්නුවා.

රාජකාරිය දේව කාරිය වගේ සලකපු අපේ කට්ටියත් පාසල් යන පුංචි ළමයි වගේ පොඩිත්තන් එක්ක විනෝද වුනා. ජීවිතේ බොහෝ දේ අහිමිවී ගියත් උපන් හැකියාවන් දෝතින් ‍රැගෙනවිත් තිබුනු නිසා වෙන්දෝ පුංචි යාළුවන්ගේ හපන්කම් අපි හැම කෙනෙකුගෙම ඇහැට කඳුලක් ගෙන ආවා.

තෑගි ගොඩක් එක්ක අවුරුද්ද පුරාවටම වගේම මුළු ජීවිතයටම සතුටත් එයාලට දීලා එන්න ඕනේ කියන අදහස ඇපේ කට්ටිය අතරේ තිබුනා.  1 වෙනිදාව තමන් වෙනුවෙන් ගෙදර අය වෙනුවෙන් කැප කිරීම පසෙක දාලා ඔවුන් මේ පොඩිත්තන්ගේ සතුට වෙනුවෙන් වු සහභාගීත්වය, මහන්සිය සැබවින්ම ප්‍රශංසනීයයි. තුශානිට ඒ ගැන තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් සතුටක්. 

ඒ ආශිර්වාදය අවුරුද්ද පුරාවටම අපේ ජීවිත වලටත් ලැබේවා කියක පැතුම ළමා නිවාසයෙන් නික්මෙන වෙලාවේ පොඩිත්තන්ගේ හිත් වල අපි වෙනුවෙන් තිබුනා...



Tuesday, December 31, 2013

සුබ නව වසරක් වේවා !!!




2103 ගෙවෙන්න තව ඉතිරි වෙලා තියෙන්නේ හෝරා කීපයක් විතරයි.ජයග්‍රහණ, පරාජ, සතුට, දුක,  බාදක කම්කටොළු මැද්දෙන් 2013 ගෙවිල ගියත් 2013 අවසන් වෙන මේ අන්තිම මොහොතේ ඒ දිහා හැරිලා බැලුවහම හිතට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්.  ඒ ජීවිතේ අමරණීය සටහන් ඒ අතරේ බැබලෙමින් තියෙන නිසාවෙන් වෙන්න ඇති.

කොහොමවුනත් ඒ හැම දෙයක්ම අතීත අත්දැකීම් විදිහට මේ වෙනකොට අපේ මතක පොතට එකතුවෙලා හමාරයි. අතීත අත්දැකීම් වල ශක්තියෙන් ආරම්භවෙන 2014 වර්ශය සාර්ථකව ආරම්භ කිරීමයි මේ වෙලාවේ අපේ අරමුණ වෙන්න ඕනේ.. එතකොට තමයි 2014 අවසන් වන අද වගේ 31 වෙනිදාවකත් 2014 දිහා මේ විදිහට සතුටින බලලා සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ...

අහඹු ලෙස වුනත් බ්ලොග් පි‍ටු අතරට එන්න ලැබීම 2013 වසරේ මගේ ජීවිතේ හරිම සුන්දර සුවිශේෂි සන්දිස්ථානයක්..  බ්ලොග් එක ගොඩ නගා ගන්න  ලැබුනු දිරිගැන්වීම, සහයෝගය නොවෙන්න මෙවැනි මතකයක් 2013 වසරට එක් නොවෙන්න තිබුනා... නොදු‍ටු මිතුරු මිතුරියන් ලෙසින් වුනත් සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගෙ අත්වැල තුශානිව ශක්තිමත් කලා.  ඉතින් ඒ හැම කෙනෙක්ම බොහොම ආදරයෙක් මතක් කරන මේ  වෙලේ තව සුළු මොහොතකින් උදාවෙන 2014 වර්ශය තෙරුවන් සරණේ ආශිර්වාදයෙන් , සතුට සෞභායය පිරුණු යහපත් ප්‍රාර්ථනාවන් ඉ‍ටු වෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

 සුබම සුබ නව වසරක් වේවා !!!

Thursday, December 26, 2013

රුදුරු රළ පෙල බිලි පිදුම් ගෙන නව වසක් නොදැනී ගොසින්...

Add caption


















රිවි කිරණ එක ලෙසින් වූවත්
අඳුරු දිනයක් ඉඟි කලා
අසුබ ලකුණක් දෝත දරමින්
නිමිති එක දෙක මතු වුනා

සුසුඳු පෙන පිඬු විසිරුවා නැගි
සුනිල රළ පෙළ කැලඹුනා
පෙර දිනක් දු‍ටු නොවු විරු ලෙස
රුදුරු වී ඝෝශා කලා

මිල කරන්නට නොහැකි ජීවිත
මිල මුදල් සමගින් අරන්
පෙර දිනක මුහුදට නොගිය රළ පෙල
එදා ගියේ පොදි බැඳ අරන්

අඳුරු සෙවනැලි සෝ සුසුම් මැද
දුක් අඳෝනා මතු වුනා
වාව ගන්නට බැරි දුකක්  දී
නැගුනු රළ මුහුදට ගියා

කාලයේ වැලි තලාවන් ගෙන් 

වැසුනු මුත් දුක් සෝ තැවුල්
රුදුරු රළ පෙළ බිලි පිදුම් ගෙන
නව වසක් නොදැනී ගොසින්

හද රිදුම් දෙන එවැනි විපතක්
යලි කිසිදු දින නොවේවා
සියළු දෙවි ‍රැක වරණ සමගින්
ලක් මවුන් නිති ‍රැකේවා ...

Tuesday, December 24, 2013

නත්තල් තෑග්ග...


සීතල උඳුවප් මාසේ සුවිශේෂිම දවස වන අසිරිමත් නත්තල් දිනය හරියටම 12.00 කණිසමට පල්ලියේ සීනු හඬත් එක්ක උදාවුනා... 

බෙත්ලෙහෙම් පුරේ පායපු දීප්තිමත් වල්ගා තරුවක කිරණ අතරේ හැංගිලා ජුසේතුමාගෙත් මරියතුමියගෙත් පුංචි පුතා විදිහට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ එළිය දැක්කෙ සාමයේ පණිවිඩයත් අරගෙනයි... 

ඒ අසිරිමත් නත්තල උදාවුනු මේ මොහොතේ අපේ බ්ලොග් ලියන යාළුවන්ට වගේම සියළුම ලෝක වාසී කිතුනු යාළුවන්ටත් නත්තල් සුබ පැතුම් ගෙන එන්න ඕනේ කියලා තුශානි හිතුවා..

ඉතින් ලැබුවාවු නත්තල " සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් වේවා "    කියලා තුශානි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

තුශානිට නත්තල් සීයා තෑගි අරන් ආපු හැටි තමයි පින්තූරේ තියෙන්නේ... පින්තූරෙත් තුශානිට ලැබුනේ නත්තල් තෑග්ගක් විදිහට.. ඒ නිසා තුශානිට හරිම සතුටුයි...

අනිත් සතුටු කාරණය තමයි අද තුශානි ලියන්නේ එයාගේ  20 වෙනි පෝස්ට් එක ...

බ්ලොග් පිටු අතරේ මෙච්චර දුරක් එන්න තුශානි හිතලා වත් තිබුනේ නෑ... ඉතින් ඒකට උදව් කරපු හැම කෙනෙක්ටම හුඟක් ස්තූති කරන්නත් තුශානි මේක අවස්ථාවක් කරගන්නවා ...

තුශානිට ඔයාලා වෙනුවෙන් දෙන්න නත්තල් තෑග්ගක් නම් නෑ.. එත් මේ වෙලාවේ  මගේ හිතට දැනෙන සතුට ඔයාලගෙ ජීවිත වලටත් ලැබෙන්න කියලා නත්තල් තෑග්ගක් විදිහට තිළිණ කරනවා...

Friday, December 20, 2013

නොඑන ගමනක දුක්බර මතකය ....





 එදා O/L  විභාගය ආරම්භවෙලා ගෙවුනු 2 වෙනි දවස. තුශානිගෙයි මල්ලිගෙයි ඉගෙනීමේ කටයුතු ගැනත්, ඊට ඕන කරන අනිකුත් දේ ගැනත් , උපකාරක පන්ති එක්කගෙන යාම් ඒම ගැනත් වගේ ගෙදර හැම කටයුත්තක්ම හොයලා බලලා කලේ සීයා.. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තා. උදෑසනින්ම ‍රැකියාවට පිටත් වෙන තාත්තා ආපහු ගෙදර එනකොට හවස් වෙන නිසා තාත්තගෙන් වෙන්න ඕන හුඟක් දේවල් වුනේ සීයගෙ අතින්. රජයේ සේවයේ නිරතවෙලා ඒ වෙනකොට සීයා විශ්‍රාම අරගෙන හිටිය නිසා ඊට ඕන කරන දැනුම වගේම කාල වේලාවත් සීයට ඕන තරම් තිබුනා.

 ජීවිතේ තවත් එක කඩ ඉමක් වෙච්ච O/L විභාගයට තුශානිත් සූදානම් වුනේ හොඳ ප්‍රතිපලයක් ගන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් ...
  
කලින දවස් 2 කේ වගේම එදත් තුශානි ගෙදර ආවේ ඉක්මනට කෑම ටික කාලා ඊලඟ දවසේ තිබුන ගණිතය ප්‍රශ්ණ පත්තරයට සූදානම් වෙන්න. වෙනදා වගේම එදා තිබුනු ප්‍රශ්ණ පත්තරය ගැන සීයත් එක්ක ටිකක් කතා කරලා තුශානි ගණන් හදන්න පටන් ගත්තා. කවදාවත් තනියම වැඩ ටික කරන්න කියලා නැගිටලා නොයන සීයා එදා තුශානි පාඩම් කරන තැනට වෙලා ඉදගෙන පාඩම් කියලා දෙන්නේ නැතුව එකපාරටම එයාගේ කාමරයට ගියා.. එදා එහෙම ගියේ ඇයි කියලා තුශානිට නිකමටවත් හිතුනේ නැති එක ගැන අදටත් තුශානි හුඟක් හිතින් දුක් වෙනවා.

ඊට ටික වෙලාවකට පස්සේ එකපාරටම ආච්චි කෑ ගහපු සද්දෙට හැමෝම කලබල වෙලා සීයගේ කාමරයට ගියහම තමයි දැක්කේ සීයා සිහිය නැතිව ඇදේ නිදාගෙන ඉන්නවා..  මෙච්චර වෙලා හොඳට කතා කරකර හිටිය සීයා එක පාරටම සිහිය නැතිව ඇද උඩ හිටිය විදිහ තාමත් තුශානිට මැවිලා පේනව වගේ..

කොහොමහරි තාත්තත් ලඟ පාත ගෙවල් වල කට්ටියත් එකතුවෙලා සීයව ඉක්මනින්ම ගෙදර ලඟ හිටිය දොස්තර මහත්තය ගාවට ගෙනිච්ච්ත් එයාගේ නියමයේ අන්තිමේ කොළඹ මහ රෝහල වෙ
ත ගෙනියන්න කටයුතු සිද්දවුනා.

එකපාරටම වෙච්චි දේ හිතාගන්න වත් බැරුව ආච්චිත් මාත් ගෙදර තනි වුනා. එදා රෑ වෙලාව ගත වුනේ හරිම හෙමින්. රෝහලට ගිය තාත්තත් අම්මත් අනිත් අයත් ආපහු ගෙදර ආවේ පාන්දරටත් කිට්‍ටු කරලා සීයව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලා කියන පුවතත් අරගෙන.

" සීයට ඉක්මනට හොඳවෙයි ..විභාගේ ඉවර වෙලා මම ඉස්කෝලේ ගාවට එන්නම් සීයා බලන්න එක්කන් යන්න... මගේ  දූ පැටියා අඬන්නේ නැතුව දැන් නිදාගෙන හෙට උදේ විභාගේ ලියන්න යන්න ඕනේ හොඳේ .. "කියලා අම්මා මගේ ඔලුව අතගාල කිව්ව මට මතකයි...

විභාගෙට යන්න හොඳ මානසිකත්වයක් නොතිබුනාත් ඊලඟ දවසේ විභගෙට තුශානි ගියේ විභාගේ ඉවරවෙලා ගණන් ප්‍රශ්ණ පත්තරෙත් අරගෙන සීයා බලන්න යන අදහසින්.. ඒත් විභාගේ ඉවර වෙලා ගේට්‍ටුව ගාව ඉස්පිරිතාලේ යන්න අම්මා එනකන් තුශානි බලන් හිටියත් පොරොන්දු වෙච්චි විදිහට අම්මා ආවේ නෑ. ඒ වෙනුවට නෑදෑ කෙනෙක් වෙන මාමා කෙනෙකුයි නැන්දා කෙනෙකුයි තමයි ඇවිත් හිටියේ.. 

 " අම්මයි තාත්තයි ආච්චිත් එක්ක ඉස්පිරිතාලේ ගියා. අපිට ඔයාව එක්කරගෙන එන්න කිව්වා.. "

" අද මාවත් එක්කන් යනව කිව්වනේ " එතකොට මම කිව්වා.

" හරි අපි දැන් යමුකෝ....." කියලා එයාලගෙ වාහනේට මාව නග්ගගෙන ගෙදර එන්න පිටත් වුනා. 

හිතේ තිබ්බ දුකටම ගෙදර එනකන් කිසිම දෙයක් මම කතා කලේ නෑ කියලා මට මතකයි.

ගෙදර ගේට්‍ටුව ගාවට වාහනේ එනකොට මුළු මිදුලෙම සෙනඟ පිරිලා හිටියා.. ඊට කලින් කිසිම දවසක මරණ ගෙදරක් නොවිච්ච අපේ ගෙදර එදා මරණ ගෙයක් විදිහට තිබුනු විදිහ අදටත් හීනයක් වගේ. ආච්චිගෙත් අම්මගෙත් අඬන සද්දය ඇර එතනින් එහාට සිද්ධවෙච්චි කිසිම දෙයක් මගේ මතකයේ නෑ. මතකයේ තියෙන පුංචි පුංචි තැන් වුනත් වචන වලට පෙරලන එක දරා ගන්න බැරි දුකක්.

අපේ ජීවිත වලට හුඟක් ලගින් ඉදලා ජීවිතයේ ඕනෙම කරන මොහොතක නොහිතපු විදිහට සීයා නොඑන ගමනක් යයි කියලා අපි හීනෙකින් වත් හිතුවෙ නෑ.

හදිසියේම රුධිර කැටියක් මොලයේ නහරයක හිරවීම නිසා නහර කිහිපයක් පුපුරා යාමෙන් ලේ වහනය නිසා සීයා මිය ගිය බවත් රෝහල් ගත්කර පසු දින උදේ  10.00 ට විතර ඔහු අපෙන් සමුගත් බවත් මරණ වාර්තාවේ සඳහන් වුනා..

අදහගන්නවත් බැරි වෙලාවක  මේ වගේ දෙයක් සිද්ධ වුනත් ඒ දුක දරාගෙන තුශානිගේ ගෙදර අයත්, නෑදෑයිනුත්, යාළුවොත්, ගුරුවරුත් තුශානිව විභාගයට යවන්න කටයුතු කලේ කොහොමද කියන එකත්, තුශානි හුඟක් ආදරය කල සීයගෙ නිසල දේහය ගෙදර තියෙද්දි තුශානි විභාගය ලිව්වේ කොහොමද කියන එකත් තාමත් හිතාගන්න බෑ.  කොහොම වුනත් මගේ විභාගය සීයගේ හිතේ තිබුනු ලොකු බලාපොරොත්තුවක්..  

අවුරුදු 9 ක් ගතවෙන අද දවසෙත් ඒ සිදුවීම මතක් වෙන වාරයක් වාරයක් පාසා සිය දහස් වරක් හිතින් අඬන මම එදා ඒ දුක කොහොම දරා ගත්තද කියන් එක ප්‍රශ්ණාර්ථයක්.. සමහර විට ඒ විභාගයට සීයගෙන් ලැබුනු ආශිර්වාදයක් නිසාවෙන් වෙන්න ඇති. A 9 ක් එක්ක තුශානි, සීයාගේ  බලාපොරොත්තුව සීයා හිතපු විදිහටම ඉෂ්ට කලා..

ඒ නිසා උඳුවප් මාසේ 16 වෙනිදාව කියන්නේ තුශානිගේ ජීවිතේ හුඟක් දුක්බර දවසක්. ඒ මීට අවුරුදු 9 කට කලින් තුශානියි, ගෙදර කට්ටියයි දාලා තුශානිගේ සීයා නො එන ගමනක් ගියත්ඒ මතකය තවමත් අපි අතරේම තියෙන නිසාවෙන්. මේ ලෝකේ හිටිය හොඳම සීයා අපිට හුඟක් ලඟින් ඉදලා අපිට ඕනෙම වෙලාවක අපිව දාල ගියා කිව්වොත් හරියටම හරි.

පහුගිය 16 වෙනිදාව පෝය දවසක් වෙච්චි නිසා ගෙදර කට්ටිය, පන්සලේ හාමුදුරුවන්ටයි , සිල් ඇත්තන්ටයි දානය පිලිගන්වලා ඒ පින් සීයට අනුමෝදන් කරන්න ඕනේ කියලා කල්පනා කරලා ඒ කරයුතු හුඟක් හොඳින් ඉෂ්ට කලා. ඒ උපදින හැම ආත්මයකම සීයා මගේම සීයා වෙලා උපදින්න කියන තුශානිගේ අහිංසක ප්‍රාර්ථනාවත් එක්ක. 


Sunday, December 15, 2013

පොහෝ දින පිලිගන්න හරසරින් සුපුන් සඳ සූදානමින් ...





නේක තරු වැල්  පිරිවරන්
වලා පට තිර පිස      දමන්
සුපිපි සේපාලිකා   සුවඳින්
චන්ද්‍ර මණ්ඩල ‍රැස්   අරන්


සිනහ පිරි මුව මඩල    මෙන්
ශ්වේත වර්ණෙන්  බබලමින්
සිල් සුවඳ සත වෙත්    අරන්
අමා කරුණා ගුණ       දරන් 


සීත ‍රැයේ දැල්වුනු      පහන්
පරදමින් ‍රැස්         විහිදමින්
කිරි දියර නැහැවු    ලෙසින්
බබලමින් සිත් සන්තොසින් 


අමාවක ඝනඳුරු               මකන්
ගුවන් ගැබ කල එළි          කරන්
පොහෝ දින පිලිගන්න හරසරින් 
සුපුන් සඳ                   සූදානමින්

Sunday, December 8, 2013

මාරු සල්ලි ...





කෝ මේ සාරංග... තාම නෑ...7.30 ට ක්ලාස් එකත් පටන් ගන්නවා.. 7.00 වෙනකොට ඇවිත් ඉන්නවා කියපු එක්කෙනා. දැන් 7.15 ත් පහුවෙලා. .. තරිඳු සාරංග එනකන් බලන් හිටියා..

කොහොමහරි ඊට විනාඩි 5 කට විතර පස්සේ ඔන්න සාරංග දාඩියත් දාගෙන හති ඇර ඇර දුවන වේගෙන චූට්ටක් විතර හෙමින් එනවා තරිඳු දැක්කා.

" අයියෝ ... වෙරි සොරි.. වෙරි සොරි.. පැය කාලයි හොඳේ පරකු වුනේ.. බස් එකේ ආවා නම් ඔන් ටයිම්.. ඈත ඉදන්ම සාරංග කියාගෙන ආවා ..


ඇයි බස් එකේ නෙවෙයිද ආවේ ? තරිඳු පුදුම වෙලා සාරංගගෙන් අහුවා.

" බලන්නකෝ මාර වැඩේ වුනේ ... බො‍රැල්ලෙන් බැහැලා මේ ටික එන්න බස් එකට නගින්න සල්ලි ගන්න හදනකොටයි දැක්කේ පර්ස් එකේ මාරු සල්ලි නෑ කියලා... ලඟ පාත කඩයක් වත් ඇරලා තිබුනේ නෑ.. උදේ පාන්දර කොන්දොස්තරට රුපියල් 1000.00 ක් දික්කරහම අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න අහගන්න පුලුවන් හින්දා ඔන්න ඔහේ පයින්ම ආවා .. සාරංග ක්ලාස් එකට එන ගමන් විස්තරේ කිවුවා.. 

හොඳ වැඩේ .. අපරාදේ බස් එකට නැග්ගට පස්සේ සල්ලි ගන්න මතක් වෙන්න තිබුනේ ... තරිඳු හිනාව තදකරගෙන කිව්වා..

කතාවෙන් කතාව දෙන්නම ක්ලාස් එකේ කාඩ් එක ගන්න කවුන්ටරය ගාවට ආවා..  සාරංග පරණ කාඩ් එක එලියට ගන්න වත් එක්කම ඒක අස්සේ තිබිලා රුපියල් 10.00 ක් බිමට වැ‍ටුනා.

" ෂික් .. මේ කොලේ කලින් මට හොයාගන්න බැරි වුනානේ එහෙම වුනානම් දාඩිය දාගෙන මෙහෙම උදේ පාන්දර එක්සයිස්  කරන්න ඕනේ නෑනේ .. දාඩිය පිහිදමින් සාරංග කියද්දී එතන හිටිය ගෑණු ළමයි ටිකත් හැරිලා බැලුවා ...

යමු යමු ... වොක් එක ශරීර සෞඛයයට හොඳයි වගේ මෙතනින් යන එකත් ශරීර සෞඛයයට හොඳයි...
ක්ලාස් එකට පරක්කු වෙලා ගිහින් එලියට වෙලා හිටගෙන ඉන්න වුනොත් අපි දෙන්නම අම්බ්රෙල්ල පවුඩර් තමයි කියලා ගෑණු ළමයි ටිකට අහෙන්නේ නැතිවෙන්න තරිඳු සාරංගගේ කනට කරලා කියලා සාරංගත් ඇදගෙන ක්ලාස් එකට ගියා ... 


ප.ලි - ඔය අම්බ්රෙල්ලා පවුඩර්  කිව්වේ කුඩේ කුඩු කියන එකටලු...



Sunday, December 1, 2013

එදා පටන් අදවනතුරු ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා ...

සීතල උඳුවප් මාසය ආරම්භවුනා ... අපි වගේම සත්තුත් සීත කාලය ගත කරන්න සූදනම් වෙන කාලයක් තමයි මේක. ඒ අතරින් සීත කාලය වෙනුවෙන් හරිම කඩිසරව කෑම එකතු කරන එක්කෙනෙක් තමයි අපේ තුන් ඉරි අප්පු..

ඉතින් තුන් ඉරි අප්පු ගැන ජන වහරේ එන ලස්සන කවි පන්තියක් මේ ලඟදී තුශානිට අහන්න ලැබුනා.. ඒ තුශානිගේ හොඳම යාළුවෙක් ඒක මුමුණ මුමුණ හිටපු වෙලාවක. හරිම ලස්සන කවි පන්තියක්..

තුශානිගේ යාළුවා මීට කලින් Unicode භාවිතා කරලා සිංහල අකුරු ලියල නම් තිබුනේ නෑ. මේ එයාගේ මුල්ම පරිවර්තනය. 

ඔන්න තුශානි යාළුවා වෙනුවෙන් එයා සිංහල අකුරුවලට පරිවර්තනය කරපු කවි පේලිය ඔයාලටත් දැනගන්න බ්ලොග් පි‍ටු අතරට එකතුකලා ..





ළමයිනි ඉස්සර කාලේ
පන්සල් පල්ලිය ඇතුලේ
රිදී සීනු තිබුනෙත් නැහැ
කවුරුත් එය දන්නෙත් නැහැ

එක දවසක් විහාරයක ලොකු උත්සවයක් දවසක
ලේනෙක් ඒ ලඟ උන්නා
ටින් ටින් ගා හඬ දුන්නා
ඒ හඬ සැම තැන පැතිරී මිනිසුන්ගේ සිත් පැහැදී
බුදු දහමත් හොදින් ඉගෙන බුදු බණ ඇසුවා

එහි සිටි කම්මල් කරුවෙක්
එදා රැයේ ගෙදර ගොහින්
රිදී කාසි ටිකක් රැගෙන එකට දමා උනු කෙරුවා
එයින් සීනුවක් තැනුවා
රිදී දිවක් මැද තැබුවා
උදේ විහාරයට ගොහින්
එය හයියෙන් හැඬවූවා

සක් දෙවියෝ හඬ ඇසුවා
ලේනගෙ හඬ බව දුටුවා
පණිවිඩකරු විගස යවා
ලේනා එහි ගෙන්වුවා
ගෙන්වා අත්ලෙහි රඳවා
රිදියෙන් ඉරි තුන ඇන්දා
එදා පටන් අදවනතුරු
ලේන් පිටේ ඉරි ඇත්තේ ඒ හින්දා
  
ප. ලි. - මතකයෙන් ලියූ කවි පන්තියක් නිසා වචන වල වෙනස්කම් තිබිය හැකි බව සලකන්න.
Related Posts Plugin for WordPress, Blogger...