Saturday, June 28, 2014

බ්ලොග් ලියන අයට සම්මන්ත්‍රණයක් ...

ඔන්න ඉතින් එකෝමත් එක දවසක අපේ බ්ලොග් ලියන යාළුවො කට්ටියට තිබුනලු සම්මන්ත්‍රණයක්. ඉතින් හැමෝම හරියටම වෙලාවට ඇවිත් සම්මන්ත්‍රණයට සහභාගී වුනාලු. සම්මන්ත්‍රණය බොහොම සාර්ථකව ඉදිරියට යන අතරතුරේ  කට්ටියම හරිම උනන්දුවෙන් දේශනය අහගෙන ඉන්න නිසා දේශනය පවත්වපු මහාචාර්යතුමාට හිතුනලු කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරන්න.

" හැලප.. මොකද හිතන්නේ අපි කට්ටියත් එක්ක පුංචි ක්‍රියාකාරකමක් කරමුද ? "

" අනේ කරමු මහාචාර්යතුමා මාත් මේ ටිකක් නිදිමෙතේ හිටියේ හැක හැක .. ඒ දේශක තුමා. " 

" හරි හරි ... එහෙනම් හැමෝම මේ බැලුම් ටික ගන්න.. අරගෙන පුම්බලා තමන්ගේ නම ලියන්න. " 

ඔන්න ඉතින් කට්ටිය බැලුම් ටික පුම්බලා මාකර් පෙන් එකකින් තමන්ගේ නම් ලිව්වලු මැකෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මහාචාර්යතුමා එතන තිබුන කාමරයක් පෙන්නලා, බැලුම් සේරම ඒ කාමරේට දාන්න කියලා කිව්වලු. 

හරි... එහෙනම් ජය වේවා !! විදානේ මුලින්ම බැලුමත් අරගෙන ගියාලු.. 

" අරූ, සහෝදර, විදානේ,දිනේෂ්, සඳුමල්, හැලප, දේශක, කකා කෝ ඔයාලගේ ඒවා.. දෙන්න මම ගෙනියන්නම් " කියලා නලීන් අයියා ඒ කට්ටියගේ බැලුම් ටික එකතු කරගෙන ගියාලු..

මධුරංග, අපි නම් "ම" යනු කියලා මනෝෂ්ගෙයි, මහේෂ්ගෙයි, මනෝජ්ගෙයි, මැලේගෙයි බැලුම් ටික එකතු කරගෙන ආවලු.

" මෙන්න අපේ බැලුම් ටික.... " කියලා අපූර්වි , ශානුගෙයි, දිලිනිගෙයි, රෙහානිගෙයි, මොණරිගෙයි, චාම්ස්ගෙයි, බස්සිගෙයි බැලුම් ටික අරගෙන ආවලු. 

කුරු‍ටු ගෑ ගී පවුරේ අයත් එයාලා කට්ටියගේ බැලුම් ටික අරගෙන ආවලු. 

ඉවාන් අයියයි, සිරා අයියයි, චතුරංග අයියයි, කොහොමත් පොදු වැඩ වලට කැමති නිසා ස්වේචාවෙන්ම ඉදිරිපත් වෙලා අනිත් අපේ බ්ලොග් ලියන යාලුවො හැමෝගෙම  බැලුම් බෝල ගෙනැල්ලා, බැලුම් බෝල ටික කාමරේ අසුරණ වැඩේ  බාර අරගෙන කලාලු.



කාමරේ පිරින්න බැලුම් බෝල ඇසුරුවහම මෙන්න මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ...  ( නම ඈතට පේන්නේ නෑලු හොඳේ...  :) )

ඊට පස්සේ මහාචාර්යතුමා කට්ටියටම කතා කරලා මෙන්න මෙහෙම කිව්වලු 

" හැමෝටම මම විනාඩි 3 ගානේ දෙනවා... ගිහිල්ලා තමන්ගේ නම ගහලා තියෙන බැලුම හොයාගෙන එන්න ඕනේ.. "


ඔන්න ඉතින් එක එක්කෙනා ගිහින් උත්සාහ කලත් කාටවත් විනාඩි 3 කදි නම් තමන්ගේ නම ගහපු බැලුම හොයා ගන්න බැරි වුනාලු. 

ආපහු කට්ටියටම කතා කරපු මහාචාර්යතුමා 

" හරි ... එහෙනම් අපි මෙහෙම දෙයක් කරමු. ඔයාලා හැම කෙනෙක්ම දැන් ගිහින් අහඹු විදිහට බැලුමක් හොයාගෙන ඒ බැලුම අයිති කාරයා හොයලා ඒයාට දෙන්න. හැබැයි මේකටත් මම දෙන්නේ විනාඩි 3 යි. "

 ඔන්න ඉතින් ආයෙමත් කට්ටිය දුවලා ගිහින් තමන්ට හම්බවෙච්චි බැලුමේ අයිතිකාරයා හොයාගෙන එයාට දෙන්න පටන් ගත්තාලු. විනාඩියක් වගේ බොහොම සුළු  කාලේකදි හැමෝටම පුළුවන් වුනාලු තමන්ට අයිති බැලුම ලබා  ගන්න. 


හැමෝටම හරිම සතු‍ටුයි.. ඉතින් එහෙම සතුටින් හිටිය කට්ටිය ගාවට ආපු මහාචාර්යතුමා මෙන්න මේ විදිහට තමන් කරන්න උත්සාහ කරපු කණ්ඩායම් ක්‍රියාකාරකම ගැන විස්තර කලාලු..

"මේ දේමයි අපිට අපේ ජීවිත වලදිත් වෙන්නේ.. අපි අනිත් අය ගැන චුට්ටක් වත් හිතන්නේ නැතුව හැමතිස්සේම අපේ සතුට හොයනවා. ඒත් එහෙම කොච්චර හෙව්වත් ඒ සතුට අපිට හොයා ගන්න බැරි වෙනවා එහෙමත් නැත්තම් සතුට හොයාගන්න හුඟක් කල් ගත කරන්න සිද්ධ වෙනවා.

අපිට ටික
ක් හිතලා බලන්න පුළුවන් නම් අනිත් අයගේ සතුට වෙනුවෙනුත් අපිට යමක් කරන්න පුළුවන්ද කියලා, ඒ අයගේ සතුට වෙනුවෙන් අපි යමක් කරන කොට නිකම්ම අපිට අපේ සතුටත් ලැබිලා තියෙනවා.  එතකොට අපිට වගේම අපේ ලඟ ඉන්න අයත්ට දැනෙන්නේ අපේ සතුට ලැබුනට වඩා ලොකු සතුටක්. ඒ නිසා හැමතිස්සේම තව කෙනෙක්ට සතුටක් හිතෙන දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපිටත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.

මම හිතනවා බ්ලොග් ලියන අය විදිහට ඔයාලට මේ පුංචි ක්‍රියාකාරකම ආදර්ශයට අරෙගෙන ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙනම් ආයෙමත් දවසක හමුවෙමුකෝ.. " කියලා මහාචාර්යතුමා කට්ටියට සමුදුන්නලු. 

ප.ලි - මේ කතාව තුශානිට දේශනයකදි අහන්න ලැබුන කතාවක් කට්ටියටම සතු‍ටු හිතෙයි කියලා හිතුන නිසයි මේ විදිහට ලියන්න හිතුවේ.

Thursday, June 19, 2014

අමුත්තෙක් ඇවිත් ...


ඔන්න අද තුශානි කියන්න යන්නේ, පහුගිය දවසක තුශානිගේ ගෙදරට ආපු අමුත්තෙක් ගැන. බලන්නකො ඔයාලත් අඳුරණවද කියලා....  මේ තියෙන්නේ එයාගේ පින්තූරයක්.

 හරියටම හරි....  ඩ්‍රැගන් ෆෘට් යාළුවෙක් තමයි ආවේ. ඩ්‍රැගන් ෆෘට් යාළුවා තුශානිගේ ගෙවත්තට ආවේ පහුගිය දවසක වුනත් තුශානි ඩ්‍රැගන් ෆෘට් පැලේ හිටෙව්වෙ නම් හුඟක් කාලෙකට කලින්.  ඉතින් ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක් එනවා දකිනකොටම තුශානිගේ ඉහෙත් මලක් පිපුණා වගේ සතුටක් දැනුන නිසාම ඩ්‍රැගන් ෆෘට් කතාව කට්ටියටම කියන්න දවසින් දවස පින්තූර ටිකකුත් එකතු කරගත්තා. 

ඩ්‍රැගන් ෆෘට් කියන්නේ කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයක්. පලතුරු ශාකයක් විදිහට වගේම විසිතුරු ශාකයක් විදිහටත් ඩ්‍රැගන් ෆෘට්  අද ජනප්‍රිය වෙලා තියෙනවා.


ඔය පින්තූරේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක්.  ඩ්‍රැගන් ෆෘට් මල් පිපෙන්නේ නම් රෑට.


මේ තියෙන්නේ උදේක ගත්ත පින්තූරයක්. සුදු පාටට හුරු ක්‍රීම් පාටක් තමයි ඩ්‍රැගන් ෆෘට් මලට තියෙන්නේ. පෙනුමෙන් නම් ටිකක් කඩුපුල් මලක් වගේ.



ඩ්‍රැගන් ෆෘට් මලේ තියෙන සුන්දරත්වය නිසාම Queen of night, Moon flower, Nobal Woman වගේ නම් වලිනුත් මේ
ඩ්‍රැගන් ෆෘට් මල හඳුන්වනවලු. 
 
 
ඩ්‍රැගන් ෆෘට්  මල පරවෙලා ගිහින් එතනින් ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය ඇතිවෙනවා. මුලින්ම කොල පාටට තිබිලා ඊට පස්සේ ටිකෙන් ටික රතු පාටට හැරෙනවා.


ඩ්‍රැගන් ෆෘට් විශේෂ කීපයක් තියෙනවා.

Hylocereus undatus කියන්නේ ඇතුලත සුදු පාට සහ පිට පොත්ත රතු පාටට හුරු මෙරුන් පාටක් ගන්නා විශේෂය.

Hylocereus Polyrhizus කියන්නේ ඇතුලත සහ පිට පොත්ත යන දෙකම රතු පාටට හුරු මෙරුන් පාටක් ගන්නා විශේෂය.

Selenicereus megalanthus කියන්නේ ඇතුලත සුදු පාට සහ පිටත පොත්ත කහ පාටක් ගන්නා විශේෂය.



මල් පොහොට්‍ටුව ඇතිවෙලා දවස් 30-35 වගේ කාලයක් ගතවෙනවා ඉදුණු ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් ඇතිවෙන්න.



මේ පින්තූරේ තියෙන්නෙ තුශානිගේ ඩ්‍රැගන් ෆෘට්  පැලේ හා හා පුරා කියල අපු මුල්ම ඩ්‍රැගන් ෆෘට්  ගෙඩිය කැපුවහම පෙනුන විදිහ. 

කෙලින්ම පලතුරක් විදිහට වගේම බීම, ජෑම්, අයිස් ක්‍රීම්, ජෙලි, වයින් විදිහටත් ඩ්‍රැගන් ෆෘට් රස බලන්න පුළුවන්. 

ඩ්‍රැගන් ෆෘට් වලින් ආහාර දිර වීමේ හැකියාව වැඩි කරනව වගේම පිළිකා මර්ධනය, දියවැඩියාව , රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනයටත් , රුධිර පීඩනය පාලනයටත් ඔසුවක් විදිහට යොදා ගන්නවා කියලත් දැන ගන්න ලැබුනා.

රස වගේම ගුණත් නිසා ඔයාලත් ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක රස බලන්න වගේම ඉඩ කඩක් තියෙනව නම් පැලයක් හිටවන්නත් අමතක කරන්න එපා. 
 

Thursday, June 12, 2014

දීර්ඝායුෂ ලැබූ පොඩි හාමුදුරුවෝ...

අද පොසොන් පෝය නිසාමද මන්දා වටපිටාවේ තියෙන්නේ හරිම අමුතු ලස්සනක්.  සුදට සුදේ සුදු ඇඳගෙන සිල් ගන්න යන සිල් ඇත්තො පාර දිගේ පේලියට පන්සල් යනවා. වත්තේ තියෙන සමන් පිච්ච වැල සුදු මල් චීත්තයක් ඇඳලා වගේ මල් වලින් පිරිලා. ගහෙන් ගහට පියඹලා යන කුල්ලොත් , අත්තෙන් අත්තට පැන පැන යන ලේන් පැංචනුත් වෙනදට වඩා ටිකක් එයාලගේ දඟ වැඩ අඩු කරලද මන්දා... හිතට ලොකු සැහැලුවක් දැනෙන නිසා පොසොන් පෝයත් මතක් කරලා පොසොන් දවස නිසාම පුංචි බණ කතාවක් කට්ටියට දැන ගන්න ලියන්න ඕනේ කියලා හිතලා තමයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ. 

මේක පුංචි හාමුදුරු කෙනෙක් ගැන කියවෙන  ලස්සන බණ කතාවක්. ඔන්න ඉතින් ඉස්සර එක පන්සලක පුංචි හාමුදුරු කෙනෙකුයි ලොකු හාමුදුරු කෙනෙකුයි හිටියලු. මේ පුංචි හාමුදුරුවෝ පුංචි වුනත් හරිම දක්ෂ විදිහට ලොකු හාමුදුරුවන්ගෙන් ධර්ම කරුණු ඉගෙන ගනිමින් බණ භාවනා කරමින් හැමෝගෙම හිත් දිනාගෙන හිටියලු.



දවසක් ලොකු හාමුදුරුවො කල්පනා කලාලු මේ පොඩි හාමුදුරුවන්ගේ අනාගතේ ගැන පොඩ්ඩක හොයලා බලන ඕනේ කියලා. ජොතිෂය ශාස්තරය හොඳට ප්‍රගුණ කරලා හිටිය ලොකු හාමුදුරුවො මේ පොඩි හාමුදුරුවන්ගේ උපන් වෙලාවට අනුව අනාගතේ ගැන බැලුවලු.

" මේ මොන විපතක් ද ... පොඩි නම ජීවත් වෙන්නේ තව එක දවසයි.. " 

ලොකු හාමුදුරුවන් තමන්ටම කියාගත්තා .. මොකක් හරි වැරදීමක් වත් වුනාද කියලා තවත් කීප වතාවක් බලාලා වැ‍රැද්දක් නැති නිසාත් මේ විපතින් පොඩි හාමුදුරුවන් බේර ගන්න විදිහක් නැති නිසාත් හෙට දවසෙ පොඩි හාමුදුරුවො කැමති දෙයක් කරන්න දෙන්න ඕනේ කියලා අන්තිමට ලොකු හාමුදුරුවෝ කල්පනා කලා. 

" පොඩි නම ඔබ වහන්සේට ගම් පලාතේ ගිහින් මව්පියො එහෙම බලලා එන්න ඕනේ නම් හෙට දිහාට ගිහින් එන්න පුලුවන් "

" අවසර ලොකු හාමුදුරුවනේ... මම ඔබ වහන්සේගෙන් අහන්නම කියලයි හිටියේ.. " 

"හොඳයි හොඳයි.. හෙට පාන්දරම සිරිපාලත් එක්ක ගමට වඩින්නකෝ " 

පහුවදා පාන්දර පොඩි හාමුදුරුවො පන්සලේ වැඩ කරන සිරිපාලත් එක්ක ගමට වඩින්න පිටත් වුනා.. මග දිගට හොඳටෝම වැස්ස.  (ම්.. මේ දවස වල වහින මොරසූරන වැස්ස වගේ වෙන්න ඇති.. ) ඉතින් මෙහෙම වැස්සේ යනකොට පොඩි හාමුදුරුවො දැක්කා වතුර පාරක කොටයක් පාවෙලා යනවා. ඒ කොටේ උඩ පුංචි සත්තු ගොඩයි.. හැක‍රැල්ලෝ, කූඹි, දිමියෝ, පණුවෝ, වගේ පුංචි සත්තු සීයක් විතර. පුංචි දියපාර දිගේ ගහගෙන යන කොටේ, ගඟට වැටෙන්න තියෙන්නේ තව චුට්ට දුරයි. 

සිරිපාල එපා කියද්දි පොඩි හාමුදුරුවො වතුර පාරට බැස්සා.. වතුර පාර හුඟක් සැර නිසා පොඩි හාමුදුරුවොත් වතුර පාරට ගහගෙන යන්න පටන් ගත්තා. ඒත්  මේ පොඩි හාමුදුරුවො තමන්ගේ උත්සාහය නම් අත ඇරියේ නෑ.. අමාරුවෙන් හරි වතුර පාරත් එක්ක ගිහින් අර කොටේ ගාවට කොහොමහරි ලං වුනා. වතුර පාර ගඟට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි පොඩි හාමුදුරුවො අර කොටේ අතට අරෙගෙන ඉවුර පැත්තට පිනුවා. 

පොඩි හාමුදුරුවන්ට හරිම සතු‍ටුයි... සත්තු සිය දෙනෙකුගේ විතර ජීව්ත බේරුනානේ.. ඒ සතුටත් එක්ක පොඩි හාමුදුරුවෝ ගමට වැඩියා. 

ඔන්න ඉතින් ඊලඟ දවස උදා වුනා. ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවො ගැන හරිම කම්පාවන් තොරතුරක් දැනගන්න තුරු ආවාසේ ඇතුලේ එහාට මෙහාට සක්මන් කරමිනුයි හිටියේ.

ඒ අතරේ ලොකු හාමුදුරුවෝ දැක්කා සිරිපාල බොහොම ඉක්මන් ගමනින්  ආවාසේ ඇතුලට එනවා..

" සමා අවසර ලොකු හාමුදුරුවනේ "

" කලබල වෙන්න එපා සිරිපාල මම හැම දේම දන්නවා. පොඩි නම ගෙනාපු ආයුෂ ඔච්චරයි ගිහින් ඝන්ඨාරේ ගහලා ගමේ අයට මේක දැනුම් දෙන්න."  

"අනේ අපේ හාමුදුරුවනේ .. සමාවෙන්න.... ඔබ වහන්සේ කියන දේ මට පැහැදිලි නෑ.. අපේ පොඩි හාමුදුරුවෝ අන්න  බෝ මලුව අමදිනවා.. මට ඉක්මනටම ගිහින් ඔබ වහසේට දානේ පිලියල කරන්නයි කිව්වා... " 

ඒ කතාව අහලා ලොකු හාමුදුරුවො ඉක්මන් ගමනින් බො මළුව පැත්තට වැඩියා.  පොඩි හාමුදුරුවො පුංචි රාහුල හාමුදුරුවො වගේ බෝ මළුවේ රන් වන් වැලි කැට රටා හිටින්න අමදිනවා.  

" අවසර අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ පන්සලේ තනිවම වැඩ ඉන්න නිසා අපි උදේ ‍රැයින්ම ගමින් පිටත් වුනා.  " 

" බොහොම හොඳයි පොඩි නම.. ගමනේදි විශේෂ යමක් සිද්ධ වුනාද ? " 

" එහෙමයි අපෙ හාමුදුරුවනේ " කියපු පොඩි හාමුදුරුවො තමන් වහන්සේ වතුරට ගහගෙන ගිහින් මැරෙන්න හිටිය සත්තු බේර ගත්ත විදිහ ලොකු හාමුදුරුවන්ට කිව්වා. 

"පොඩි නම හිත කලබල කරගන්ට එහෙම එපා. පොඩි නමගේ වේල පත්කඩේට අනුව පොඩි නම ඊයෙ වෙනකන් විතරයි අයුෂ අරගෙන ඇවිත් තිබුනේ. සත්ව ජීවිත හුඟක් බේර ගත්ත මහා පිනෙන් පොඩි නම තවත් ආයුෂ ලබලා තියෙනවා. මට ඒ ගැන බොහෝම සතු‍ටුයි.. ධර්මය රකින්න ධර්මය විසින්ම රකිනවා පොඩි නම  .. වඩිමු.... බුදුමැදුරට ගිහින් බුදු හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් බුද්ධ පූජාව පවත්වමු.  "

බුදු හාමුදුරුවෝ පිටිපස්සෙන් වඩින රාහුල හාමුදුරුවො වගේ පොඩි හාමුදුරුවොත් ලොකු හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් බුදු මැදුරට වැඩියා. 


Friday, June 6, 2014

සයුරු තරණය ....




පරතෙරක් නොපෙනෙනා සයුරක
මහමෙරක් පැතුමන් අරන්
සයුර ගුවනට මුසුවනා ඉම
ඈත සිතිජය වෙත යමින්...

යකඩ බඳ ලෙස ජීව ලද මුත්
ප්‍රාණ ලැබ ඩහදිය මතින්
සයුර හා උරෙනුර ගැටෙන්නට
නැකැත් මොහොතින්  පිටවෙමින් ...

පහන් තරුවෙන් එළිය ලැබගෙන
මින් රැලෙන් මං ලකුණු අසමින්
පෙළට නැග එන රළ මතින් පැන
නිම් වලළු පසු කර ගොසින්...

තනි වුනත් මහ සමුදුරේ මැද
පාළු සීතල රාත්‍රියේ
නිමාවක් දකිනා තුරාවට
හැරවුමක ඉඟි නොම වුනේ...

ජීවිතේ මෙය මැයි පසක් කර
දුක සතුට රළ පෙළ දිගේ
ගමන අවසන නැංගුරමලා 
 නැවත ගමනක මතු දිනේ...

Tuesday, May 20, 2014

සම්බුදු සිරිත සිතුවමට නැගූ පුංචි සිත්තරාවිය ...

වෙසක් සතිය කෙමෙන් කෙමෙන් නිමා වුනත් වෙසක් සිරිය නම් තාමත් වට පිටාවෙන් නිමා වෙලා නෑ. ඉතින් වෙසක් හා බැඳුනු තවත් සුවිශේෂී දෙයක් ගැන පුංචි සටහනක් තියලම වෙසක් සතියට සමු දෙන්න තුශානි තීරණය කලා. ඒ හෙට දවසේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළක් වෙනුවෙන් කැකුළු ගොමුවේ ඉඩක් වෙන් කරලා.

සරලව කියනවා නම්  පැන්සල් ඉරෙන්, පාට කූරෙන් ලොකු හපන් කමක් කළ පුංචි සිත්තරාවියකගේ අපූරු හැකියාවක් ගැන තොරතුරු ටිකක් කියන්න. ඇය නමින් ඉමාෂා නිමේන්දි. 7 වෙනි ශ්‍රේණියේ තමයි ඉගෙන ගන්නේ.. තුශානිගේ අසල්වැසි නිවසක ඉන්න ඇය අතින් සිතුවම් වූ චිත්‍ර වලින් නිර්මාණය වුනු වෙසක් තොරණ තමයි මේ පහලින් තියෙන්නේ..







සුදු කොළය පුරා ඇඳුනු පැන්සල් ඉරි එකින් එක එකතු වෙලා මිනිස් රූප ගොඩනැගෙන හැටිත් ඒ මිනිස් රූප එක එක පාට කූරු වලින් වර්ණවත් වෙන හැටිත් දවසින් දවස තුශානිට දකින්න ලැබුනා. ඒ දකින හැම වාරයක් පාසාම තුශානිගේ හිතට ලොකු සතුටක් දැනුනා වගේම මෙවැනි විශිෂ්ට නිර්මණයකින් එවා එළි දැක්වෙයි කියන ලොකු විශ්වාසයකුත් තුශානිගේ හිත ඇතුලේ තිබුනා. 

විශාල ප්‍රමාණයේ සුදු කඩදාසියේ නිර්මාණය වු සිතුවම් 10 ක එකතුවක් ලෙස මේ අපූරු තොරණ නිර්මාණය වුනේ ඒ බලා පොරොත්තුව මල් ඵල ගන්වමින්. සම්බුදු සිරිතේ විවිධ අවස්ථාවන් තමයි සිතුවම් වල තේමාවන් බවට පත්වෙලා තිබුනේ.ඉතින් මේ අපූරු තොරණ වෙසක් දින කීපය පුරාවටම ගමේ පන්සලේ පන්සල් භූමිය එළිය කරමින් ප්‍රදර්ශනය වුනා.

බ්ලොග් පි‍ටු අතරත් ඉන්නේ නිර්මාණයක් රසවිඳින්න පුළුවන්  නිර්මාණශීලී හදවතක් තියෙන පිරිසක් නිසාවෙන්ම මේ පුංචි සිත්තරාවියගේ හපන් කම් බ්ලොග් පි‍ටු අතරට  ගෙනැත් ඇයට ශක්තිය, ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා ඇගේ ඉදිරි ගමනට සුබ පතන් හිතාගෙනයි කෙටියෙන් වුනත් මේ සටහන තිබ්බේ.

Saturday, May 17, 2014

කැලණි පුර වෙසක් සිරි...

සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කරමින් මේ දවස් වල ලොව පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා.. ඒ ආමිස පූජා අතුරින් තොරණ හා පහන් කූඩු වලට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

තොරණ හා පහන් කූඩු වලින් රටම ආලෝකමත් වෙද්දී කැලණි පුරවරයත් වෙසක් සිරියෙන් නැහැවෙමිනුයි පවතින්නේ.. ඉතින් බුදු පියාණන් වහන්සේගේ පා පහස ලැබූ කැලණි පුරවරය ඒ වෙසක් අලෝකයෙන් නැහැවී පවති ආකාරය ලංකාවේ අනෙක් ප්‍රදේශ වල ඉන්න අපේ බ්ලොග් යාළුවන්ට වගේම විදෙස් රට වල ඉන්න අපේ බ්ලොග් යාළුවන්ටත්  රූපමය පෙළහරක් හෝ අත්විදින්න අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ කියලා හිතුන නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ.. 


මේ තියෙන්නේ විදුලි පහන් ආලෝකයෙන් වර්ණාවත් වුනු කැලණි විහාර භූමිය. විහාර භූමිය වගේම වෙසක් කලාපයත් එකම හිස් ගොඩක් විදිහට තමයි දිස්වුනේ.
රිවාර කූඩු ඉතා විශාල ප්‍රමාණයකින් නිර්මාණය වුනු වෙසක් කලාපය තුළ වු විශාලතම පහන් කූඩුවයි මේ.

ස්වභාවික අමුද්‍රව්‍ය වලට මුල් තැන දෙමින් මේ කූඩු බොහෝමයක් නිර්මාණය වී තිබීමත් කැපී පෙනෙන ලක්ෂණයක් වුනා.


මේ පහන් කූඩුවේ ඉහළ කොටසින් සම්බුදු තෙමගුලත් පහළ කොටසින් වෙස්සන්තර ජාතකයත් පෙන්නුම්කරලා තිබුනා ..

වෙසක් පහන් කූඩු වල තිබුනු තවත් එක ලක්ෂණයක් තමයි ඒවා බොහොම සියුම්ව නිර්මාණය කර තිබූ ඒවා වීම.

මේ බුද්ධගයාවේ ආකෘතියක්.


ම‍ටුළු යොදාගෙන කරපු අපූරු නිර්මාණයක්.


කැලණි පෙරහැරේ කරඬුව වඩම්මන ඇත් රාජයා තමයි මේ ඉන්නේ ...


පොල් ක‍ටු වලින් මේ අපූරු පහන් කූඩුව නිර්මාණය කරපු මාමා තමයි ඔය කූඩුව ලඟින් ඉන්නේ..


වෙසක් කාලාපය තුල තිබ්බ ලස්සනම කූඩු අතරින් තවත් එක ලස්සන කූඩුවක්..


වෙසක් කූඩු නිර්මාණය කරන්න වගේම ඒ සඳහා විවිධ වර්ණයන්ගේ යුක්ත විදුලි ආලෝකය ලබා දෙන්නත් බොහෝ වෙහෙස මහන්සි වෙලා තිබුනා.



මේ විදිහට කැලණි ගඟ අසබඩ පුජා භූමි ප්‍රදේශය පුරාවටම එක පෙලට නිර්මාණය වුනු වෙසක් පහන් කූඩු ‍රැසක් දකින්න ලැබුනා.

වෙසක් පහන් කූඩු අතරේ 11වෙනි වරට නිර්මාණය වුනු මහා තොරණ ගුත්තිල ජාතකය නිරූපණය කලා .. තොරණේ පැහැදිලි ඡායාරූප කිහිපයක් ගන්න නම් අවස්ථාව ලැබුනේ නෑ..

ඡායාරූපයට නැගුනේ තුශානිගේ සිත් ගත්ත පහන් කූඩු කීපයක් විතරයි.. ඉතින් පුලුවන් කමක් තියනව නම් වෙසක් සතිය පුරාවටම පැවැත්වෙන මේ කැලණි වෙසක් කලාපය නරඹන්න ඇවිත් සියසින්ම ඒ අසිරිය විඳ ගන්න කියලා තුශානි බොහොම ගෞරවයෙන් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා...


Wednesday, May 14, 2014

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

























කෙලෙස් ඝනඳුර මැකු පහන් සිල   සේ       
සාදු නද හා ‍රැව් දුන් ඝන්ඨා නද      සේ     
සිල් සුවඳ හා මුසු මල් සුවඳ           සේ      
සියළු සත සිත් නිවී පහන් වේවා !                

තරහ හිරු දු‍ටු පිනි බිදක්               සේ                       
මාන පෙණ පිඩු විසිර යන            සේ                   
මෝහ පහවන දිය බුබුළු              සේ                    
දුරුව සහනය ලැබේවා !        

සැලෙන සිත බෝ පතක්             සේ
දෝමනස් මල් පරව යන             සේ
අයස දිය මත ඇඳි ඉරක්              සේ
නික්ම ගොස් යලි නො ඒවා !            


සතර බඹ විහරණය ලත්             සේ
සතුට සැනසුම සුවය සම             සේ
උතුම් තෙමගුල පසක් කල          සේ 

ලොවට  යහපත උදාවේවා !            

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා  !
    
    

Monday, May 12, 2014

අපායේ යන පාර ...

සාමාන්‍යයෙන් කවුරුහරි කොහේහරි ගමනක් යන්න කතා කලොත් අපි හුඟ දෙනෙක් බොහොම කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ද වෙන්නේ. වෙනදාට උදේ පාන්දර  නැගිටින්න වුනාම තව ටිකක් වෙලා කොට්ටෙත් තුරුළු කරන නිදා ගන්න තිබුන නම් හොඳයි කියලා හිතුනත් එදාට එහෙම හිතෙන්නේ නැති එ හරි පුදුම සහගතයි..  

ඒත් කවුරුහරි අපායේ යන්න කතා කලොත් එයා අපිට කොයිතරම් හිතවත් කෙනෙක් වුනත් අපි එයත් එක්ක යන්න කැමති වෙන්නේ නෑනේ.. ඒ නිසා ඔන්න මම අපායේ යන්න එන්න කියලා නම් කතා කරන්නේ නෑ... ගිහින් බලලා එන්න කැමති කෙනෙක් ඉන්නව නම් යන පාරයි, යන්න අකමැති අයට පින්තූර ටිකකුයි, විස්තර ටිකකුයි කියන්න තමයි අද පෝස්ට් එක ලියන්නේ..




මෙන්න මෙහෙමයි අපායට යන්නේ...  

අපායට යන දොරටුව පිහිටලා තියෙන්නේ ලෝක සිතියමේ ඉරානෙටයි ඇෆ්ගනිස්තානෙටයි ටිකක් උඩින් තියෙන තුර්ක්මෙනිස්ථාන (Turkmenistan) කියන රටේ. තුර්ක්මෙනිස්ථානයේ කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze ) වල. ඔය පහලින් පෙන්නලා තියෙන්නේ හරියටම තැන..



තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතින් තමයි මේ ඩර්වේස් ගම්මානය තියෙන්නේ.. ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.




ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමුදර්යා ගංගාව හා කිසිල්කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා. ඒ කියන්නේ කැස්පියන් මුහුදට නැගෙනහිරින් තමයි ඩර්වේස්  පිහිටලා තියෙන්නේ..

මේ ප‍්‍රදේශයේ විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි තියෙනවා කියලා හොයාගෙන තියනවා.





සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා කියලයි දැනගන්න ලැබුනේ.





මේ ඉන්නේ අපායේ යන්න ලැස්තිවෙන අය..



 

2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කකුත්  නොවෙයි.




ඔන්න ඉතින් අපායේ යන්න අදහසක් එහෙම තියෙනව නම් ඔන්න අපායේ දොරටුව තියෙන තැනයි, පාරයි කිව්වා.. 

අර වෙසක් තොරණ්වල, රූකඩ වල, හොල්මන් මන්දිර වල තියෙන කටු ඉඹුලයි, ලෝ දිය හැලියයි, අපායේ ගිහිල්ල ඉන්න කට්ටියයි බලන්න නම් දොරටුවෙන් ඇතුලට යන්නම වෙනවා. :) 


ප. ලි. - පින්තූර සහ සියළු විස්තර අන්තරජාලයෙන්... 

Wednesday, May 7, 2014

යකඩ යකා එක්ක අතීත සවාරියක්...

පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර යකඩ යකා ගැන කතා බහ වුන නිසා යකඩ යකා එක්ක බැදිච්ච ටිකක් දුර්ලභ ගනයේ පරණ පින්තූර ටිකක් කට්ටියටම බලන්න බ්ලොග් පිටු අතරට එක් කරන්න ඕනේ කියලා තුශානි හිතුවා .. 

ඊ මෙල් එකකින් තමයි මේ පින්තූර ටික ලැබුනේ...  බලන්නකෝ...


1894 දී ඔහිය දුම්රියපොළ අවට ප්‍රදේශය.. 




1910 දී කඩුගන්නව දුම්රිය මාර්ගය... 





1860 දී කොළඹ - නුවර  දුම්රිය මාර්ගය ...












1894 දී ගිංතොට දුම්රිය පාලම ...


1890  දී පොතුහැර දුම්රිය පොළ ...




Related Posts Plugin for WordPress, Blogger...