Tuesday, October 21, 2014

අපේ ගමේ කඨින පෙරහැර ...

මතකයිනේද තුශානි පොරොන්දු වුනා ගමේ පන්සලේ කඨින පෙරහැර ගැනත් විස්තර ටිකක් කියනවා කියලා. පොරොන්දුව ඉෂ්ට කරන්න නම් ටිකක් ප්‍රමාද වුනා. ඒත් කොහොමහරි  ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම පෙරහැර ගැන විස්තර ටිකක් කියන්න තමයි අද මේ පෝස්ට් එක ලියන්නේ.


සාමාන්‍යයෙන් කඨින පෙරහැරවල් තියෙන්නේ පාන්දර වුනත් අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලයේ. කඨින චීවරය ගම වෙටේම අරගෙන ගිහින් ආපහු කඨිනය භාර ගත්ත ගෙදරට වැඩම කරවලා ඊට පස්සේ උදේට ඒ ගෙදර ඉඳලා චීවරය පන්සලට වැඩම කරවන එක තමයි අපේ පන්සලේ සිද්ධ වෙන්නේ. ඉතින් පෙරහැර පැවැත්වෙන්නේ හවස් කාලේ හින්දා පෙරහැරේ බර කරටම අරන් කටයුතු කරන්නේ දහම් පාසලේ ළමයි.

පෙරහැරට සති තුනකට හතරකට කලින්, දහම් පාසලේ උදේ රැස්වීමේදි පෙරහැර ගැන ළමයින්ව දැනුවත් කරලා, එක එක වැඩ කොටස් භාර දෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පන්ති මට්ටමෙන් කට්ටිය එකට එකතු වෙලා පෙරහැර ලස්සන කරන්න ඕන කරන හේවිසි, නැටුම්, වගේ විශේෂාංග පුරුදු පුහුණු වෙනවා. දන්නවද ... ඒ කාලේට තමයි වැඩිපුරම ළමයි දහම් පාසල් එන්නේ. මොකද දවසෙම කෙරෙන්නේ පුරුදු පුහුණු වීම්නේ. ඒ නිසා කවුරුත් කැමතියි දහම් පාසල් එන්න.

වෙස් නැටුම්, කලගෙඩි , කුළු, පන්තේරු, රබන්, උණ බට බෙර, ලී කෙලි, පතුරු වගේ නැටුම් ඒ අතර ප්‍රධාන වෙනවා. නැටුම් වලට අමතරව මල් බයිසිකල්, කොඩි ගෙනියන අය, මල් ගෙනියන අය, නිලමෙවරුත් පෙරහැර ලස්සන කරන්න දායක වෙනවා.

ඒ විදිහට සති තුන හතරක ඉඳලා පුරුදු පුහුණු වෙලා හවස තුනට විතර පෙරහැර ආරම්භ වෙනවා. ගස්ලබු ගෙඩියකට හීනියට තීරු කපපු සව් කොළ අලවලා ඇල්බීසියා කෝට්ටක හයි කරලා හරි පොල් කොලේක  අගිස්සක් ඉරටු ඉතුරු වෙන්න සුද්ද කරලා බයිසිකල් වල ගැටගහලා හරි හදන මල් බයිසිකල් තමයි පෙරහැරේ මුලින්ම යන්නේ. පෙරහැර එන සද්දේ හැමෝටම කියන්නේ දහම් පාසලේ හේවිසි කණ්ඩායම . ඊටත් පස්සේ බෞද්ධ කොඩි වගේම දහම් පාසල් කොඩි අරගත්ත ළමයි පෙළින් පෙළට පෙරහැරේ යනවා. එකකට එකක් නොදෙවෙනි විදිහට පුරුදු පුහුණු වෙච්ච නැ‍ටුම් කණ්ඩායම් තමයි ඊලඟට දකින්න පුළුවන් වෙන්නේ. සිලම්බු, ගෙජ්ජි සද්ද අතර බෙර පද තාලෙට කියවෙන කවි, නැ‍ටුම් වලට තවත් ජීවයක් ලබා දෙනවා. ඒ අතරේ බොහොම ගාම්බීර විදියට තේජස් ගමනින් යන නිළමෙවරුත් පෙරහැරට අමුතුම ගෞරවාන්විත බවක් ලබා දෙනවා. 

නිළමෙලා ගැන කිව්වහමයි මතක් වුනේ, තුශානිගේ මල්ලිත් ඒ විදිහට කීප සැරයක්ම නිළමෙ කෙනෙක් වගේ පෙරහැරේ ගිහින් තියෙනවා. මුතු කුඩයක් යටින් වට පිට බල බල යන එක ලේසි දෙයක් වගේ පෙනුනත් ඒක ලේසි පහසු කාරියක් එහෙම නෙවෙයි. මොකද ඔය නිළමෙ ඇඳුම් ඇඳගෙන හුඟක් වෙලා ඉන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්ලුනේ. ඇඳගෙන යන එක විතරක් නෙවෙයිනේ බොහොම ගාම්භීර විදිහට පෙරහැර ඉවර වෙනකන් යන්නත් ඕනේනේ. අමාරුයි කියලා හරි, කකුල් රිදෙනවා කියලා හරි මග නවතින්න කියලායැ. කොච්චර අමාරු වුනත් අන්තිම වෙනකන්ම එකම විදිහට ගාම්බීර ගමනින් යන්න ඕනේ. නිළමේ වගේ මුළු ගම වටේම ගියත් පෙරහැර ඉවර වෙලා පන්සලේ ඉඳලා ගෙදරට එන පුංචි දුර වත් ඒ ගන්න බැරුව තාත්තා මල්ලිව වඩාගෙන ආපු හැටි අදටත් නිළමෙවරු පෙරහැරේ යනකොට තාත්තා මතක් කරනවා. හි.. හි.. පෙරහැර පුරාම හිනා වෙවී ගාම්බීර විදියට ගියත් පෙරහැර ඉවර වෙලා ගෙදර ඇවිත්  මූණත් ඇඹුල් කරගෙන ඉන්නකොට අම්මයි තාත්තයි කකුල් දෙක උණුවතුරෙන් තවලා නිළමෙට කරණ සත්කාර දැක්කහම "ඒයාට නම් රජ සැප" කියලා ඉස්සර තුශානිට හිතිලා තියෙනවා. . :D

නැ‍ටුම් කණ්ඩායම් ඔක්කොටම පස්සේ තමයි කඨින චීවරය වඩම්මන එක සිද්ධ වෙන්නේ.  වියනක් යටින් එක එක්කෙනා මාරුවෙන් මාරුවට හිස මත තියාගෙන සාධු කාර මැද්දේ චීවරය වඩම්මනවා. අත්තම්මලා, සීයලා වගේම වැඩිහිටි තරුණ බේදයකින් තොරව පුංචි දුරක් හරි හිස මතින් චීවරය වඩම්මන්න හැම කෙනෙක්ම එක පෙළට යනවිදිහ හරියට එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යන කූඹි ‍රැලක් වගේ.
 
එකේ පන්තියේ ඉඳලා පහේ පන්තිය වෙනකම් ළමයින්ට පෙරහැරේ යන එක අනිවාර්ය නොවුනත්, පහේ පන්තියේ ඉඳලා ඉහළට යනකම් ළමයින් හැම කෙනෙක්ටම නම් පෙරහැරේ යන එක අනිවාර්ය දෙයක්. ඉතින් තුශානිත් පහේ පන්තියේ ඉඳලා දහම් පාසල් ගිහින් ඉවර වෙනකන්ම හැම අවුරුද්දකම කඨින පෙරහැරට සහභාගී වෙලා තියෙනවා. මල් ගෙනියන්න, කොඩි ගෙනියන්න නැටුම් නටන්න වගේම පස්සේ කාලේක යකඩ බැජ් එකකුත් ලැබිලා පෙරහැරේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙන්නත් අන්තිම අවුරුද්දේදී අර යකඩ බැජ් එක ටිකක් ලොකු බැජ් එකක් වුන නිසා සම්පූර්ණ පෙරහැරේම කටයුතු හොයලා බලන්නත් සිද්ධ වුන එක දීහා ආපහු හැරිලා බලනකොට බොහොම නිහතමානී සතුටක් දැනෙනවා. ඒ කාලේදී ඒ දේවල් ලොකු බරක් විදිහට හිතට දැනුනත් ඒ දේවල් වලට සහභාගි වීම නිසා ජීවිතයට හුඟක් දේවල් ලැබුනු බව නම්  අද වෙනකොට හොඳින්ම තේරුම් ගිහින් තියෙනවා.

පෙරහැර ගැන කියද්දි කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි කිසිම දවසක කිසිම කෙනෙකුට පෙරහැරේදි මොන විදිහේ හරි අනතුරක් නොවෙන එක. චුට්ටක් කකුල් රිදෙන්න ගත්තත් පෙරහැර ඉවර වෙලා රෑ පිරිත් අහන්නත් හැම කෙනෙක්ම සහභාගි වෙන්නේ මහන්සියක් නොදැනෙන ගානට. ඒ පින්කමේ තියෙන අනුහස් බලෙන් වෙන්න ඇති කියලා තමයි තුශානි විශ්වාස කරන්නේ.

 ඉතින් අවුරුද්දකට සැරයක් ගමේම අය එකට එකතු කරන කඨින පිංකම ගමට වගේම අපි හැම කෙනෙක්ගේම ජීවිත වලටත් ලොකූ ආශිර්වාදයක්.


~ පින්තූරය ගූගල් ගෙන් ~


Sunday, October 12, 2014

මහ පාන්දර ඇහුනු හේවිසි සද්දේ...

අද පාන්දර දෙකහමාරට විතර කණ ගාවම වගේ හරි සද්දෙට හේවිසි ගහනවා තුශානිට ඇහෙන්න ගත්තා. ඇසළ පෙරහැරවත් හීනෙන් පේන්න යනවද කියලා හිතුනු නිසාම ඇස් දෙක අරින්නෙත් නැතුව ටිකක් වෙලා එහෙම්මම හිටියත් ම්හු.... මුකුත් රූප පෙනුනේ නැති නිසා හිමීට ඇස් දෙක ඇරලා මොකද්ද මේ සද්දේ කියලා  බලන්න ඕනේ කියලා තුශානිට හිතුනා.  හරියට අර සමහර අය, ටිකක් වෙලා ඇස්දෙක පියාගෙන ඉඳලා නින්ද ගිහින්ද කියලා ඇස් ඇරලා බලනව වගේ.. :-)

ඒත් හේවිසි සද්දේ එක දිගටම ඇහෙනවා... මේ සද්දේ මොකද්ද කියලා දැන ගන්න තියෙන වුවමනාව නිසා කෝකටත් නැගිටලා ගිහින්ම බලනවා කියලා හිතාගෙන ඉතින් තුශානි ඔක්කොම ලයි‍ටුත් දාලා පඩිපෙල දිගේ පල්ලෙහට බැස්සා.. ඔන්න බයෙන් බයෙන් එහෙම නෙවෙයි හරිද.  

"පුතේ ඔයාටත් ඇහැරුනාද.. එහා ගමේ පන්සලේ කඨින පෙරහැර මේ සැරේ අපේ පාරෙනුත් යනවා. ඉක්මනට මුණ ටිකක් හෝදගෙන එන්න පඬුරක් පූජා කරන්න. " 

 සාලේ දොර අරින ගමන් තාත්ත කිව්වහම මාත් ඉතින් ඉක්මනටම ලැස්තිවෙලා පාර ගාවට දුවගෙන ගියා. ඒ වෙනකොටත් පෙරහැරේ මුලින්ම ගිය හේවිසි කන්ඩායම අපේ ගෙවල් පහු කරලා. හරිම විචිත්‍රවත් පෙරහැරකින් කඨින චීවරය පෙරහැරේ වඩම්මගෙන යන විදිහ පැයකට ආසන්න කාලයක් තාත්තත් අම්මත් මමත් මල්ලිත් පාර අයිනට වෙලා බලන් හිටියා.

අපේ ගමේ පන්සලේ කඨින පෙරහැර නම් පවත්වන්නේ හවස් වරුවේ. ඒ කියන්නේ හවස් වරුවේ කඨින චීවරය මුළු ගම පුරාම වඩම්මලා ආපහු කඨිනය බාර ගත්ත ගෙදර තැන්පත් කරලා පාන්දර කෙලින්ම ඒ ගෙදර ඉඳන් පන්සලට චීවරය වඩම්මනවා. කඨින පෙරහැර සංවිධානය කරන්නේ දහම් පාසලේ ළමයි නිසා තුශානිත් පුංචි කාලේ ඉඳලා සෑහෙන වතාවක් ඒ කඨින පෙරහැරේ ගිහින් තියෙනවා. 

ඉස්සර දහම් පාසලේදී හාමුදුරුවෝ අපිට කඨින පිංකම් ගැන කියලා දුන්නේ කඨින පිංකම අනික් පිංකම් වලට වඩා බොහොම සුවිශේෂී පිංකමක් කියලා. අර අට මහා කුසල් වලින් පලවෙනිම එක තමයි කඨින චීවර පූජාව. අට මහා කුසල් දන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නව නම් මේ තමයි ඒ අට මහා කුසල්.
 
1. කඨින චීවර පූජාව
2. අට පිරිකර පූජාව
3. ආවාස ගෙවල් පූජාව
4.  බුදු පාමොක් මහ සඟරුවනට දන් දීම
5. බුද්ධ ධර්මය ලිවීම, ලියවීම, දහම් පොත් බෙදා දීම
6. කෙත් වතු සඟ සතුකොට පූජා කිරීම
7. බුදු පිලිම, චෛත්‍ය, විහාර ගෙවල් සෑදීම
8. වැසිකිලි තනවා පූජා කිරීම 

දන්නවද , කවුරුහරි කෙනෙක් පංචානන්තරීය පාප කර්ම කරලා නැත්නම් මේ අට මහා කුසල් කිරීමෙන් පුලුවන්ලු  ඒ අනික් අකුසල විපාක යටපත් කරලා මේ අට මහා කුසල් වල කුසල විපාක ලබා දෙන්න. ඒ නිසාම ලොකු වුනාම කොහොම හරි මේ අට මහා කුසල් වලින් කීපයක් හරි කරන්න ඕනේ කියන සිතිවිල්ල නම් එදා අපේ පන්තියේ හිටිය කාගේත් හිත්වල තිබුනා. :-)
 
කඨින පිංකම් මේ අනිත් පිංකම් වලින් සුවිශේෂී වෙන්නේ කඨින පිංකමක් කරන්න පුළුවන් එක් විහාරස්ථානයක් අවුරුද්දකට එක වතාවක් විතරක් නිසා . අනිත් පිංකම් නම් අවුරුද්දේ ඕනම කාලේක, ඕනම වෙලාවක, ඕනම තැනක කරන්න පුළුවන්නේ. ඒ වගේම කඨින පිංකමක් කරන්න නම් විශේෂයෙන් උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා ඇසළ පොහොය කිරීම කියන විනය කර්මය කරලා වස් වසන්න සුදුසු ස්ථානයක පෙර වස් සමාදන් වෙන්න ඕනේලු. ඒ විතරක් නෙවෙයි මේ වස් තුන් මාසය පුරාවටම වස් ශික්ෂා පද කඩ කරන්නේ නැතුව භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන්නත් ඕනේ. අවම වශයෙන් කඨින චීවරයක් පූජා කරන්න උපසම්පදා වුනු භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් ඊට සම්බන්ද කරගන්න ඕනේ කියලා තමයි අපිට එදා හාමුදුරුවෝ කියලා දුන්නේ. 

කඨින කියන වචනෙට ස්ථිරසාර බව, නොසැලෙන බව, කම්පා නොවන බව වගේ තේරුම් තියෙනවා. කඨින පිංකමත් මහ පොළව මෙන් කම්පා නොවෙන, මහමෙර මෙන් සුළගින් නොසෙල්වෙන නොබි‍ඳෙන බල සම්පන්න පිංකමක් නිසා කඨින කියන වචනේ ව්‍යවහාර කෙරෙනවා කියලා තමයි එදා කඨිනය කියන වචනේ තේරුම අහපු අපිට හාමුදුරුවෝ කියලා දුන්නේ.  

කඨින පූජා පිංකමේ ආනිසංස ගැනත් හාමුදුරුවෝ මෙන්න මේ වගේ දෙයක් අපිට කියලා දුන්නා.  පිරිසිඳු දඹ රත්තරන් වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් හදලා පූජා කරත් ඒ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවර පූජා කිරීමේ කුසලයෙන් දහසයෙන් පංගුවක් වත් වෙන්නේ නෑ කියලා. ඒ වගේම මහමෙර තරම් උසට තුන් සිවුරු පූජා කලත් ඒ කරන පූජාවත් කඨින චීවර පූජාවෙන් දහසයෙන් පංගුවක් තරම් වත් වෙන්නේ නෑලු.  කඨින චීවරය මහන්න ගහන එක ඉඳි ක‍ටු පාරක් වුනත් සක්විති රජ කම ලබන්න තරම් හේතුවන කුසලයක් කියලත්, මනුස්ස ලෝකේදි නම් උත්තම පුරුෂයෙක් විදිහට උපත ලබන්නත්, උසස් කුලේක ඉපදිලා යස ඉසුරින් පිරිච්ච ජීවිතයක් ගත් කරන්නත්, සමාජයේ කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙක් වෙලා තේජස්, කීර්තිය ඇතුව ජීවත් වෙන්නත් මේ පිංකම හේතු වෙනවා කියලත්,   එදා අපි ඉගෙන ගත්තා. 

කඨින පිංකම් ගැන කිව්වත් කඨින පෙරහැර ගැන නම් මුකුත්ම කියන්න බැරි වුනානේ..  ම්... කමක් නෑ. අපේ ගමේ කඨින පෙරහැර තියෙන්නේනේ ලබන සෙනසුරාදා.  ඒ නිසා ඒ කිට්‍ටු වෙලාම තුශානි පුංචි කාලේ දහම් පාසල් යනකොට කඨින පෙරහැරේ ගියපු විස්තරයි වෙනමම පොස්ට් එකකින් කියන්නම්කෝ..

Tuesday, October 7, 2014

එකේ පන්තියේ මුල්ම දවස.. ( 1st Blog Anniversary )




මතකද අපි මුලින්ම ඉස්කෝලේ ගියපු දවස ? සමහර අයට නම් මතක නැතුව ඇති. ඒත් හුඟ දෙනෙක් කියයි ඔව් මතකයි කියලා. මොකද ඒ දවස අපි හැම කෙනෙක්ගේම ජීවිත වල හරිම සුවිශේෂී දවසක් නිසා. 

අලුතෙන්ම මහපු සුදුම සුදු ගවුමක් ඇඳලා අලුත් සපත්තු දෙකක් දාලා ලස්සන රෝස පාට අලුත් බෑග් එකකුත් පිටේ එල්ලගෙන අම්මයි තාත්තයි එක්ක ලොකු ඉස්කෝලේ ගියපු හැටි නම් තුශානිටත් තාමත් මතකයි. එක වසරේ ඉඳලා දෙක වසරට ගිය චූටි අක්කලා නෙළුම් මල් අලුත් නංගිලාගේ අතට දීලා, ඉස්කෝලේ  ඇතුලට එක්කරගෙන යනකොට, තුශානිට වඩා චුට්ටක් ලොකු අක්කෙක් නෙළුම් මලක් දීලා අම්මගේ අතේ එල්ලිලා හිටිය තුශානිව එකේ පන්තියට එක්කගෙන ගිය හැටි හරිම සුන්දර මතකයක්.  

හදිස්සියේම එකේ පන්තියට ගිය මුල් දවස ගැන ලියන්න හිතුනේ අද දවසත් එදා ඒ එකේ පන්තියට ගිය දවසත් එකම විදිහට තුශානිට දැනුන නිසා.   එදා තුශානිගේ අතින් අල්ලගෙන ආදරෙන් , පරිස්සමින් එකේ පන්තියට එක්කගෙන ගියා වගේම බ්ලොග් ලෝකය තුලත් වසරක් කාලයක් ගතකරලා වසරක් සම්පූර්ණ කරන්න, ඒ කියන්නේ එකේ පන්තියේ වාඩි වෙන්න ඉස්කෝලේ ගිය පලවෙනි දවසේ වගේම තුශානිට ශක්තිමත් අත්වැලක් ලැබුනා. 

බ්ලොග් එකක් හදා ගන්න, බ්ලොග් ලියන්න, අඩුපාඩු කම් හදා ගන්න වගේම, ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න,  බෑ කියලා නැවතුනාම කොහොම හරි එක්කරගෙන යන්න ඒ ලැබුන අත්වැල නිසා නොවෙන්න සමහර විට අද මේ පෝස්ට් එක වුනත් නොලියවෙන්න ඉඩ තිබුනා. ඉතින් ස්තූති කරන්න වචන නැති වුනත් හුඟක් ආදරෙන් වගේම ගෞරවයෙන් ඒ හැම දිරිගැන්වීමක්ම තුශානි මතක් කරනවා.

ගෙවුනු අවුරුද්ද ජීවිතේට අලුත් දේවල් එකතු වුනු ජීවිතේ ගත කරපු ලස්සනම අවුරුද්දක් කිව්වොත් මම හිතන්නේ එකේ වැ‍රැද්දක් නෑ. මොකද කලින් තුශානි  බ්ලොග් එකක් පටන් ගන්නව තියා බ්ලොග් ගැන වත් ඒ තරම් දැනීමක් ඇතුව හිටියේ නැති නිසා. "අ" යනු "ආ" යනු වත් නොදැන හිටිය බ්ලොග් කලාව ගැන දැන ගත්ත මුල් කාලේ කලේ, රෑ දවල් නැතුව බ්ලොග් වල පොස්ට් කියවපු එක. ඊට පස්සේ තමයි හිතුනේ ඒවට කමෙන්ට් එකක් දාන්න ප්‍රොෆයිල් එකක් වත් හදා ගන්න ඕනේ කියලා. අන්තිමට කොහොමින් කොහොම හරි ප්‍රොෆයිල් එකක් වෙනුවට බ්ලොග් පි‍ටුවක්ම නිර්මාණය වුනා. 

බ්ලොග් එකක් හදා ගත්තට ලියන්න කොහෙද වෙලාව, ඔපීසියේ වැඩයි අමතර අධ්‍යාපන වැඩ කටයුතුයි එක්ක වෙලාවක් හොයා ගන්න එක ලේසි පහසු නෑනේ. ඒත් ඉතින් පුළුවන් විදිහට පෝස්‍ටු 55 ක් ලියලා ඉවර කරගත්ත එක ගැන නම් හිතනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා.  කිසි දවසක නොදැක්ක අය වුනත් දවසින් දවස එකතු වුනු බ්ලොග් යාළුවන් ගෙන් ලැබුනු අදහස්, දිරි ගැන්වීම්, අඩුපාඩු හදා ගන්න ලොකු පිටිවහලක් වුනා. ඉතින් කැකුළු ගොමුවට ගොඩවැදුනු හැම කෙනෙක්ටම ස්තූති කරන්නත් තුශානි මේක අවස්ථාවක් කරගන්නවා.

ඉතින් පුළුවන් විදියට, ඉඩ කඩ ලැබෙන විදියට ඉදිරියේදිත් මොන මොනාහරි කුරු‍ටු ගාන්න උත්සාහ කරන්නම්කෝ

තුශානි ලියපු පෝස්‍ටු අතරේ ඔයාලා කැමතිම එකක් තියෙනව නම් කියලා යන්න කියලාත් ඔන්න පුංචි ඉල්ලීමක් කරනවා..

Wednesday, October 1, 2014

එදා ළමා දිනය සමරපු පුංචි ඔයා අද තරුණයෙක්...

තනියම මං අයිතිකරගෙන හිටිය හැමෝගෙම ආදරයෙන් ටිකක්
ඔයා ඇවිදින් ඉක්මනින්ම අයිති කරගත්තා...
අම්මගේ උණුහුමට තුරුළුවෙලා බීපු කිරි වලින් ටිකක්
ඔයා ඇවිදින් බීලා පුංචි බන්ඩිය පුරෝගත්තා... 

මං අඬනකොට මාව නලවන්න, මාව වඩාගෙන කතා කියන්න
ඔයා ඇවිදින් ඉස්සරට වඩා පරක්කුවුනා...
තාත්තා හවසට ගෙදර එනකොට ගේන හැම දෙයින්ම කොටසක්
ඔයා ඇවිදින් ඔයාටත් ඕනේ කිව්වා ...  

මේ ඔක්කෝම ඔයාට දෙන්න බෑ කියලා පුංචි හිතට එදා හිතුනත්
සුදු පාටට හිනාවෙන ඔයාගේ ලස්සන මුණ දැකලා ...
හුඟක් ආදරේ හිතුන නිසාම  ලැබුනු හැම දෙයක්ම 
ඔයත් එක්ක බෙදා හදා ගන්න පුරුදු වුනා ...


එක අම්මගේ කුසෙන් බිහිවෙලා
සොයුරු පෙම ලියලලා ගිහින්...
කාල කඩයිම් පහුකරන් යනකොට
අපිට අපි නැතුවම බැරිවුනා ...

වෙලාවකට යාළුවෙක් වගේ
මං කියන දේවල් අහගෙන හිටියත්...
තවත් වෙලාවක හුඟක් පරිස්සමින් මාව බලාගෙන
අයියෙක් වගේ දැනමුතුකම් දෙනවා ...

 මට නම් බෑ ලොකු මිහිහෙක් වෙන්න
ඉස්සර වගේම අදටත් කියන ඔයා ...
ජීවිතේ කඩයිම් පහු කරගෙන ඉස්සරහට යනකොට
අම්මා තාත්තාත් එක්ක මාත් හුඟක් සතු‍ටු වෙනවා ...


එදා පොඩි ළමයෙක් වගේ ඉඳගෙන
ලෝක ළමා දිනේ තමයි මගේ උපන් දිනේ...
කියලා හැමෝටම කියපු ඔයා අද
ළමා කාලය පහු කරපු තරුණයෙක් වෙලා...

ඔයා දකින ඒ ඔයාගේ ලෝකේ දිනන්න
දිරිය ශක්තිය ආශිර්වාදයත් එක්ක...
සුබම සුබ උපන්දිනයකට ආසිරි පතනවා
මුළු හදවතින්ම මට ඉන්නේ ඔයා විතරක් නිසා...

Tuesday, September 23, 2014

පෙත්ත පුතා...

අද තුශානි කියන්න යන්නේ මීට ටික කාලෙකට කලින් තුශානිට වෙච්චි ඇබැද්දියක් ගැන.. ම්.... පෙත්ත පුතා කියලා උඩින් ලියලා තියෙන නිසා ඔන්න කියන්න යන්නේ ගිරවෙක් ගැන කියලා වරදවා වටහා ගන්න එහෙම එපා හොඳද .. අහන්නකෝ කතාව ...

එදා තුශානි හොඳටෝම උණ හැදිලා හිටියේ.. හැමදාම බෙහෙත් ගන්න දොස්තර ගාවට බෙහෙත් ගන්න ගියාම දොස්තර හදිස්සියෙම කොහෙද ගිහින් බෙහෙත් සාප්පුවත් වහලා. 

" දැන් මොකද දූ අපි කරන්නේ.. වෙන දොස්තර කෙනෙක්ගෙන් වත් බෙහෙත් ටිකක් ගමු නේද.. ඔයාට අමාරුයිනේ.. " අම්මා කිව්වා. 

"අනේ අම්මා .. මට බෙහෙත් ඕනේ නෑ.. අපි ගෙදර යමු.. " 

" එහෙම කියලා බෑනේ.. මේ ලඟ ඉන්නව තව දොස්තර කෙනෙක්. අපි එයා ගාවට යමු . " කියලා ඔන්න අම්මා මාවත් එක්කගෙන ඒ දොස්තර ගාවට යන්න පිටත් වුනා. 

"ඉස්සර හිටියේ දැන් ඔය ඉන්න දෝස්තරගේ තාත්තා.. මිනිස්සු එයාට කිව්වේ පෙත්තා දොස්තර කියලා. පෙති සෑහෙන ගොඩක් දෙනවා බොන්න." යන ගමන් අම්මා කිය කිය ගියා.

"ඔන්න අම්මා, මට නම් බෙහෙත් ගොඩක් බොන්න බෑ.." බෙහෙත් බොන්න තියෙන අකමැත්ත නිසා
තුශානිට ඕනේ වුනේ ගෙදර යන්න.

"හා හා... අපි ගිහින් බලමුකෝ.. දැන් ඉන්නේ හිටිය දොස්තරගේ පුතානේ එයා එහෙම නැතුව ඇති. "

කොහොමින් කොහොම හරි තුශානිට ඒ දෝස්තර ගාවට යන්න වුනා..

" අහ්.. මොකද මේ ළමයට.. ? " දොස්තර ගාව පු‍ටුවේ වාඩි වෙනකොට දොස්තරගේ අර බෝතල් අඩි කන්නාඩි දෙකෙන් මං දිහා බලලා ඇහුවා..

ම්හු.. සද්දයක් නෑ..  ( හි.. හි.. මං ඉතින් උත්තර දුන්නේ නෑනේ.. )

ඉතින් ලෙඩ වෙලා ඉන්න අයට ඔය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්ද... මං ඉතින් අම්මා දිහා බැලුවා..   

" ඩොක්ට.. මෙයාට ඊයේ ඉඳලා උණ " පොඩි කාලේ වගේම අම්මා ඩොක්ටට විස්තරේ කිව්වා.  

හරි... අපි උණට මේ බෙහෙත බොමු.. උණ තිබුනා නම් කැස්ස හෙම්බිරිස්සවත් ටිකක් ඇති. මම ඒවටත් බෙහෙත් දෙන්නම්කෝ. වෙද නලාව තියලා බලන ගමන් දොස්තර හෝ ගාලා බෙහෙත් ලියනවා.
" කෝ.. කහින්න බලන්න.. කැස්ස මේ සිරප් එකත් බොන්න. ඔළුවේ කැක්කුමටත් මම බෙහෙතක් දෙන්නම්.. "

ඔළුවේ කැක්කුම කලින් තිබුනේ නම් නෑ. දැන් නම් ඔළුවේ කැක්කුමයි කලන්තෙයි දෙකම තියෙනව වගේ. ලියන බෙහෙත් වට්ටෝරුව දැක්කහම තුශානිට දැනුනා. ඒත් ඉතින් කලන්තේ වගේ කිව්වෝත් තවත් බෙහෙත් වැඩි වෙන නිසා තුශානි සද්ද නැතුව හිටියා. කොහොමින් කොහොමහරි අන්තිමට බලනකොට කෝලේ ඉවර වෙන තැනටම බෙහෙත් ලියලා.

" වෙන ලියන්න ඉඩ නෑනේ. ඒ නිසා වෙන බෙහෙත් නම් නැතුව ඇති. " කියලා හිතනකොටම මෙන්න දොස්තර තවත් කොලයක් අරගෙන බෙහෙත් ලියනවා. 

ලෙඩ ටික පැත්තක තියලා කෑ ගහල අඬන්න තරම් හිතුනා. මොනව කරන්නද.. :(

අන්තිමේදි දෙවෙනි කොලෙත් පිරෙන්නම බෙහෙත් දීලා තමයි රත්තරන් පාට දාරයක් තිබ්බ ලස්සන් නිල් පාට ඉරි ඉරි පෑන මේසේ උඩින් තිබ්බේ. ඇයි ඉතින් ලියන එක දිහා බලාගෙන හිටිය වෙලාවේ හැටියට ඔය සේරම විස්තර මතක හිටිනවනේ.. හි.. හි.. 

යන්තම් හරි.. දැන්වත් ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා හිත හදා ගන්නකොටම මෙන්න දොස්තර ආයේමත් උපදෙස් මාලාවක් දෙන්න පටන් ගත්තා..

" දවස් තුනක් විතර යනකන් හොඳට පරිස්සම් වෙන්න ඕනේ.. ඇල් වතුර අල්ලනවත් එපා. සීතල කෑම බීම සපුරා තහනම්. උණු වතුර තමයි දිගටම පාවිච්චි කරන්න ඕනේ. වේවැලක් තියාගෙන ටීචර්ලා උපදෙස් දෙනව වගේ මං දිහා බලලා ටික
ක් සැරෙන් වගේ දොස්තර කිව්වා. "

" අනේ මට නම් බෑ ඕවා කරන්න. මට මේ එච්චර බර පතල ලෙඩක් නෑනේ.. ඊටත් මම ඔය සැරෙන් කියන කිසිම දෙයක් කරන්නේ නෑ.. " එහෙම හිතුවට කිව්වේ නෑ.. හි.. හි.. හොඳ ළමයෙක් වගේ අහගෙන ඉඳලා ඩොක්ටට තැන්කූ කියලා බෙහෙත් ගන්න තැනට ආවා. 

බෙහෙත් ලියපු කොළ දෙක දුන්නා විතරයි බෙහෙත් දෙන මනුස්සයා මැෂින් එකක් වගේ සුදු පාට කවර වලට රතුපාට, කහ පාට, නිල් පාට බෙහෙත් පෙති අහුරු අහුරු දානවා. අනේ  මේවා ස්මාටීස් වුනා නම් කොච්චර ශෝක්ද.. ( අර චොක්ලට් ඇතුලේ තියෙන පාට පාට ඒවා. ) කියලා හිත හිත තුශානිත් බෙහෙත් ටික දිහා බලන් හිටියා. 

අන්තිමේදි කිලෝ එකක් විතර බර බෙහෙත් ගොඩකුත් අරගෙන තමයි බෙහෙත් සාප්පුවෙන් එලියට එන්න වුනේ. 

" ඔය බෙහෙත් ඔක්කොම නම් බොන්න ඕනේ නැති වෙයි. බලමුකෝ තාත්තටත් පෙන්නලා. ඕන ඒවා විතරක් බලලා බොමු." මූණත් අඹුල් කරගෙන බෙහෙත් ගොඩත් තුරුළු කරගෙන යන මං දැකලා පව් කියලා හිතිලද කොහෙද අම්මා කිව්වා...  

ඔන්න ඒක අහුවහම නම් ඒ වෙලාවෙම තුශානිගේ ලෙඩ ඔක්කොම හොඳ වුනා වගේ දැනුනා.. ඇයි ඉතින් මේ බෙහෙත් කන්ද කොහොම බොන්නද . 

 " ඔව් අම්මේ මිනිස්සු කියන එක හරි.. එයත් පෙත්ත පුතෙක්ම තමයි.. ඔන්න අපහු නම් කොච්චර ලෙඩ වුනත් ඒ දොස්තර ගාවට නම් යන්න එන්න බෑ හොඳේ.."  කියලා අම්මගේ අතේ එල්ලිලා ගෙදර ආවා.
 

Thursday, September 11, 2014

සිටිය හැකිදෝ කඳුලට නෑවිදින් ...





වලා පටලක් ගමන් ගත් ලෙස
දසුන් බොඳකර දෙනයනේ
පියාපත් තෙත බරිත වු ලෙස
දැවටි දැවටී ඇහි පියේ

උල්පතක දිය මතුවනා ලෙස
 
සැනින් මතුවි නෙත් ඉමේ
දෝරේ ගලනා දිය කඳක් ලෙස
දෙකොපුලෙන් රූටා වැටේ

දරන්නට බැරි මහමෙරක් ලෙස
නෙතු පියන් දෙක තෙරපමින්
ගිලිහිලා එන වැහි පොදක් ලෙස
සරයි ඔබ මොබ  වත්සුනු වතේ

 සිහිල දුන්නත් පිණි පොදක් ලෙස
තුටින් පිරිපුන් නෙත් කොනේ
දුක සමග උණු කඳුලු බිදු ලෙස
නැගෙයි ගිනි දැල්ලක් ලෙසේ

නැගෙන ලතැවුල් රළ පෙළක් ලෙස
එකින් එක පෙළ ගැහි ගැහී
වෙරළ ඒ හැම දරනවා ලෙස
කඳුල බර කර පින්නාගෙනේ

හැමූවත් සැඩ සුළං රළු ලෙස  
බි‍ඳෙන් බිඳ බාදාවන් මතින්
නොදැන නොහැගෙන අජීවී ලෙස
සිටිය හැකිදෝ කඳුලට නෑවිදින්...  



Wednesday, September 3, 2014

ඔපීසියේ රස කතා - (2)

ඔපීසියේ රස කතා කියවන්න වැඩිදෙනා කැමති නිසා ඔන්න තවත් රස කතාවක් ලියන්න හිතුවා.. :) ඉතින් මුල් කතා දෙක කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නව නම් මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා එන්නකෝ..



අපේ ඔපීසිය විදේශීය රටවල් එක්ක ගණුදෙනු කරන ආයතනයක් කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා එක එක වැඩ වලට නිතර සුදු මහත්තුරු ඔපීසියට යන එන එක ලොකූ අමුත්තක් නෙවෙයි.

ඉතින් ඒ යන එන වෙලාවට අපිටත් ඔය ටොපි චොකලට් බැග් එකක් එහෙම ගේන්න සමහර අය නම් අමතක කරන්නේ නෑ.. හප්පේ එතකොට ඉතින් අපිට හරි සතු‍ටුයිලු. බැරි වෙලාවත් ඒ ටොපි චොකලට් බැග් එක ලැබුන කෙනා තුශානි එහෙම වුනොත්, එතකොට තුශානිට කට්ටියගෙන් සැලකිලි ගොඩයි.. පාර්සලය උස්සගෙන යන්න, ‍රැපින් එක ගලවන්න, බෙදන්න කට්ටියගෙන් හරි උදව්.. :D හැබැයි ලැබෙන දේ ටිකක් හුරු පුරුදු නැති පිට රට කෑමක් නම් ඒක මුලින්ම රස බලන්න කෙනෙක් හොයාගන්න ටිකක් අමාරු වෙන දවසුත් නැතුවම නෙවෙයි. මොකද නොදන්න කෑම කාලා එක එක අකරතැබ්බ වලට මුණදීපු අවස්ථා අපේ ඔපීසි ඉතිහාසේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක් කවුරුහරි රස බලලා තත්වේ කොහොමද කියලා බලලා තමයි අනිත් අය කන්න පටන් ගන්නේ.. ඔන්න දැන් තුශානිට හම්බවෙන ඒවා අපිටත් ඕනේ කියන්න ඔට්‍ටු නෑ ..

හරි හරි දැන් කතාව අහන්නකෝ..

පරා ගැනයි ජගා ගැනයි කතා දෙකක් කිව්ව නිසා අද කියන්නේ සරා ගැන කතාවක්. 


සාමාන්‍යයෙන් ඔපීසියට සුදු මහත්තුරු ආවහම ගණුදෙනුවට සම්බන්ද සාකච්ඡා තියෙන එක තමයි කෙරෙන්නේ.. අදාල අය ඒකට සම්බන්ද වෙලා පැය කාලේ ඉඳලා මුළු දවසම වෙනකන් වුනත් සාකච්ඡා තියෙන වෙලාවල් තියෙනවා. 

එදත් ගණුදෙනුවක් කතා කරගන්න සුදු මහත්තුරු දෙන්නෙක් අපේ ඔපීසියට අවා. වෙලාවට කලාවට වැඩේ කෙරෙන්න ඕනේ නිසා අපේ කට්ටියත් අමාරුවෙන් වුනත් කියපු වෙලාවටම සාකච්ඡාවට සහභාගි වුනා.

" මේ බොස් අනිත් මීටින් එකේ ඉඳලා එන්න ටිකක පරක්කු වෙනවලු.. බොස් එනකන් අපිට මේ දෙන්නත් එක්ක කතා කර කර ඉන්නලු.. "   බොස්ගෙන පණිවිඩයක් අරන් අපේ එක්කෙනෙක් එතනට කියාගෙන වා. 

මොනව කරන්නද සුදු මහත්තුරු දෙන්න හිනා වෙලා ඔළුවත් නමලා ආචාර කරාට පස්සේ ආපහු හැරිලා යන්නයැයි. කට්ටියම දත් 32 ම පෙන්නලා හිනාවෙලා ඔළුවත් නමලා ආචාර කරලා මේසේ වටේට වාඩි වුනා. 

"හපොයි බොස් එනකන් ඉතින් මුණුත් එක්ක කතා කරකර ඉන්න එපැයි" සුදු මහත්තුරුත් එක්ක හොඳට හිනාවෙලා සාරා කට්ටියටම ඇහෙන්න සිංහලෙන් කිව්වා.. 

ෂ්.. කෑ ගහන්න එපා මෙයාලා මොනාහරි හිතයි.. එක්කෙනෙක් කිව්වා.

"පිස්සුද .. සිංහලෙන් කියන ඒවා මෙයාලට තේරෙනවද " කියලා සරා සුදු මහත්තුරුන්ට එක එක දේවල් කිව්වා. කියපු දේවල් වලට කට්ටියටම හොඳටම හිනා. එත් ඉතින් හිනා වෙන්නයැ. අපිත් ඉතින් හිනා නොවී අමාරුවෙන් ඉන්නවා  සුදු මහත්තුරු මොනාහරි හිතයි කියලා

සුදු මහත්තුරු දෙන්නත් ගෙනත් දීපු ශ්‍රී ලංකන් ටී වල රස බල බල අපිත් එක්කත් හිනා වෙලා දැන් ඉන්නවා. 


ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ අපේ බොස් කඩිමුඩියේ ආවා..
"හෙලෝ මිස්ටර් xxxxx  නයිස් ‍ටු සී යු... " කියලා සුදු මහත්තුරු දෙන්නටත් ආචාර කරලා කතාව පටන් ගත්තා.

මේ ඔයාලා දන්නවද මේ මහත්තුරු දෙන්නා නිතර ලංකාවට යන එන අය. මීට කලින් අපේ ඔ‍ෆිස් එකට ඇවිත් නැති වුනාට අපේ අනිත් ආයතනේ හුඟක් වැඩ වලට ඇවිත් තියෙනවා. කොච්චර ලංකාව පුරුදුයි ද කියනව නම් හොඳට සිංහල තේරේනවා.. 

සුදු මහත්තුරු දෙන්නත් හිනා වෙලා ඔළුව වනනවා. 

කට්ටියටම හීන් දාඩිය දාන්න ගත්තා.. විශේෂයෙන් සරාට.. මොකෝ වෙච්චි දේ බොස්ට කියන්නැයි.. 

"ඇයි දෙයියනේ මේ විස්තර බොස් අපිට කලින් කිව්වේ නැත්තේ.. " සරා එහෙම කිව්වේ නෑ.. ඒත් අනිවාර්යයෙන්ම එහෙම හිතෙන්න ඇති කියලා සරාගේ මූණ දැකපු අපි හැමෝටම හිතුනා. 

අනිත් එක සුදු මහත්තුරු වෙච්චි දේ බොස්ට කියන්න ගත්තෝත් විනාසයක් වෙන්නේ.. කට්ටියම එක එක්කෙනාගේ මුණු බල බල හිතින් හිත හිත හිටියේ. 

කොහොමින් කොහොමහරි බොස්ගේ පරක්කුව නිසා බොස්ම වැඩේට මුල් වෙලා සාකච්ඡාව කරගෙන ගිහින් අවසානයට ලඟා වුනා.

බොස් ඉස්සරහ සමාව ගන්නත් බැරි නිසා අපේ කට්ටියත් මුකුත් නොවුන ගානට වැඩේට ඕන කරන තොරතුරු දීලා වැඩේ ඉක්මනටම ඉවර කරගත්තා.

අනේ ඉතින් සුදු මහත්තුරු දෙන්නත් කිසිම අමනාපයක් පෙන්නනේ නැතුව වැඩේට සම්බන්ද වෙලා ගෙනාපු ටොපි චොකලට් පාර්සලේත් දීලා යන්න ගියා. අන්න ඒ වෙලේ තමයි කට්ටියටම යන්තම් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වුනේ.  සරා
කොහොම ඇතිද කියලා හිතා ගන්න පුළුවන්නේ.

කොහොමින් කොහොම හරි යන්තම් ඉතින් එදා වැඩේ දි කිසිම ප්‍රශ්ණයක් වුනේ නෑ.. ඒත් ඉතින් එදයි පස්සේ නම් සුදු මහත්තුරු ඉස්සරහදි එයාලට මුකුත් කියන්න සරා තියා වෙන කෙනෙක් වත් හිතුවෙ වත් නෑ.. හි හි.. ඔන්න ඕවා ඔයාලටත් හොඳ පාඩම්.


Thursday, August 28, 2014

වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි..... 49+




කවුරුහරි කෙනෙක් අපිට හුඟක් ආදරෙයි කියලා හිතෙනකොට දැනෙන සතුට...

සතුටෙන් හිනා වෙන වෙලාවෙදි වගේම දුකෙන් අඬන වෙලාවෙදිත් කවුරුහරි බලාගන්න ඉන්නකොට දැනෙන සතුට ...

පාළුවෙන් තනිකමෙන් ඉන්න වෙලාවක හොඳම යාළුවෙක් කතා කලාම දැනෙන සතුට.. 

දකින්න පුළුවන් වෙයි කියලා නොහිතන කෙනෙක් හදිස්සියෙම දැක්කහම දැනෙන සතුට... 

කරන්න පුළුවන් වෙයි කියලා නොහිතන දෙයක් සාර්ථකව කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට... 

උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න අවස්ථාවක් ලැබුනහම දැනෙන සතුට... 

හුඟක් මහන්සිවෙලා කරපු වැඩක් ඉවර කරගන්න පුළුවන් වුනාම දැනෙන සතුට...

බලාපොරොත්තුවෙන් හිටිය විභාග ප්‍රතිඵලයකින් ඉහලින්ම සමත් වුනා කියලා අහන්න ලැබුනාම දැනෙන සතුට...
 
බඩගින්නේ ඉන්න වෙලාවක අම්ම උයපු රස බත් එකක් උණුවෙන්ම කනකොට දැනෙන සතුට...

හදපු කෑමක් කවුරුහරි රස බලලා රසයි කිව්වහම දැනෙන 
සතුට...

හොඳයි කියලා ‍තෝරපු දේකට තවත් කෙනෙක් කැමති වුනාම 
දැනෙන සතුට ....

මුමුණ මුමුණ ඉන්න සිංදුවක් එකපාරට අහන්න ලැබෙනකොට 
දැනෙන සතුට...


ඔය කිව්වේ තුශානිට මතක් වෙච්ච වචන වලින් කියන්න බැරි තරම් සතුටු හිතුනු සිද්ධි කීපයක් විතරයි..

එතකොට 49 + කිව්වේ ????

හි.. හි.. එහෙම කිව්වේ මෙන්න මේ නිසා.

අද තුශානි ලියන්නේ
තුශානිගේ 50 වෙනි පෝස්ට් එක ..

ඉතින් ඒකටත් තුශානිට වචනයෙන් කියන්න බැරි තරමට සතුටුයි...

මොකද පොස්ට් 50ක් ලියනවා තියා බ්ලොග් එකක් පටන් ගන්න වත් අදහසක් මුලින් තුශානිට තිබුනේ නැති නිසා. අනිත් කාරනේ තමයි අධ්‍යාපන කටයුතුයි ඔපීසියේ වැඩයි එක්ක පොස්ට් 50ක් ලියන්න වෙලාවක් හොයා ගන්න එකත් ලේසි පාසු නෑනේ. 

ඉතින් ඒ හැමදේම එක්ක වුනත් බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක් යන්නත් කලින් පොස්ට් 50ක් ලියාගන්න පුළුවන් වුන එක ගැන හිතනකොට මටම පුදුමයි වගේම සතුටුයි.

ඉතින් ඒ සතුට විඳින්න තුශානිට හොඳ අඩිතාලමක්, මගපෙන්වීමක් වගේම යෝධ ශක්තියකුත් ලැබුනා... සතුට වචනයෙන් කියන්න බෑ වගේම වචනයෙන් ස්තූති කරන්නත් බෑ කියලා දන්නවනේ...  

ඒ වගේම  පුංචි වෙලාවක් හරි අරගෙන කැකුළු ගොමුවට ගොඩ වැදුණු, අදහස් දක්වපු මගේම ආදරණීය බ්ලොග් යාළුවන්ටත් මේ තරම් දුර එන්න දීපු සහයෝගෙට මුළු හදවතින්ම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.. 

ඉදිරියෙදිත් ඉඩ කඩ තියෙන වෙලාවට කැකුළු ගොමුවට ගොඩ වෙලා හොඳ නරක කියන්න කියලත් බොහොම ගෞරවයන් ආරාධනා කරනවා...



Tuesday, August 19, 2014

ඔපීසියේ රස කතා... (1)



කලින් පෝස්ට් එකේදි කිව්ව වගේ මේ දවස් වල තුශානිට ඔපීසියේ හොඳටෝම වැඩ. ඒ නිසා බ්ලොග් එක පැත්තේ නම් නිතර එන්න බැරිවුනා. ඉතින් වැඩ අතරේ වුනත් ඔපීසියේ සිද්ධ වෙච්චි රස කතා ටිකක් ලියන්න ඕනේ කියලා හිතුන නිසයි ඔන්න මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. 

අපේ ඔපීසිය කොළඹ නගරයේ පිහිටලා තියෙන විදේශීය පෞද්ගලික ආයතනයක්. ම්... ඔපීසිය ගැන හුඟක් විස්තර නම් කියන්න විදිහක් නෑ. මොකද එහෙම කිව්වොත් කියන්න තියෙන සමහර රස කතා කියන්න බැරි වෙනවා.. ඒ නිසා ඔපීසිය ගැන වැඩි විස්තර කියන්නේ නෑ.. 

හරි ඔන්න එහෙනම් කියවලා බලන්නකෝ අපේ ඔපීසියේ රස කතා...  අත්දැකීම කොයිතරම් රසවත් වුනත් ඒවා වචන වලට පෙරලන්න කොච්චර අමාරුද කියලා හිතුනේ මේ පෝස්ට් එක ලියන්න ගත්තහම. රස කතා ලියන්න තුශානි ඒ තරම් දක්ෂ නම් නෑ හොඳද ..

එයාටයි මටයි

විදේශිය ආයතනයක් නිසා වෙලාවට කලාවට වැඩ කරන එක ගැන නම් අපේ අය ටිකක් සැලකිලිමත්. අනිත් දේවල් කොහොම වුනත් වෙලාවට බාකෝඩ් එක ගහන්න එන්න නම් හැමෝම වග බලා ගන්නවා. 

ඔන්න ඉතින් පරාත් කුකුලා අතේ අරගෙන උදේ පාන්දරම ඔපීසියට ගොඩ වුනා.. පරා කිව්වට පරා ගැන කියන්න බැරි වුනා නේ .. පරා කියන්නේ අපේ ඔපීසියේ වැඩ කරන කොයිදේටත් මොකක්හරිම උත්තරයක් තියෙන විනෝදජනක චරිතයක්.  එදා පරා වෙනදට වඩා ටිකක්  වෙනස්.. අලුත්ම අලුත් ටිකක් කැපී පේන ශර්ට් එකක තමයි ඇඳන් ඇවිත් හිටියේ. කවුරුහරි අලුත් ඇඳුමක් හරි විශේෂ ඇඳුමක් හරි ඇඳලා ආවොත් ඒ ගැන පුංචි කතා බහක් ඇතිවෙන එක හැම ඔපීසියකම සිද්ධවෙන සාමාන්‍ය දෙයක්නේ. ඉතින් අපේ ඔපීසියේ අයත් පරාගේ මේ වෙනස ගැන කතා වුනා. 

"ගුඩ් මෝනිං පරා.. ෂා.. අද ලස්සන ශර්ට් එකක ඇඳලනේ.. " අපේ එක්කෙනෙක් කිව්වා. 

" තෑන්ක්ස් .. දන්නවද මේ ජාතියේ ශර්ට් ලෝකෙන්ම තියෙන්නේ දෙකයි.. එයාටයි මටයි.. " ගෑණු ළමයෙක් ලස්සනයි කිව්වහම පරාත් බොහොම උජාරුවෙන් කිව්වා. 

" කවුද අනේ ඔය එයා ? " තව ගෑණු ළමයෙක් අහුවා...

" ඔබාමටයි මටයි.. " ගෑණු ළමයි ටික පිරිවරාගෙන හිටිය පරා කිව්වා..

"  ෂා ඔයත් එහෙනම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ .."

"නැතුව නැතුව මම ඉතින් ඔය අනිත් අය වගේ නෙවෙයිනේ..  "

"එතකොට ඔයත් අඳින්නේ ජනාධිපතිලා අඳින ශර්ට්.. හොඳයි හොඳයි.. අනේ මටත් ගෙනැල්ල දෙන්නකෝ මිශෙල්ගෙ වගේ ඇඳුමක්... " පරාගේ කතාව අහගෙන හිටිය තව ගෑණු ළමයෙක් අහුවා

"ඔයාට පිස්සුද .. මම මේ ඔබාම කිව්වේ අපේ ටවුන් එකේ ටේලර් ශොප් එකේ වැඩ කරන මල්ලිට... එයා මහල ඇඳුපු ශර්ට් එකක් දැකලා මමත් ඒ වගේ එකක මහගත්තා.. එතකොට ඒ ජාතියේ ශර්ට් තියෙන්නේ එයාටයි මටයි.. හැක හැක ... "

"අයියෝ කෙනාගේ හැටි දැන් දැනත් මෙයාලා එයත් එක්ක කතාවට යනවනේ.. දැන් අහගත්තනේ.. " කියලා අපේ සීනිය අයියා කෙනෙක් හිනා වෙවී යද්දි ගෑණු ළමයි කට්ටිය පරාටයි අයියටයි දෙන්නටම හිතෙන් බැන බැන ඔ‍ෆිස් එකට ගියා. 

ගානක් වෙන්න තව එකාක් මදි


මේ කතාව මම කුරුමිටි මාමලගේ කතාවෙදිත් කිව්වා..මෙන්න මේකයි කතාව.. එයාගේ නම් ජගා.. වායු සමනය කරපු කාමරයක පීනසය තියෙන කෙනෙක් ඉන්නකොට කිවිසුම් කිහිපයක් යන එකට හිනා වෙන එක නම් හොඳ නෑ.. ඒත් ඉතින් ඒ කිවිසුම් ගනන් කරන කෙනෙකුත් ඉන්න නිසා ඒකට හිනා නොවී ඉන්නේ හරිම අමාරුවෙන්.

" හචින් .. " ජගා
 
"එකායි... " අපේ එක්කෙනෙක්
 
"හචින් ... "

"දෙකායි........ "

"හචින්.... හචින්.... "

"තුනායි............. හතරායි........................  "අයියෝ ගානක් වෙන්න තව එකාක් මදි.. 

හ්ම්හ්.. බලමුකෝ මෙයාලටත් ලෙඩක් හැදුනාම.. ඕවා දිට්ඨධම්ම වේදනීය කර්ම කිය කිය ජගා බැන බැන යද්දි අපි ඉතින් ඇස් වල කඳුළු පුරෝගෙන හිනා වෙනවා..

හොඳම වැඩේ කියන්නේ බැරි වෙලාවත් හෙම්බිරිස්සවක් හැදිලා හචිමක් එහෙම අපේ කෙනෙක්ට ගියොත් ජගා කියන දේවල් අහන් ඉන්න බැරුව ගොළුබෙලි කට්ටක හරි හැංගෙන්න වෙන නිසා කට්ටිය දැන් හචිමක් යන එකටත් තියෙන්නේ පුදුම බයක්.. හෙම්බා භීතිකාව කියලා තමයි අපේ ඔ‍ෆිස් එකේ අය ඒකට කියන්නේ හි.. හි...

වැඩ  මුහුදේ පතුලටම ගිලිලා වැඩ කරද්දි වෙන වෙන තැන් වල රින්ස් යන ෆෝන් වලට ආන්සර් කරන ඒවා.. , හිස් තේ කෝප්පවල තේ බොන ඒවා.. , කන්නාඩි ඔළුවේ දාගෙන හැම තැනම හොයන ඒවා.. ශෝට් කට් වැඩ කරන්න ගිහින් වැඩ ඩබල් වෙන ඒවත් ඔපීසියේ කිසි අඩුවක් නෑ.. හිතුවටත් වඩා පෝට්ස් එක ටිකක් දික් වුන නිසා අද තව කතා කියන්න යන්නේ නෑ.  අපහු වෙලාවක ඔපීසියේ රස කතාවක් කියන්නම්කෝ. 


Wednesday, August 6, 2014

ම්හු... මට බෑ ...





පැය කට්ට දුවනවා
මැෂින් වගේ වැඩ කරනවා
හුස්ම හිර වෙන තරම්
වැඩ කන්ද ගොඩ වෙලා... 

බැලු බැලූ හැම පැත්තේ
කට්ටියම වැඩ මත්තේ
හිනාවක් කතාවක්
නැහැලු කලකින් දැක්කේ...

වැහි අනෝරා වැටෙනවා
සීතලේ තෙමෙනවා
නිවාඩුවෙ ගෙදරට වෙලා
ඉන්න බෑ වැඩ නිසා...


ඇස් දෙකත් රතු වෙලා
මූණ දැන් කැත වෙලා
අකුරු කොට කොට ඉඳලා
ඇඟිලි ටික කොට වෙලා...


 පරිඝණක තිර ඇතුලේ
වැඩ වලම තනි වෙලා
කල් මරණ හෝරාව
නොදැනීම වැඩි වෙලා...

 ගිරවි වගේ කියවන්න
කිචි බිචියේ හිනැහෙන්න
දුව පැනලා දඟලන්න
වැඩ නිසා බැරිවෙලා...
 

බ්ලොග් රෝල කියවන්න
කමෙන්ට් කර කර යන්න
කුරුට්ටක් ගා ගන්න
වෙලාවක් නැති වෙලා ...  

හපොයි මේ වැඩ කන්ද
නැද්ද කෙන්දක් වෙන්නේ
ඒත් නෑ අඩු වෙන්නේ
හිත හිතා පසු වෙන්නේ...

කවුරු හරි වෙයි නම් මෙයට
උපායක් හෙම දන්න
කීවොතින් ගැලවෙන්න

එවමි තුති මල් ඔන්න ...


Related Posts Plugin for WordPress, Blogger...